IPL 2021 ක්‍රීඩක වෙන්දේසිය පෙබරවාරි මස අගදී

430

ඉන්දියානු ප්‍රිමියර් ලීග් තරගාවලියේ මෙම වසරට අදාළ ක්‍රීඩක වෙන්දේසිය පෙබරවාරි මස 18 වනදා පැවැත්වීමට ඉඩ ඇතැයි ඉන්දියානු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඉන්දීය ක්‍රිකට් බලධාරියෙකු ප්‍රකාශ කර ඇත. 

මෙවර තරගාවලියේ ඉදිරි සැලසුම් පිළිබඳව PTI පුවත්පත වෙත අදහස් දක්වමින් ඉන්දීය ක්‍රිකට් බලධාරියා ප්‍රකාශ කර සිටියේ මෙවර තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය පෙබරවාරි මස 18 වනදා පැවැත්වීමට ඉඩකඩ ඇති බවත් තරගාවලියේ සත්කාරකත්වය පිළිබඳව තවමත් තීරණයක් ගෙන නොමැති බවත් ය. 

කොරෝනා වසංගතයේ ව්‍යාප්තිය නිසාවෙන් මෙවර තරගාවලිය ඉන්දියාව තුළ හෝ පසුගිය තරගාවලිය මෙන් වෙනත් රටක දී පවත්වන්නේ ද යන්න පිළිබඳව තවමත් කිසිඳු තීරණයක් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය ගෙන නොමැති අතර ඉන්දීය ක්‍රිකට් ප්‍රධානී Sourav Ganguly ප්‍රකාශ කර සිටියේ මෙවර තරගාවලිය ඉන්දියාව තුළදී පැවැත්වීමට අවශ්‍ය ඕනෑම දෙයක් සිදුකිරීමට සූදානම් බවයි. 

තවත් ක්‍රිකට් පුවත් කියවන්න

එළඹෙන මාසයේ දී ඉන්දියාවේ පැවැත්වීමට නියමිතව ඇති එංගලන්ත කණ්ඩායමේ ඉන්දියානු සංචාරය නිසාවෙන් මෙවර IPL තරගාවලිය ඉන්දියාවේ පැවැත්වීමට හැකි වෙතැයි බොහෝ දෙනා විශ්වාසයෙන් පසුවන අතර එම තරගාවලියේ සාර්ථකත්වය මත IPL 2021 තරගාවලියේ සත්කාරකත්වය තීරණය කරනු ඇත. 

මෙවර තරගාවලියට සහභාගී වන කණ්ඩායම්වල ක්‍රීඩක රඳවා ගැනීම් ප්‍රකාශයට පත්කිරීමේ කාලසීමාව පසුගිය බදාදා (20) දිනෙන් අවසන් වූ අතර ක්‍රීඩක හුවමාරු කිරීමේ කාලසීමාව පෙබරවාරි මස 04 වනදායින් අවසන් වේ. 

එමෙන්ම පෙර තරගාවලීන්හි පිළිවෙළින් Rajasthan Royals සහ Kings XI Punjab කණ්ඩායම් නියෝජනය කළ ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයන් වන Steve Smith සහ Glenn Maxwell එම කණ්ඩායම් වල රඳවා තබා නොගැනීමට ද එහි හිමිකරුවන් තීරණය කර තිබුනි. 

ඉන්දියානු ප්‍රිමියර් ලීග් තරගාවලියේ පසුගිය වසරේ අදියර 2020 සැප්තැම්බර්-නොවැම්බර් කාල සීමාවේ දී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවති අතර මහේල ජයවර්ධනගේ පුහුණුකාරීත්වයෙන් යුත් Mumbai Indians කණ්ඩායම එහි ශූරතාවය දිනා ගැනීමට සමත් විය. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<