ටෙස්ට් තුනට යන්න කලින් දෙපැත්තම දින 3ක් ටෙස්ට් කරයි

64

වසරකට පසුව නැවතත් ශ්‍රී ලංකාවට පැමිණි පාකිස්තාන් ජාතික ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකා සභාපතිවරයාගේ කණ්ඩායම සමඟ අද සිට පැවැත්වෙන තුන්දින ක්‍රිකට් තරගයෙන් සංචාරය ආරම්භ කරන අතර, කොළඹ කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන මෙම තරගයේදී ශ්‍රී ලංකා පිල මෙහෙයවීමේ වරම දිනේෂ් චන්දිමාල්ට හිමි වී ඇත.

දෙරට අතර තරගාවලියේ පෙරහුරුවක් ලෙස අද සිට දින තුනක් තරග වැදීමට කණ්ඩායම් දෙකට සිදුවුවද මෙම තෙදින තරගය සැබෑ ලෙසම පුහුණුවක් ලෙස වඩාත් වැදගත් වන්නේ මිෂ්බා උල් හක්ගේ නායකත්වයෙන් යුත් පාකිස්තාන් කණ්ඩායමටය. හේතුව ශ්‍රී ලංකා සභාපතිවරයාගේ කණ්ඩායමට ඇතුළත් කර ඇති ක්‍රීඩකයන්ගෙන් හරි අඩක් පමණ එළැඹෙන ටෙස්ට් තරගාවලියේදී ශ්‍රී ලංකා පිලට ඇතුළත් නොවිය හැකි වුවද ඊට සාපේක්‍ෂව බැලූ විට අදට සමාන පාකිස්තාන් කණ්ඩායමක් ටෙස්ට් තරගාවලියේදීද තරග වදින නිසාය.

ශ්‍රී ලංකාවට පැමිණි පාකිස්තාන් කණ්ඩායමේ පුහුණුකරු වකාර් යුනිස්ම පවසන පරිදි ඔවුන්ගේ කණ්ඩායම යොවුන් ක්‍රීඩකයන්ගෙන් සමන්විත වන අතර, ටෙස්ට් තරග 50කට වැඩියෙන් ක්‍රීඩා කර ඇත්තේ නායක මිෂ්බා උල් හක් හා යුනිස් ඛාන් පමණි. එසේම ටෙස්ට් තරග 10කට අඩුවෙන් ක්‍රීඩා කර ඇති තරුණ ක්‍රීඩකයන් 7 දෙනකුම මෙවර පාකිස්තාන් පිලට එක් වී ඇති අතර, ශ්‍රී ලංකා සභාපතිවරයාගේ පිලටද ඒ හා සමාන යොවුන් ක්‍රීඩක පිරිසක් නම් කර ඇත.

ඒ අනුව ශ්‍රී ලංකා සභාපතිගේ පිලට නම් කර ඇති කසුන් රාජිත (වේගපන්දු යවන්නෙක්) හා ජෙෆ්රි වැන්ඩර්සේ (පා දඟ පන්දු යවන්නෙක්) ද ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට කෝඩුකාරයන් ලෙස හැඳින්විය හැකිය. පාකිස්තාන් පුහුණුකරුගේ අදහසට අනුව ඔවුන් මෑතකදී බංග්ලාදේශයට එරෙහිව එක්දින තරගාවලිය 3-0ක් ලෙස පරාජය වෙමින් ලත් අතීත වාර්තා යහපත් නොවුණද නවකයන් යොදාගෙනම කණ්ඩායම ගොඩගැනීම ඔහුගේ අරමුණ වී ඇත. අජ්මාල් හා ඉර්ෆාන් වැනි ජේ‍යෂ්ඨ පන්දු යවන්නන් නොමැතිව පැමිණියද ශ්‍රී ලංකාවට පැමිණි ගමනෙන් ජයග්‍රහණය ලබා ගැනීම තුළ පමණක් ඔවුන්ගේ අනාගතය රැඳී ඇත. එනම් ශ්‍රී ලංකාව සමඟ එක්දින තරගාවලිය අවම වශයෙන් 3-2ක් ලෙස හෝ ජයගත්තේ නැත්නම් ඔවුන්ට 2017 අයි.සී.සී. ශූරයන්ගේ කුසලානයට සහභාගි වීමට වරම් නොලැබෙනු ඇත. හේතුව එක්දින තරග ශේ්‍රණිගත කිරීම්හි 5 වැනි හා 9 වැනි ස්ථානවල සිටින්නේ පිළිවෙළින් ශ්‍රී ලංකාව හා පාකිස්තානයයි.

පාකිස්තානය පැත්තෙන් වකාර් එසේ මාධ්‍ය වෙත අදහස් දක්වා සිටියදී ශ්‍රී ලංකා තේරීම් කමිටු සභාපති කපිල විජේගුණවර්ධන “මව්බිම”ට පැවැසුවේ තෙදින තරගය සඳහා ශ්‍රී ලංකා පිලට මුල් පෙළේ පන්දු යවන්නන් ඇතුළත් නොකළේ ටෙස්ට් තරගාවලියට පෙර ඔවුන්ගේ ක්‍රමෝපායන් පාකිස්තාන් පිතිකරුවන්ට හඳුනාගැනීම වැළැක්වීමේ උපක්‍රමයක් ලෙසින් බවයි. තවද ශ්‍රී ලංකා සභාපතිගේ පිල සඳහා කිතුරුවන් විතානගේ හා කුසල් ජනිත් නම් නොකෙළේ ඔවුන් දෙදෙනා ගෙවී ගිය පාකිස්තාන් “ඒ” කණ්ඩයාමට එරෙහිව තරගාවලියේදී උසස් දක්‍ෂතා පෙන්නුම් කළ නිසා බව කී තේරීම් කමිටු සභාපතිවරයා “මේ තුන්දින තරගයේදී කල්පනා කළේ වර්ල්ඩ් කප් එකට පසුව ක්‍රිකට් තරග සඳහා ක්‍රීඩා කරන්න අවස්ථාව නොලැබුණු ක්‍රීඩකයන්ට අවස්ථාවක් ලබා දීමයි. ඒ වගේම ඉදිරියට යා හැකියි කියා අපට පෙනුණු යෞවන ක්‍රීඩකයන්ටත් ජාත්‍යන්තර තරග අවස්ථාවක් දීලා පළපුරුද්ද ලබා දෙන්න තීරණය කළා. ජෙෆ්රි දුටුවාම අපට හිතුණ ඔහු අනාගතය සඳහා යොදාගත හැකි පා දඟ පන්දු යවන්නෙක් වේවි කියලා. පාකිස්තාන් කණ්ඩායම ඉතාම දක්‍ෂ කණ්ඩායමක්. අපි ඒ බව දැනගෙන ඔවුන් පරාජය කරන්න බලාපොරොත්තුවෙන් ක්‍රීඩා කරන්න ඕනෑ” යනුවෙන් පැවැසීය.

ටෙස්ට් තරගාවලියේදී විශාල වෙනස්කම් කිරීමට බලාපොරොත්තු නොවන බව කී විජේගුණවර්ධන මහතා මුබාරක් වැනි ක්‍රීඩකයකු මෙම තරගයටද යොදාගත්තේ ටෙස්ට් තරගාවලියටද ඔහුට අවස්ථාවක් ලබාදීම සඳහාද යන අදහස බැහැර නොකළේය. කෙසේ වෙතත් මහේලගේ තැන ගන්නට හැකි ක්‍රීඩකයන් ලෙස කිතුරුවන් විතානගේ, උපුල් තරංග, කුසල් ජනිත් හා ජෙහාන් මුබාරක් නම් කළේය.