Jaffna Kings ජයග්‍රාහී මාවතට මග පෙන්වන පුහුණුකරුවන්

4188

නොබෝ දිනකින් ආරම්භ වීමට නියමිත 2021 ලංකා ප්‍රිමියර් ලීග් (LPL)  තරගාවලිය සඳහා තරග වදින විසි දෙනෙකුගෙන් සමන්විත Jaffna Kings කණ්ඩායම මේ වන විට නිල වශයෙන් ප්‍රකාශයට පත්කර අවසන්.

තවද මෙම අති දක්ෂයින් විජයග්‍රහණය කරා මෙහෙය වන Jaffna Kings කණ්ඩායමේ පුහුණුකරුවන් ඇතුළු සහායක කණ්ඩායම ද අද දින නිල වශයෙන් ප්‍රකාශයට පත්කරනු ලැබුවා.

ඒ අනුව මෙවර Jaffna Kings සමඟ ප්‍රධාන පුහුණුකාර ධුරයෙන් සම්බන්ධ වන්නේ පසුගිය ජයග්‍රාහී යාපනය කණ්ඩායමේ ද ප්‍රධාන පුහුණුකාර ධුරය දැරූ, ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයකු වන තිළිණ කණ්ඩම්බි.

සහායක පුහුණුකරු ලෙස සහ වේගපන්දු පුහුණුකරු ලෙස මාරියෝ විල්ලවරායන් ද, දඟපන්දු පුහුණුකරු ලෙස සචිත් පතිරණ ද, පන්දු රැකීමේ පුහුණුකරු ලෙස විමුක්ති දේශප්‍රිය ද, පිතිකරණ පුහුණුකරු ලෙස ජෙහාන් මුබාරක් ද මෙවර  Jaffna Kings සමඟ සම්බන්ධ වී සිටිනවා.

2020 ලංකා ප්‍රිමියර් ලීග් ආරම්භක තරගාවලියේ දී ජයග්‍රාහී යාපනය කණ්ඩායම මෙහෙයවූ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ තිළිණ කණ්ඩම්බිට මෙවර LPL තරග බිම නුහුරු අත්දැකීමක් නොවනු ඇත.

මෙම වසර ආරම්භයේ දී අබුඩාබි T10 හි ‘Bangla Tigers’ කණ්ඩායමේ ද ප්‍රධාන පුහුණුකාර ධුරයට පත්කර සිටින තිළිණ කණ්ඩම්බි පුහුණුකරුවකු ලෙස ජාතික හා ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීමට ලක්වී සිටින අයෙක්.

LPL විස්සයි විස්ස තරගාවලියේ ස්වරූපයෙන්ම 2012 වර්ෂයේ දී පැවති SLPL තරගාවලියේ දී Uva Next කණ්ඩායමට නායකත්වය දෙමින් ජයග්‍රාහී කුසලානය දක්වාම තම කණ්ඩායම මෙහෙයවීමට තිළිණ කණ්ඩම්බි සමත් විය.

ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වන ඔහු එම විද්‍යාලයේ 13න් පහළ සිට 19න් පහළ දක්වා සියලුම කණ්ඩායම්වල නායකත්වය හොබවා ඇත.

ක්‍රිකට් පුහුණුකරුවකු ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඇතුළු පිළිගත් ක්‍රිකට් ආයතන කිහිපයකම විධිමත් පාඨමාලා අවසන් කර සිටින තිළිණ කණ්ඩම්බි 2016/17 වර්ෂයේ දී කොළඹ රාජකීය විද්‍යාලයේ පිතිකරණයේ පුහුණුකරු වූ අතර 2017/18 කාලයේ දී එම විද්‍යාලයේ ප්‍රධාන පුහුණුකාර ධුරය ද දරනු ලැබීය.

එමෙන්ම ඔහු මෑතක දී SSCකණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාර ධුරයට ද පත්කරනු ලැබීය. 2000 වර්ෂයේ පැවති 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය නියෝජනය කළ ශ්‍රී ලංකා කණ්ඩායමට උපනායකත්වය ලබා දෙන්නේ ද තිළිණ කණ්ඩම්බි ය.

තවද ඔහු Bloomfield Cricket Club සහ Sinhalese Sports Club හි ද නායකත්වය හොබවා ඇත. ජාතික හා ජාත්‍යන්තර තලයේ ක්‍රිකට් ක්‍රීඩකයකු හා ක්‍රිකට් පුහුණුකරුවකු ලෙස ඔහු ලබා ඇති අත්දැකීම් Jaffna Kings කණ්ඩායම 2021 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලිය විජයග්‍රහණය සඳහා මෙහෙයවීමට නිසැකවම හේතු වනු ඇත.

Jaffna Kings කණ්ඩායමේ වේගපන්දු පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ හිටපු ක්‍රිකට් ක්‍රීඩක මාරියෝ විල්ලවරායන්.

දකුණත් මද වේගපන්දු යවන්නකු වූ මාරියෝ  Bloomfield Cricket and Athletic Club, Colombo Cricket Club, Tamil Union Cricket and Athletic Club ආදී ආයතන සමඟ පන්දු යවන්නෙකු ලෙස සම්බන්ධ වී තිබෙනවා.

පළමු පෙළ තරග 116කට හා ‘ඒ කාණ්ඩයේ තරග’ 58කට සහභාගී වී ඇති මාරියෝ වෘත්තීය පුහුණුකරුවකු ලෙස ද කටයුතු කර ඇති පළපුරුදු ක්‍රීඩකයෙක්. පළමුපෙළ තරග 116ක දී කඩුලු 378ක් ලබා ගැනීමට මාරියෝ සමත් වී ඇත.

ඒ කාණ්ඩයේ තරගවල දී ඔහු ලබා ඇති කඩුලු සංඛ්‍යාව 71ක්. මාරියෝ ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලියේ දී Sunrisers Hyderabad කණ්ඩායම සඳහා පුහුණුකරුවකු ලෙස සම්බන්ධ වී තිබීම විශේෂත්වයක්.

ශ්‍රී ලංකා 19න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ දඟපන්දු පුහුණුකරු ලෙස මේ වන විට කටයුතු කරමින් සිටින තුන් ඉරියව් ක්‍රීඩක සචිත් පතිරණ Jaffna Kings කණ්ඩායමේ ද දඟපන්දු පුහුණුකරු ලෙසින් කටයුතු කරයි.

එක්දින ජාත්‍යන්තර තරග 18ක දී ලකුණු 332ක් ලබා සිටින සචිත් පතිරණ පළමු පෙළ තරග 94කට සහභාගී වී ලකුණු 3714ක් රැස්කිරීමට සමත් වූ දක්ෂ පිතිකරුවෙකු ද වෙයි. ජාත්‍යන්තර එක්දින පිටියේ දී කඩුලු 15ක් ලබා ගන්නා සචිත් පළමු පෙළ තරගවල දී කඩුලු 320ක් ලබා ගනිමින් පන්දුවෙන් දස්කම් පෙන්වූ ක්‍රීඩකයෙක්.

වයස අවුරුදු 19න් පහළ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ නායකත්වය උසුලමින් සිදු කරන ලද එංගලන්ත සංචාරයේ දී සචිත් ලකුණු 231ක් හා කඩුලු 10ක් ලබා ගනිමින් තම කණ්ඩායමට විශාල දායකත්වයක් ලබා දීමට සමත් වී ඇත.

ක්‍රිකට් ක්‍රීඩකයකු ලෙසින් Colombo Cricket Club, Combined Provinces, Kandurata, Kandy Youth Cricket Club, Ragama Cricket Club, Southern Express ආදී ආයතන සමඟ ද සම්බන්ධ වී කටයුතු කළ සචිත් පතිරණ සිය ක්‍රීඩා දිවිය අත්දැකීම්වලින් පොහොසත් කර ගත් පරිණත ක්‍රීඩකයෙකි. ඔහුගේ පුහුණුකාරිත්වය Jaffna Kings  කණ්ඩායමේ ජයග්‍රාහී මාවත එළිපෙහෙළි  කර දෙනු ඇත.

දකුණත් පිතිකරුවෙකු ලෙස ක්‍රිකට් දිවියට අවතීර්ණ වූ විමුක්ති දේශප්‍රිය පන්දු රැකීමේ පුහුණුකරු ලෙසින් Jaffna Kings සමඟ එක්වී සිටියි. ඔහු පසුගිය වසරේ පැවති LPL තරගාවලියේ දී යාපනය කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළ පළපුරුදු පුහුණුකරුවෙකි.

දේශප්‍රිය වසර හයක් SSC හි සාමාජිකයෙකු වූ අතර ඔහුට දිවයිනේ බොහෝ ප්‍රසිද්ධ ක්‍රීඩා සමාජ සමඟ සම්බන්ධකම් ඇත. ඔහු වසර 4ක් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ක්‍රිකට් කණ්ඩායම ද පුහුණු කර ඇත. පසුගිය වසරේ විමුක්ති දේශප්‍රිය ක්‍රිකට් පාලක මණ්ඩලය සමඟ එක්ව පුහුණු කිරීමේ ක්‍රියාකාරකම් රැසකට සම්බන්ධ වී ඇත. 2020 වසරේ LPL තරගාවලියේ දී ද යාපනය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට ඔහුගේ මගපෙන්වීම හේතු විය.

පිතිකරණයේ පුහුණුකරු ජෙහාන් මුබාරක් පිටියේ දී දැක්වූ දක්ෂතා නිසා වඩාත් ප්‍රසිද්ධියට පත් ක්‍රීඩකයෙකි. 2002 වසරේ දී බංග්ලාදේශයට එරෙහිව සිය මංගල තරගයට පිවිසි ඔහු දක්ෂ විස්සයි විස්ස පිතිකරුවෙකි, එමෙන්ම ජෙහාන් මුබාරක් පිට දඟපන්දු යවන්නෙක් සහ විශිෂ්ට පන්දු රකින්නෙකි. ඔහු දැනට කොළඹ රාජකීය විද්‍යාලයේ ක්‍රිකට් කණ්ඩායම පුහුණු කරන ICC තෙවැනි මට්ටමේ සුදුසුකම් ලත් පුහුණුකරුවකු ද වෙයි.

සංජීව ගමගේ Jaffna Kings හි භෞතචිකිත්සකවරයා ලෙස කටයුතු කරන අතර ඔහු පසුගිය වසරේ යාපනය කණ්ඩායමේ සාමාජිකයෙකු ද විය. ජී. ජී. ටී. නිරෝශන් කණ්ඩායමේ පරිගණක විශ්ලේෂක ලෙස පත් කර ඇති අතර ලක්ෂ්මන් ගුණසේකර Masseur ලෙස කණ්ඩායමට එක්වී සිටියි.

Jaffna Kings කණ්ඩායමේ පුහුණුකාරිත්වය සඳහා අත්දැකීම් සහිත ලාංකේය පුහුණුකරුවන් පමණක් සම්බන්ධ කර ගැනීමට කටයුතු කර තිබීම විශේෂත්වයක් වන අතර මෙම පළපුරුදු කාර්ය මණ්ඩලය සමඟින් Jaffna Kings ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ උපරිම දක්ෂතාවයන් කරා ගමන් කරනු ඇත.

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<