අනගි මෙහෙවරක් කළ නිහඬ විරුවා අවසන් ගමන් යයි

265
Sri Lanka’s ‘Godfather of Football’ P.D.Sirisena passes away

ශ්‍රී ලංකා පාපන්දු ක්‍රීඩාව සඳහා අනගි මෙහෙවරක් සිදු කළ පී. ඩී. සිරිසේන මහතා ඊයේ (18) රාජගිරියේ පිහිටි ඒ මහතාගේ නිවසේ දී අභාවප්‍රාප්ත විය.

සිරිසේන මහතා කලක පටන් ස්නායු පද්ධතිය ආශ්‍රිතව ආබාධයකින් පීඩා විඳී අතර පසුගිය මාස කිහිපය තුල ඔහුට අවශ්‍ය දියර හා ආහාරයමය ද්‍රව්‍ය පවා ලබා දුන්නේ ද නාල හරහායි.

හිටපු පාපන්දු ක්‍රීඩකයෙකු, පාපන්දු පුහුණුකරුවෙකු සහ උපදේශකවරයෙකු මෙන්ම පරිපාලකයෙක් ලෙස ද සිය වගකීම් ඉටු කළ සිරිසේන මහතා අභාවප්‍රාප්ත වන විට 77 වන වියේ පසු විය.

ශ්‍රී ලංකාව ඉතිහාසයේ පහළම ශ්‍රේණිගත කිරීමේ ස්ථානයට

‘FIFA’ ආයතනය විසින් පසුගිය සතියේ නිකුත් කළ යාවත්කාලීන කරන ලද ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම්වලට අනුව ශ්‍රී…

මරදාන මධ්‍ය විද්‍යාලය හෙවත් මරදාන සංඝරාජ විද්‍යාලය හරහා පාපන්දු ක්‍රීඩාවට පිවිස කොළඹ සෝන්ඩර්ස් (1956 -1972) ක්‍රීඩා සමාජයේ මෙන්ම ජාතික පාපන්දු කණ්ඩායමේ නායකයා ලෙස ද කටයුතු කළ ඔහුගේ පාපන්දු දිවිය වසර 63 අතීතයකට දිවයයි. තවද ඔහු නෙදර්ලන්තයේ ද පාපන්දු ක්‍රීඩා සමාජ තරගවලට සහභාගි වූ ක්‍රීඩකයෙකි.

1960 වර්ෂයේ දී එෆ්. ඒ. කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගයේ දී සිරිසේන මහතා සෝන්ඩර්ස් කණ්ඩායම නියෝජනය කරමින් ලබාගත් අගනා ගෝල 6 මෙන්ම, එම වසරේ තරගාවලිය පුරා ඔහු විසින් රැස්කළ ගෝල 24 තවමත් නොබිඳී පවතින වාර්තාවන් දෙකකි.

එම අවසන් මහා තරගයේ දී සිරිසේන මහතාගේ ගෝල හමුවේ සෝන්ඩර්ස් කණ්ඩායම වැල්ලවත්ත පෙහෙකම්හල් කණ්ඩායමට එදිරිව ගෝල 7-2ක් ලෙස ජයග්‍රහණය කර ඇත. තවද සිරිසේන මහතා මෑතක් වන තුරුම ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ තාක්ෂණික උපදේශකයකු ලෙස කටයුතු කළ අතර ඉන්පසුව ඔහු විශ්‍රාම දිවියට එළඹෙන ලදි. ඔහු වසර ගණනාවක්ම ජාතික පාපන්දු පුහුණුකරු ධූරයේ මෙන්ම සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජයේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළේය.

ශ්‍රී ලංකාවේ එෆ්. ඒ. කුසලාන තරග ඉතිහාසය වර්ෂ 1948 තෙක් ඈතට දිව යන අතර එම තරගාවලිය මේ දක්වා වැඩිම වාර ගණනාවක් දිනා ඇත්තේ සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජයයි.

සිරිසේන මහතාගේ දේහය අද (19) උදෑසන 9 සිට දහවල් 12 දක්වා අවසන් ගෞරවය දැක්වීම පිණිස සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජයේ තැන්පත් කර තබන අතර 20 හා 21 දිනවල දේහය ජයරත්න මල්ශාලාවේ තැන්පත් කරනු ඇත. දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන බ්‍රහස්පතින්දා (21) සවස 5ට බොරැල්ල පොදු සුසාන භූමියේ දී සිදු කෙරෙනු ඇත.

 තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට