IPL ගහන විදෙස් ක්‍රීඩකයන්ගේ ආරක්ෂාව තහවුරුයි

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය 2021

150

IPL 2021 තරගාවලියට සහභාගී වී සිටින ක්‍රීඩකයන්, නිවේදකයන්, සහය කාර්යමණ්ඩල නිලධාරීන් ඇතුළු සියලුම දෙනා තරගාවලිය අවසන් වූ පසු නැවත සිය ගමනාන්ත වෙත යැවීමේ වගකීම ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට විසින් දරන බව ලිපියක් නිකුත් කරමින් IPL සංවිධායකයෙකු වන Hemang Amin සඳහන් කර සිටියා.

කොරෝනා වසංගතයේ ලොව වැඩිම බලපෑම් එල්ල වී ඇති ඉන්දියාවේ කොරෝනා කේන්ද්‍ර ස්ථාන වන Ahmedabad සහ Delhi නගරවල ක්‍රීඩාංගණවල දීත් මෙවර IPL තරගාවලියේ ඉදිරි තරග පැවැත්වීමට නියමිතයි.

“තරගාවලියෙන් පසු ඔබ නැවතත් මව් රටට යන්නේ කෙසේ ද කියලා බියකින් ඉන්නේ කියලා අපි තේරුම් ගත්තා. එය ස්වාභාවික දෙයක් වගේම තේරුම් ගන්න පහසුයි. එහෙත් ඔබට එය ගැන කරදර වෙන්න ඕනේ නෑ කියලා දැනුම් දෙන්න කැමතියි.

ඔබේ ගමනාන්ත වෙත කිසිදු බාධාවකින් තොරව ළඟා වන බව සහතික කිරීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය හැකි සෑම දෙයක්ම කරනවා. ඔවුන් සියලුම දේවල් ඉතා සමීපව නිරීක්ෂණය කරමින් තරගාවලිය අවසන් වූ විගසම ඔබව නැවතත් මව් රටට යැවීමට අවශ්‍ය දේ කිරීමට රජයන්හී බලධාරීන් සමඟ සමීපව කටයුතු කරමින් සිටිනවා.

ඔබ සියල්ලන්ම ආරක්ෂිතව නිවෙස් වෙත යනකම් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට තරගාවලිය අවසන් නැති බව සහතික වෙන්න ඔවුන් අවශ්‍ය කටයුතු සිදු කරනවා” යැයි එම ලිපියේ සඳහන් වුනා.

ඉන්දියාවේ පවතින තත්වය නිසාවෙන් ඕස්ට්‍රේලියානු රජය විසින් ඉන්දියාවේ සිට පැමිණෙන මගී ගුවන් යානා තහනම් කිරීමත් සමඟ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය ක්‍රීඩා කරන ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයන් පිළිබඳව වැඩි අවධානයක් යොමු වුනා.

එම ක්‍රීඩකයන් පිළිබඳව අදහස් දක්වමින් ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ ඔවුන් සිය රට වෙනුවෙන් ක්‍රීඩා නොකරන නිසා නැවත පැමිණීමට ක්‍රමයක් ක්‍රීඩකයන් විසින් සොයාගත යුතු බවයි.

“ඔවුන් එහි ගිහින් තියෙන්නේ පෞද්ගලිකවයි. එය ඕස්ට්‍රේලියානු සංචාරයේ කොටසක් නෙවෙයි. ඔවුන් තමන්ගේ පෞද්ගලික සම්පත් යටතෙයි සිටින්නේ, මට විශ්වාසයි, ඒ වගේම මම බලන් ඉන්නවා ඔවුන් අපේ විධානයන් අනුගමනය කරමින් නැවත ඕස්ට්‍රේලියාවට යනවා දකින්න“ යැයි යැයි වැඩි දුරටත් ප්‍රකාශ කළා.

තවත් ක්‍රිකට් පුවත්:

එමෙන්ම රටේ පවතින සෞඛ්‍ය තත්වය සැලකිල්ලට ගනිමින් මෙවර ඉන්දීය ප්‍රිමියර් තරගාවලිය නවතන ලෙස ඉල්ලීම් කර තිබිය දීත් එය නොනවත්වා ඉදිරියට ගෙන යන බව ද Hemang Amin සඳහන් කර තිබුණා.

“බොහෝ දෙනා පවසන පරිදි මෑත කාලයේ දී ඇතිවූ කරදරවලින් පීඩා විදිහට මිනිස්සුන්ට උදව් කරන්න අපිට පුළුවන් නම් අප අවශ්‍ය සෑම දෙයක්ම කරනවා. කෙටි කාලයක් තුළ වුනත් අපි විශාල වැඩ කොටසක් කරලා තියෙන්නේ.

ඔබ සැවොම පිට්ටනියට යන විට මිලියන සංඛ්‍යාත ජනතාවට එයින් බලාපොරොත්තුවක් එනවා. විනාඩියකට හරි වෙන කෙනෙක්ගේ මුහුණට සිනහවක් ගේන්න ඔබට පුළුවන් නම් ඔබ එය හොඳින් කරලා ඉවරයි.

ඔබ වෘත්තිකයන් ලෙස ජයග්‍රහණය සඳහා ක්‍රීඩා කර ඇතත් මෙවර ඔබ එයට වඩා දෙයකට ක්‍රීඩා කරනවා. ඒ මානුෂීයත්වයයි” යැයි එම ලිපියෙහි සඳහන් වුනා.

ඉන්දියාව තුළ පැතිර යන කොරෝනා වසංගතය නිසාවෙන් මෙවර තරගාවලියට එක්ව සිටි Adam Zampa, Kane Richardson, Andrew Tye, R Ashwin සහ Liam Livingstone යන ක්‍රීඩකයන් තරගාවලියෙන් ඉවත් වීමට තීරණය කළ අතර මෙම අසීරු කාලසීමාවේ දී සිය පවුල සමඟින් සිටීමට R Ashwin කණ්ඩායමෙන් ඉවත්ව තිබුණා.

“ක්‍රීඩකයන් ගත් තීරණයට අපි සම්පූර්ණයෙන්ම ගරු කරන අතර ඔවුන්ට අපගේ සහයෝගය සෑම අයුරකින්ම ලබා දෙනවා. ඒ වගේම ජෛව ආරක්ෂිත බුබුළුවල ආරක්ෂාව ගැන සිතලා අපි සිදු කළ කොරෝනා පරීක්ෂණ ගණන වැඩි කළා. මුලින් දින පහකට වරක් පරීක්ෂා සිදු කළත් දැන් දින දෙකකට වරක් පරීක්ෂණ පවත්වනවා.

මීට කලින් ඔවුන් විසින් නම් කළ හෝටල්, ආපනශාලා මගින් ආහාර බෙදා දීම සඳහා අපි අවසර දීලා තිබ්බත් දැන් අපි එයත් තහනම් කරලා තියෙන්නේ. ඒ වගේම ජෛව ආරක්ෂක බුබුලෙහි ආරක්ෂාව වැඩි කිරීමට අවශ්‍ය සෑමදේම අපි සිදු කරනවා.

මෙම අවස්ථාවේ දී සියල්ලන්ගෙම ආරක්ෂාව ගැන සිතලා මේ සිදු කරන දෙයට ඔබගේත් (ක්‍රීඩකයන් ඇතුළු පාර්ශවයන්) සහයෝගය ලැබෙයි කියලා මම විශ්වාස කරනවා” යැයි එම ලිපියෙහි වැඩි දුරටත් සඳහන්ව තිබුණා.

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<