Blues අපරාජිත ගමන් මඟට තිත; Crusaders කෙමෙන් කිරුළට ළං වේ

137
INVESTEC SUPER RUGBY AOTEAROA 2020

Investec Super Rugby Aotearoa 2020 තරගාවලියේ තීරණාත්මක 5 වැනි සති අන්තය ආරම්භ කරමින් ක්‍රියාත්මක වූ උද්වේගකර තරගයෙන් ලකුණු 26-15ක් ලෙස ජය ගැනීමට Crusaders කණ්ඩායම අද (11) සමත් විය. ඔවුන් අතින් පරාජයට පත්වූයේ තරගාවලියේ මෙතෙක් අපරාජිතව ඉදිරියට ආ Auckland Blues කණ්ඩායමයි.

Crusaders පෙරමුණට. Highlanders තෙවන තැනට

Super Rugby Aotearoa 2020 තරගාවලියේ සිව්වැනි සති අන්තයෙහි ආරම්භය

ප්‍රබල ක්‍රීඩකයින් රැසකගෙන් සන්නද්ධ කණ්ඩායම් දෙකක් නිසාවෙන් අවසන් මොහොත දක්වා සටනේ ජය කුමන කණ්ඩායම වෙත දෝලනය වේ දැයි සැකයෙන් ඇරඹුණු තරගයේ පළමු ප්‍රහාරය දියත් කිරීමට වැඩි කාල වේලාවක් ගත නොකිරීමට Blues ඉදිරිපෙල ක්‍රීඩකයෝ වගබලා ගත්හ.

Mark Telea තම සුරතට ලැබුණු පන්දුව ආරක්ෂිතව පිටියේ දකුණු පස කෙළවරින් උත්සාහක දිනුම් රේඛාව අභිබවා රැගෙන ගියේ දිනයේ පළමු උත්සාහක දිනුම තම කණ්ඩායම වෙත හිමි කරදෙමිනි. Otere Black ප්‍රවර්තනය සාර්ථකව ගෝල කණු අතරින් යොමු කළේ පළමු කාර්තුවේ දී ම Crusaders කණ්ඩායම වෙත දැඩි පීඩනයක් එල්ල කරමිනි. (Crusaders 00 – 07 Blues)

Crusaders කණ්ඩායම සතුව තිබූ පන්දුව අවස්ථා කිහිපයක දී ම ඉතාමත් සූක්ෂමව සොරා ගත් Blues ක්‍රීඩකයින් තම ආක්‍රමණශීලී ක්‍රීඩා රටාව තවදුරටත් තර කරමින් ප්‍රතිවාදීන් ආරක්ෂක වැට වෙත පහර දුන්නේ ඔවුන්ගේ ඉදිරිපෙළ සතු ශක්තිය මනාවට විදහා පාමිනි.

Hurricanes කුණාටුවෙන් බැට කෑ Chiefs ක්‍රීඩකයින් කබලෙන් ලිපට

Super Rugby Aotearoa 2020 තරගාවලියේ සිව්වැනි සතිඅන්තය ඊයේ

කෙසේ නමුත් පළමු අර්ධයෙහි අවසන් මිනිත්තු 10ක කාල සීමාව තුල දී යලි තම සුපුරුදු රිද්මයට අනුගත වූ Crusaders ක්‍රීඩකයින් දක්ෂ ලෙස පන්දුව පාලනය කරමින් Blues ක්‍රීඩකයින් නිහඬව තබා ගැනීමට සමත් වූයේ විවේක කාලයට පෙරාතුව ලකුණු පරතරය එකක් දක්වා පහත දමමිනි. Richie Mo’unga සුපුරුදු පරිදි දඬුවම් පහර අවස්ථා දෙකෙන් උපරිම ඵල නෙලා ගත්තේ නැවතත් තරගය දෙපිලටම විවෘත කරමිනි. (Crusaders 06 – 07 Blues)

පළමු අර්ධයේ ලකුණු තත්වය: Crusaders 06 (2P) – 07 (1T,1C) Blues

දෙවන අර්ධය ආරම්භයේ දී කණ්ඩායම් දෙකේම ක්‍රීඩකයින් අතින් සිදු වූ අත්වැරදීම් නිසාවෙන් දඬුවම් පහර අවස්ථාවන් හිමි කරගැනීමට දෙපිලම සමත් වූ අතර Crusaders කණ්ඩායම වෙනුවෙන් Mo’ungaද Blues පිල වෙනුවෙන් Blackද ඔවුන්ට පැවරුණු කාර්‍යභාර්‍ය සාර්ථකව ඉටු කිරීමට සමත්කම් දැක්විය. (Crusaders 09 – 10 Blues)

ඉන් අනතුරුව 55 වැනි මිනිත්තුවේ දී පැමිණි සිටි සියල්ලන්ම මවිත කරමින් Blues කණ්ඩායමේ Rieko Ioane අපූර්ව උත්සාහක දිනුමක් වාර්තා කළේ නැවත වරක් තරගයේ වැඩි වාසි නිල් ජර්සි ක්‍රීඩකයින් හට හිමි කරදෙමිනි. කෙසේ නමුත් එහි ප්‍රවර්තනය සාර්ථක කරගැනීමට Black අපොහොසත් විය. (Crusaders 09 – 15 Blues)

සුපර් රග්බිවලට වෙනස්කම් කිහිපයක්

සුපර් රග්බි තරගාවලියේ Aotearoa තරගාවලිය මේ දිනවල

එම උත්සාහක දිනුමෙන් අනතුරුව තරගයේ ඉරණම කණපිට පෙරළීමට පටන් ගත්තේ Crusaders පසුපෙළ ක්‍රීඩකයින් දියත් කළ ප්‍රහාරාත්මක අක්‍රමණයන් ඉදිරියේ Blues ක්‍රීඩකයින් නිරුත්තර වීමත් සමඟිනි.

Mitchell Drummond සහ Will Jordan දෙදෙනා ප්‍රවර්තිත උත්සාහක දිනුම් දෙකකින් Blues ක්‍රීඩකයින් හට සංග්‍රහ කරද්දී ලැබුණු සෑම අවස්ථාවක දී ම අකුරටම තම රාජකාරිය ඉටු කළ Mo’unga තවත්  සාර්ථක දඬුවම් පහරකින් කණ්ඩායමේ මුළු ලකුණු සංඛ්‍යාව ඉහළ නැංවීමට සමත් විය. (Crusaders 26 – 15 Blues)

ඒ අනුව 60 වැනි මිනිත්තුව තෙක්ම තරගයේ ජය Blues කණ්ඩායම වෙත හිමි වේ යැයි විශ්වාසයෙන් සිටි  ආධාරකරුවන්ගේ බලාපොරොත්තු සුනුවිසුනු කර දමමින් තරගාවලියේ ආධිපත්‍යය තවදුරටත් පතුරවාලීමට Crusaders ක්‍රීඩකයින් හට හැකි විය.

අවසන් ලකුණු තත්වය: Crusaders 26 (2T,2C,4P) – 15 (2T,1C,1P) Blues

ලකුණු රැස්කළ ක්‍රීඩකයෝ

  • Crusaders – Richie Mo’unga (4P,2C), Will Jordan (1T), Mitchell Drummond (1T)
  • Blues – Mark Telea (1T), Otere Black (1P,1C), Rieko Ioane (1T)

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<