IPL යන ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින්ටත් දින 6 නිරෝධායන කාලයක්

410
Times of india

ස්ටීව් ස්මිත් හා ඩේවිඩ් වෝනර් ප්‍රමුඛ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට සහභාගී වීමට නියමිත ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින්ට එංගලන්තයේ සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයට පැමිණ දින හයක නිරෝධායන කාලයක් ගත කළ යුතු බව චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ පන්දු යැවීමේ විශේෂඥ පුහුණුකරු එරික් සිමන්ස් පවසා සිටිනවා. 

බදාදා පැවැත්වෙන එංගලන්ත ඕස්ට්‍රේලියා තෙවැනි එක්දින තරගයට පසුව රාජස්තාන් කණ්ඩායමේ ස්මිත්, සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමේ ඩේවිඩ් වෝනර් හා චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ ජෝෂ් හේසල්වුඩ් එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත පැමිණීමට නියමිතයි. එංගලන්තයේ සිටි කාලය පුරාවට ඔවුන් සෞඛ්‍යාරක්ෂිත වටපිටාවක සිටීම විශේෂත්වයක්.

නමුත් සිමන්ස් පවසා සිටින්නේ නිරෝධායන නීති රීති කිසිවෙකුට වෙනස් නොවන බවත් ඒ නිසා ඕස්ට්‍රේලියානුවන්ට දින හයක නිරෝධායන කාලසීමාවක් ගත කිරීමට සිදු වන බවත්ය. 

“තාම නිල වශයෙන් දැනුම් නොදුන්නත් අපිට අහන්න ලැබුණා ඕස්ට්‍රේලියානුවන්ට ද දින හයක නිරෝධායන කාලයක් ගත කරන්න සිදුවෙනවා කියලා. ඒ වගේම ඔවුන්ට පළමු, තුන්වැනි හා හයවැනි දිනවල COVID-19 පරීක්ෂණයන්ට ද මුහුණ දීමට ද සිදු වෙනවා” Manners on Cricket ක්‍රිකට් වෙබ් අඩවියට ලියමින් සිමන්ස් පවසා සිටියා.

තවත් ක්‍රිකට් පුවත්: 

“අපි බලාපොරොත්තු වුනා ඔවුන්ට ඔවුන්ගේ සෞඛ්‍යාරක්ෂිත වටපිටාවේ සිට අපේ සෞඛ්‍යාරක්ෂිත වටපිටාවට මාරු වෙන්න ලැබෙයි කියලා. ඒ වුනත් කිසිම කෙනෙකුට නීති වෙනස් නොකිරීමට ගෙන ඇති තීරණය අපිට අවබෝධ කරගන්න පුළුවන්. එම්. එස් දෝනිගේ නායකත්වය යටතේ එන අපේ ඉන්දීය ක්‍රීඩකයින් වගේම අපිට ෂේන් වොට්සන්, ෆෆ් ඩූ ප්ලේසිස් හා ලුන්ගි න්ගිඩි ඉන්නවා. ඒ නිසා අපිට ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ.” 

ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින් සැප්තැම්බර් 17 වැනිදා එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත පැමිණීමට නියමිත අතර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය ආරම්භ  වීමට නියමිතව ඇත්තේ ඊට දින දෙකකට පසුවයි. සිමන්ස් පවසා සිටියේ චෙන්නායි ක්‍රීඩකයින් හෝටලයෙන් පිටව යන හැම වතාවකම ‘smart health tracking’ උපකරණයක් පැලඳිය යුතු බවයි. 

“අපි හැමෝටම smart health tracking උපකරණ දුන්නා ඔවුන් හෝටල් කාමරවලින් පිටව යන විට පලඳින්න. අපේ භෞතචිකිත්සක ඒවා ඔරලෝසු විදියට පළඳන්න පුළුවන් විදියට හැදුවා. එතකොට ඔවුන්ට දැනෙන්නේ නැහැ ඔවුන්ව පාලනය කරනවා කියලා.”

එක්සත් අරාබි එමීර් වෙත පැමිණීමෙන් අනතුරුව චෙන්නායි කණ්ඩායමේ ක්‍රීඩකයින් දෙදෙනෙක් ද ඇතුළු තවත් 11 දෙනෙක්ට COVID-19 වැළඳී ඇතැයි වාර්තා වුනා.  

Hindustan Times ඇසුරින්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<