මහේල ICC විශිෂ්ටයින් අතරට

959

හිටපු ශ්‍රී ලංකා නායක සුපිරි පිතිකරු මහේල ජයවර්ධන ICC විශිෂ්ටතම ක්‍රීඩකයින් අතරට නම් කරමින් ඔහුව ICC Cricket Hall of Fame ක්‍රීඩකයෙක් ලෙස නම් කළ බව අද (13) ICC විසින් නිවේදනය කර සිටියා.

මහේලට අමතරව එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩිකා Janette Brittin සහ දකුණු අප්‍රිකානු වේගපන්දු යවන ක්‍රීඩක Shaun Pollock ද ICC Cricket Hall of Fame වෙත ඇතුළත් කර තිබෙනවා.

ඕස්ට්‍රේලියාව හා නවසීලන්තය අතර 2021 විස්සයි විස්ස ලෝක කුසලාන අවසන් මහා තරගයට පෙර ඩුබායි හිදී නව ICC Cricket Hall of Fame සාමාජිකයින් තිදෙනා නිල වශයෙන් හඳුන්වා දීමට නියමිතයි. ඒ තවත් ICC Cricket Hall of Fame ක්‍රීඩකයෙක් වන සර් Clive Lloyd විසිනුයි.

ICC Cricket Hall of Fame වැඩසටහන හා සම්මාන මාලාව හඳුන්වා දෙනු ලැබුවේ 2009 වසරේ දීයි. මේ වන විට  ICC Cricket Hall of Fame වැඩසටහන ඔස්සේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 106ක් ක්‍රිකට් ක්‍රීඩාවට කළ ඉමහත් සේවය අගයා තිබෙනවා. Brittin, ජයවර්ධන හා Pollock එසේ අගය කරනු ලැබූ නවතම සාමාජිකයින් තිදෙනායි.

1979 සිට 1998 කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් කළ සේවය වෙනුවෙන් Janet Brittin හට ICC Cricket Hall of Fame ගෞරවය හිමි වුනා.

මහේල ජයවර්ධන ක්‍රිකට් පිටියට සමු දුන්නේ එදාමෙදාතුර ශ්‍රී ලංකාව බිහි කළ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයෙක් හා නායකයෙක් ලෙසයි. ICC තරගාවලි හතරක අවසන් මහා තරග ක්‍රීඩා කරන්නට ඔහුට වරම් ලැබුණු අතර 2014 ICC විස්සයි විස්ස ලෝක කුසලානය ජයග්‍රහණය කළ කණ්ඩායමේ ද ප්‍රධානතම කොටස්කරුවෙක් ලෙස මහේල හැඳින්විය හැකියි.

දකුණු අප්‍රිකා වේගපන්දු යවන ක්‍රීඩක Shaun Pollock ක්‍රිකට් පිටිය දුටු දක්ෂතම වේගපන්දු යවන්නෙක් වන අතර ඔහු අතිදක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයෙක් ද වුනා. එක්දින හා ටෙස්ට් පිටියේ ලකුණු 3000ක් හා කඩුලු 300ක් දවා ගත් පළමු ක්‍රීඩකයා වන්නේ ද ඔහුයි.

මේ පිළිබඳව අදහස් දක්වමින් මහේල ජයවර්ධන මෙසේ පවසා සිටියා. ICC Hall of Fame වැඩසටහනට හඳුන්වා දීම ගැන මම ගොඩක් සතුටුයි. සංගා, මුරලි හා අතිතයේ සිටි විශිෂ්ට ක්‍රීඩකයින්ගේ අඩිපාරේ යමින් මේ ගෞරවය හිමිකර ගැනීමට ලැබීම ගැන සතුටුයි.”

මට උදව් කළ හැමෝම එක්ක මම මේ මොහොත බෙදාගන්න කැමතියි. මගේ පවුල, මගේ මිතුරන්, පුහුණුකරුවන්, කණ්ඩායමේ සාමාජිකයින් හා මගේ ක්‍රීඩා දිවියට උදව් කළ ශ්‍රී ලංකා ක්‍රිකට් රසිකයින්.”

මහේල ජයවර්ධනගේ ක්‍රීඩා දිවියේ මතක සටහන්…

  • පළමු වරට ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමට ක්‍රීඩා කළේ 1997 වසරේ දීයි.
  • සිය මංගල තරගයේ දී ලකුණු 66ක් රැස් කරමින් ඉන්දියාවට එරෙහිව ලකුණු 952-6ක වාර්තාගත ලකුණු පුවරුව ගොඩනගන්නට සිය දායකත්වය ලබා දුන්නා.
  • ටෙස්ට් සාමාන්‍ය ලකුණු 05ක් ලෙස පවත්වා ගනිමින් ටෙස්ට් ලකුණු 11,814ක් රැස් කරගෙන තිබෙනවා.
  • එක්දින සාමාන්‍ය 37ක් ලෙස පවත්වා ගනිමින් තරග 448ක දී ලකුණු 12,650ක් රැස් කරගෙන තිබෙනවා.
  • විස්සයි විස්ස තරග 55ක දී ලකුණු 1493ක් රැස් කරගෙන තිබෙනවා.
  • 2006 වසරේ දී දකුණු අප්‍රිකාවට එරෙහිව කුමාර් සංගක්කාර සමඟ දැවැන්ත ලකුණු 624ක ලෝක වාර්තාගත සබඳතාවයක් ගොඩ නැගීම.
  • 2014 වසරේ දී විස්සයි විස්ස ලෝක කුසලානය දිනා ගැනීම.
  • ටෙස්ට් ලකුණු 10,000 සීමාවට ළඟා වූ පළමු ශ්‍රී ලාංකික ක්‍රීඩකයා වීම.
  • දකුණු අප්‍රිකාවට එරෙහිව 2006 වසරේ දී ලකුණු 374ක් රැස් කර වාර්තාවක් පිහිටුවීම.
  • මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පුහුණුකරු ලෙස IPL කිරුළු තුනක් දිනා ගැනීම.

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<