Ronaldo විවේචනය කළ පාපන්දු විශේෂඥයින්ට Kohliට බැන වදියි

2305

ලෝක පාපන්දු පිටියේ මේ දිනවල වඩාත් කතාබහට ලක් වූ ක්‍රීඩකයෙකු වන Cristiano Ronaldo සිය නව ක්‍රීඩා සමාජය සමඟ ක්‍රීඩා කළ පළමු තරගයේම කැපී පෙනෙන දස්කම් දක්වන්නට සමත් වුනා.

සෞදි අරාබි කණ්ඩායමක් වන Al Nassr කණ්ඩායම නියෝජනය කරන ඔහු සුපිරි ක්‍රීඩක Lionel Messi ඇතුළු සුපිරි තරු රැසක් ක්‍රීඩා කරන Paris St Germain කණ්ඩායමට එරෙහිව ගෝල දෙකක් ලබා ගැනීමට සමත් වුනා.

මෙම කැපී පෙනෙන දස්කමින් පසුව Ronaldo අගයමින් සිය සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තැබූ Kohli, Ronaldo විවේචනය කරමින් පාපන්දු විශේෂඥයින් යැයි සිතා කටයුතු කරන පුද්ගලයින්ට ද බැන වැදී තිබීම ද විශේෂත්වයක්.

පසුගිය කාලසීමාවේ Ronaldo පාපන්දු ලොව වඩාත් කතාබහට ලක් වූ පාපන්දු තරුව වූ අතර ඔහු ලබා දුන් ආන්දෝලනාත්මක සම්මුඛ සාකච්ඡාවක් නිසා ඔහුට Manchester United කණ්ඩායමෙන් ඉවත් වීමට ද සිදු වුනා. බොහෝ පුද්ගලයින් ඔහුගේ ක්‍රීඩා විලාශය පිළිබඳව චෝදනා එල්ල කරන්නට ද වුනා.

පසුව ඔහු සෞදි අරාබි කණ්ඩායමක් වන Al Nassr කණ්ඩායම සමඟ ගිවිසුම් ගත වූ අතර එම ගිවිසුමේ වටිනාකම යුරෝ මිලියන 200ක් පමණ වීම කැපී පෙනුණා.

“ඔහු අවුරුදු 38 දී පවා ඉතා හොඳින් ක්‍රීඩා කරනවා. සෑම සතියකම අවධානය සඳහා ඔහුව විවේචනය කරන අය ඔහු ලෝකේ හොඳම කණ්ඩායමට එරෙහිව දස්කම් දැක්වූවාට පස්සේ නිහඬව ඉන්නවා,” යැයි Kohli සඳහන් කර තිබුණා.

හිටපු ඉන්දීය නායකයා තමන් Ronaldoගේ රසිකයෙක් බවට සඟවා නොමැති අතර ඔහු Ronaldoගේ ශාරීරික යෝග්‍යතාව පිළිබඳව සෑමවිටම අගය කරනවා. එමෙන්ම Ronaldo ඔහුගේ පරම්පරාවේ හොඳම ක්‍රීඩකයෙකු බව ද Kohli බොහෝ අවස්ථාවල දී ප්‍රකාශ කර තිබෙනවා.

වසර තුනක පමණ කාලයක් ශතකයක් නොමැතිව කෙටි පසුබෑමකට ලක් වූ Kohli මෑත කාලයේ දී සිය රිද්මයට නැවතත් පැමිණ ඇති බවක් දක්නට ලැබෙනවා.

34 වැනි වියේ පසුවන Kohli සිය ශතක ඉඩෝරය පසුගිය ආසියානු කුසලානයේ දී සිය මංගල විස්සයි විස්ස ශතකය ලබා ගනිමින් අවසන් කළ අතර ඔහු අවසන් එක්දින තරග හතර තුළ ශතක තුනක් ලබා ගෙන තිබෙනවා.

ඔහුට Sachin Tendulkarගේ වැඩිම ශතක ගණන සම කිරීමට තවත් ඇත්තේ ශතක තුනක් පමණක් වීම ද විශේෂත්වයක්.

Hindustan Times ඇසුරිනි.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<