පරාජය කිරීමට නොහැකි වූ කඩුලු පැනීමේ ශූරයා

195

ලොව වඩාත්ම තරගකාරී ක්‍රීඩාව කුමක්දැයි බලන විට මලල ක්‍රීඩාව එහි ඉහළින්ම තිබෙන ක්‍රීඩාව ලෙස හඳුන්වන්න පුළුවන්.

රටවල් 200කට ආසන්න සංඛ්‍යාවක් තරග වදින මලල ක්‍රීඩා පිටියේ ලෝක කිරුළක් රැකගැනීම හෝ තරගයක් නොකඩවා ජයග්‍රහණය කිරීම ඉතාමත් අපහසු දෙයක්.

වර්තමානයේ එවැනි දස්කමක් පෑ ක්‍රීඩකයෙකු ලෙස ජැමෙයිකානු කෙටිදුර ශූර Usain Bolt හඳුන්වන්න පුළුවන් වුවත්, ඔහු ද යම් පසුබෑමකට ලක් වූ අවස්ථා තිබෙනවා.

එතරම් තරගකාරී මලල ක්‍රීඩා පිටියේ වසර 10ක් තුළ තරග 122ක් ජය ගනිමින් මීටර් 400 කඩුලු පැනීමේ ඉසව්ව තමන්ගේ අත්ල මත තබා ගැනීමට සමත් වූ ක්‍රීඩකයෙක් සිටිනවා. ඔහු නමින් Edwin Moses.

1955 අගෝස්තු 31 වැනිදා ඇමරිකාවේ Ohio හීදී උපත් ලැබූ Ed Moses පාසල් වියේ දී සිය මලල ක්‍රීඩා ගමන ආරම්භ කළා.

අධ්‍යාපනය වෙනුවෙන් ලද ශිෂ්‍යත්වයක් මත ඔහු උසස් අධ්‍යාපනය සඳහා Morehouse College විද්‍යාලයට එක් වූ අතර එහි දී ඔහුට පුහුණුවීම් සඳහා විද්‍යාලය තුළ ධාවන පථයක් නොතිබීම නිසා අවට පොදු ක්‍රීඩාංගණවල පුහුණුවීම් කටයුතු කිරීමට ඔහුට සිදු වුනා.

අඩි 6 අගල් 2ක උසකින් යුත් Moses කඩුලු පැනීම සිය ප්‍රධාන ඉසව්ව කරගනිමින් ඉතා කැපවීමෙන් පුහුණුවීම් කටයුතු සිදු කළත්, 1975 වන තුරුම කිසිදු කැපී පෙනෙන දස්කමක් දැක්වීමට ඔහු සමත් වුනේ නැහැ.

1975 සිට මීටර් 400 කඩුලු පැනීම ඉසව්වේ කැපී පෙනෙන දස්කම් දැක්වීමට Moses සමත් වන අතර ඔහු 1976 ඔලිම්පික් උළෙලේ ඇමරිකාව නියෝජනය කරනු ඇතැයි ද බොහෝ දෙනා බලාපොරොත්තු වුනා.

එම බලාපොරොත්තුවලට තරමක සාධාරණයක් ඉටු කරමින් 1976 වසරේ මුල් භාගයේ පැවති තරගාවලිවල දී ඉහළ දස්කම් දැක්වීමට Moses සමත් වුනත්, ප්‍රධානතම දේශීය තරගාවලිය වූ US Championships තරගාවලියේ දී සිව්වැන්නා ලෙස තරගය අවසන් කිරීමට ඔහුට සිදු වුනා.

නමුත් සිය පරාජය ශක්තියක් කර ගත් ඔහු 1976 ඔලිම්පික් තරගාවලිය සඳහා සුදුස්සන් තේරීම සඳහා පැවති තරගාවලියක දී මීටර් 400 කඩුලු පැනීම ඉසව්ව නව ඇමරිකානු වාර්තාවක් සමඟින් ජයග්‍රහණය කරමින් ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලබා ගැනීමට ඔහුට හැකි වුනා.

1976 ඔලිම්පික් තරගාවලියේ මූලික වටයේ සිටම සිය ආධිපත්‍ය පැතිරවූ Ed Moses අවසන් පූර්ව වටයේ දී නැවත වරක් ඇමරිකානු වාර්තාව බිඳ හෙළීමට සමත් වන අතර අවසන් තරගය තත්පර 47.64ක කාලයකින් අවසන් කරමින් එම ඉසව්වේ ලෝක වාර්තාව ද බිඳ හෙළිමට ඔහු සමත් වුනා.

ඒ සමඟින් ඔලිම්පික් කිරුළ දිනා ගැනීමට ඔහු සමත් වන අතර වසරක් වැනි කෙටි කලක් තුළ දී මලල ක්‍රීඩා පිටියේ ඔහු ලැබූ දියුණුව පිළිබඳව බොහෝ දෙනාගේ ප්‍රසාදයට ද ඔහු ලක් වෙනවා.

එතැන් පටන් මීටර් 400 කඩුලු පැනීම ඉසව්ව සිය ආධිපත්‍යට නතු කර ගත් ඔහු 1977 පැවති AAU Championships තරගාවලියේ දී මීටර් 400 ඉසව්ව තත්පර 47.45කින් අවසන් කරමින් ඔහුගේම ලෝක වාර්තාව බිඳ හෙළිමට සමත් වනවා.

තවත් විශේෂාංග ලිපි:

එම ජයග්‍රහණයෙන් පසු 1979 දී එම ඉසව්වේ ලෝක ශූරයා වීමට සමත් වෙන ඔහු 1980 වසරේ මිලාන් හී පැවති තරගයක දී එම ඉසව්ව තත්පර 47.13ක කාලයකින් අවසන් කරමින් නැවත වරක් ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් වනවා.

ඇමරිකාව 1980 ඔලිම්පික් උළෙල වර්ජනය කිරීම නිසාවෙන් පහසුවෙන් පදක්කමක් දිනා ගැනීමට තිබූ තරගාවලියක් ඔහු හට මගහැරී යන නමුත් 1981 පැවති IAAF ලෝක කුසලාන තරගාවලියේ දී ලෝක ශූරතා කිරුළ රැක ගැනීමට ඔහු සමත් වුනා.

එම ජයග්‍රහණයෙන් පසු 1983 ලෝක මලල ක්‍රීඩා ශූරතාවය සඳහා සහභාගි වූ Moses එහි අවසන් තරගය තත්පර 47.50ක කාලයකින් අවසන් කිරීමට සමත් වුනේ නොකඩවා ලබා ගත් 88 වැනි ජයග්‍රහණය වාර්තා කරමිනුයි.

නැවත වරක් එම වසරේම පැවති තරගාවලියක් සඳහා සහභාගි වූ Moses එහි මීටර් 400 කඩුලු පැනීමේ ඉසව්ව තත්පර 47.02ක කාලයකින් අවසන් කරමින් එම ඉසව්වේ ලෝක වාර්තාව සිව්වැනි වරටත් බිඳ හෙළිමට සමත් වනවා.

වසර ගණනාවක් මුළුල්ලේ එම ඉසව්වේ ආධිපත්‍ය රඳවා ගත් ඔහු 1984 ඔලිම්පික් උළෙලේ දී මීටර් 400 කඩුලු පැනීමේ ඉසව්ව තත්පර 47.75ක කාලයකින් අවසන් කරමින් සිය දෙවන ඔලිම්පික් රන් පදක්කම දිනා ගැනීමට සමත් වනවා.

දශකයකට ආසන්න කාලයක් අපරාජිතව සිටිමින් සියලු ක්‍රීඩකයන්ට භීතිකාවක් වූ Moses 1987 දී දෙවතාවක් Danny Harris හමුවේ පරාජයට පත්වන නමුත් එම වසරේ පැවති ලෝක ශූරතාවයේ දී සිය ඉසව්වේ කිරුළ රැකගැනීමට ඔහුට හැකි වුනා.

සිය ක්‍රීඩා දිවියේ අවසාන තරගාවලිය ලෙස 1988 ඔලිම්පික් තරගාවලිය සඳහා තේරී පත්වූ Edwin Moses එම තරගාවලියේ ද අනෙක් ක්‍රීඩකයන් හට ප්‍රබල අභියෝගයක් එල්ල කිරීමට සමත් වූවත් තෙවැන්නා බවට පත්වෙමින් තරගය අවසන් කිරීමට ඔහුට සිදු වුනා. 

එම පරාජයත් සමඟින් ක්‍රීඩා පිටියට සමුදීමට ඔහු තීරණය කළ නමුත් දශකයක් පුරාවට සිය නාමය මලල ක්‍රීඩා පිටියේ ඉහළින්ම රැඳ වූ ඔහු නොකඩවා තරග 122ක් ජය ගැනීමට සමත් ව තිබුණා.

ක්‍රීඩා පිටියෙන් සමුගැනීමෙන් පසුව ද ක්‍රීඩාව හා සම්බන්ධ ක්‍රියාකාරකම්වල නිරත වූ ඔහු Laureus World Sports Academy හී ප්‍රථම සභාපතිවරයා ලෙස ද කටයුතු කළා.

එමෙන්ම ඔහු ක්‍රීඩාවට කළ සේවය අගයමින් ඔහුට ගෞරවයක් ලෙස ඔහුගේ ගම් ප්‍රදේශය “Edwin C. Moses Boulevard” ලෙස ද නම් කළා.

ඔහු සමගැනීමෙන් පසුව ඔහු විසින් පිහිටවූ වාර්තා රැසක් විවිධ ක්‍රීඩකයන් විසින් බිඳ හෙළීමට සමත් වුනත් මලල ක්‍රීඩා ඉතිහාසයේ බිහි වූ ශ්‍රේෂ්ඨතම මීටර් 400 කඩුලු පනින්නා ලෙස බොහෝ දෙනා Edwin Moses නම් කරයි.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<