බෙයාර්ස්ටෝව් අයර්ලන්ත බලාපොරොත්තු සුන් කරයි

අයර්ලන්ත කණ්ඩායමේ එංගලන්ත සංචාරය 2020 - ICC ලෝක කුසලාන සුපර් ලීගය

263
Jonny Bairstow

ජොනී බෙයාර්ස්ටෝව් දියත් කළ ප්‍රහාරාත්මක පිතිකරණය නිසා අයර්ලන්ත කණ්ඩායම සහ එංගලන්තය අතර ඊයේ (1) සවුත් හැම්ටන් හිදී පැවති දෙවන එක්දින ක්‍රිකට් තරගය කඩුලු 4කින් ජයගැනීමට එංගලන්තය සමත් විය. ඒ අනුව ලෝක කුසලාන සුපර් ලීගයේ පළමු තරගයේ පළමු ප්‍රසාද ලකුණු 20ම එංගලන්තයට හිමි විය.

විලීගේ ආගමනය ජයග්‍රහණයකින් හමාර වෙයි

ICC ලෝක කුසලාන සුපර් ලීගයේ මංගල තරගාවලියේ දෙවන තරගය වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් අයර්ලන්තය පළමුව පන්දුවට පහර දෙමින් නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 212ක් ලබා ගත්තේය. සිය මංගල එක්දින තරගයේ දී නොදැවී අර්ධ ශතකයක් ලබා ගත් 21 හැවිරිදි කර්ටිස් කැම්පර් තරගයේ දී ද අර්ධ ශතකයක් ලබාගෙන සිය පළමු එක්දින තරග දෙකේ දී ම අර්ධ ශතක ලබා ගනිමින් දස්කම් දැක්විය.

කැම්පර් 4 පහර 8ක් එල්ල කරමින් පන්දු 87ක් තුල ලකුණු 68ක් ලබා ගත් අතර ඔවුන්ගේ මුල්පෙළ කඩා වැටීම සහ කැම්පර් හට සහය වීමට නිසි සහයක පිතිකරුවෙක් නොවුණු නිසා අයර්ලන්තයට ලකුණු 212න් සෑහීමකට පත් වීමට සිදු විය. එසේම අදිල් රෂීඩ් ඇතුළු එංගලන්ත පන්දු යවන්නෝ ඉතාමත් හොඳින් අයර්ලන්ත පිතිකරුවන් පාලනය කළ අතර හැරී ටෙක්ටර් ලකුණු 28ක් ලබා ගනිමින් අයර්ලන්ත මැදපෙළ ශක්තිමත් කළ දෙවන පිතිකරුවා විය. අයර්ලන්ත පසුපෙළ ක්‍රීඩකයින් වන සිම් සින්ග් සහ නායක ඇන්ඩෘ මැක්බ්‍රීන් ද පිළිවෙළින් ලකුණු 25ක් සහ 24ක් රැස්කරගත්තේය.

එංගලන්ත ඉනිමේ තෙවැනි පන්දුවේ දී ම ජේසන් රෝයි දැවී යාම නිසා එංගලන්ත ආරම්භය අසාර්ථක විය. කෙසේ නමුත් එම අසාර්ථකත්වය මඟ හැරීම වෙනුවෙන් ක්‍රියාත්මක වූ බෙයාර්ස්ටෝව් සාර්ථක සහ වේගවත් පිතිකරණයක නිරත වෙමින් පන්දු 21ක් තුල සිය අර්ධ ශතකය වාර්තා කරගත්තේය. එය එංගලන්ත පිතිකරුවෙක් විසින් ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියේ ලබා ගත් වේගවත්ම අර්ධ ශතකයේ වාර්තාව සම කළේය. මීට පෙර 2018 වසරේ දී ඔයින් මෝර්ගන් ඕස්ට්‍රේලියාවට එරෙහිව පන්දු 21ක දී වාර්තා කළ අර්ධ ශතකය එහි දී බෙයාර්ස්ටෝව් විසින් සම කරන ලදි.

Video – ක්‍රිකට් පිටියේ කඩිසර චාමර සිල්වා – Legends

එම පිතිකරණයත් සමඟින් එංගලන්තය තරගය පහසුවෙන්ම ජය ගන්නා ලකුණු පහළ වුවත් 4 පහර 14ක් සහ 6 පහර 2ක් සමඟ ලකුණු 82ක් ලබා සිටි බෙයාර්ස්ටෝව් එංගලන්ත ඉනිමේ සිව්වැනි කඩුල්ල ලෙස දැවී යාමත් සමඟම ඔවුන්ගේ ඉනිමේ කඩා වැටීමක් පෙන්නුම් කළේය. ඒ අනුව ලකුණු 131කට කඩුලු 4ක් ලෙස සටහන්ව තිබූ එංගලන්ත ලකුණු සටහන 137/6ක් දක්වා යම් දුර්වලතාවයකට ඇද වැටීම සඳහා ගත වූයේ පන්දුවාර දෙකක් පමණි.

කෙසේ නමුත් ඩේවිඩ් විලී සහ සෑම් බිලින්ග්ස් 7 වැනි කඩුල්ල සඳහා පිටියේ එක්වෙමින් ලකුණු 79*ක නොදැවුණු සබඳතාවයක් ගොඩනංවමින් සෙමින් සෙමින් අයර්ලන්ත කණ්ඩායමට තරගය පිළිබඳව තිබූ ජයග්‍රාහී බලාපොරොත්තුව සුන් කරන ලදි. විලී සහ බිලින්ග්ස් පිළිවෙළින් ලකුණු 47*ක් (4 පහර 5ක් සහ 6 පහර 2ක්) සහ ලකුණු 46*ක් (4 පහර 6ක්) ලබාගත්තේය. 

අවසානයේ පන්දුවාර 32කුත් පන්දු 3ක් අවසානයේ ජයග්‍රාහී ඉලක්කය පසු කළ එංගලන්තය කඩුලු 4ක ජයක් ලබා ගන්නා ලදි. පන්දු යැවීමේ දී වමතින් වේගපන්දු යවන ජෝශුවා ලිට්ල් ලකුණු 60කට කඩුලු 3ක් දවා ගත්තේය.

  • අයර්ලන්තය – 212/9 (50): කර්ටිස් කැම්පර් 68, හැරී ටෙක්ටර් 28, අදිල් රෂීඩ් 3/34.
  • එංගලන්තය – 216/6 (32.3): ජොනී බෙයාර්ස්ටෝව් 82, ඩේවිඩ් විලී 47*, සෑම් බිලින්ග්ස් 46*, ජෝශුවා ලිට්ල් 3/60.

තරගයේ වීරයා – ජොනී බෙයාර්ස්ටෝව් (එංගලන්තය)

දෙරට අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය 2-0ක් ලෙස ජය ගැනීමට එංගලන්තය සමත් වූයේ තවත් එක් තරගයක් ඉතිරිව තිබිය දීයි. එහි තෙවැනි සහ අවසන් තරගය අගෝස්තු 4 සවුත් හැම්ටන් හිදී දිවා/රාත්‍රි තරගයක් ලෙස පැවැත්වේ. එහි තොරතුරු ද ඔබ වෙතට රැගෙන ඒමට ThePapare.com සූදානමින් සිටියි. ඔබත් ThePapare.com වෙබ් අඩවිය දැන්ම subscribe කරන්න.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<