මැතිව්ස්ට ඕස්ට්‍රේලියානු විස්සයි 20 තරගාවලිය මඟ හැරේ

1629
Angelo Mathews

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දන්වා සිටින පරිදි මෙම මස අවසානයේ දී ඕස්ට්‍රේලියාව සමඟින් පැවැත්වීමට නියමිත, තරග තුනකින් සමන්විත විස්සයි 20 තරගාවලිය සඳහා ඇන්ජෙලෝ මැතිව්ස් සහභාගි නොවන බව වාර්තා වේ. ගෙවුණු මාසයේ දකුණු අප්‍රිකාව සමඟින් වොන්ඩර්ස් හි පැවැත්වුනු දෙවැනි විස්සයි විස්ස තරගය අතරතුර ශ්‍රී ලංකාවේ නිත්‍ය නායකයා කළව ප්‍රදේශයේ ආබාධයකට ලක්විය. ඒ හේතුවෙන් ඔහු සංචාරය අතරමග නැවතත් ශ්‍රී ලංකාවට පැමිණියේ ය.

ශ්‍රී ලංකාවට සමඟින් තරග කරන ඕස්ට්‍රේලියානු T20 සංචිතය නම් කෙරේ

ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවැත්වෙන තරග 3කින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය සඳහා සහභාගි වන ඕස්ට්‍රේලියානු සංචිතය මේ වන විට නම් කර තිබේ.

මේ දිනවල දී දකුණු අප්‍රිකාව සමඟින් පැවැත්වෙන එක්දින තරගාවලිය නිමාවීමත් සමඟම ශ්‍රී ලංකා කණ්ඩායම ඕස්ට්‍රේලියාව බලා පිටත් වන අතර විස්සයි 20 තරග රටාවේ දස්කම් පාන තවත් ක්‍රීඩකයින් කිහිප දෙනෙකු ද එහි දී ඔවුන් හා එක්වනු ඇත. ශ්‍රී ලංකා කණ්ඩායම පෙබරවාරි 13 වැනිදා ඕස්ට්‍රේලියාවේ කැන්බරා නුවරට සම්ප්‍රාප්ත වනු ඇති අතර 15 වැනිදා ඕස්ට්‍රේලියානු සභාපතිවරයාගේ කණ්ඩායම සමඟින් පුහුණු තරගයකට සහභාගි වීමට නියමිත යි. ඉන් අනතුරුව මෙම මස 17, 19 සහ 22 යන දිනයන් හිදී අන්තර්ජාතික විස්සයි විස්ස තරග තුනකට මුහුණ දෙන ඔවුන් 23 වැනිදා නැවතත් ශ්‍රී ලංකාව බලා පියාසර කරනු ඇත.

විශ්වාසවන්ත ආරංචි මාර්ග සඳහන් කරන පරිදි දකුණු අප්‍රිකාව සමඟින් පැවති තෙවැනි සහ අවසන් විස්සයි විස්ස තරගයේ නායකත්වය දැරූ දිනේෂ් චන්දිමාල් ඕස්ට්‍රේලියානු විස්සයි 20 තරගාවලියෙන් විවේක ගන්වනු ඇති අතර ධනංජය සිල්වා, කුසල් මෙන්ඩිස් සහ සුරංග ලක්මාල් යන ක්‍රීඩකයින් ද ඒ අතරට අයත් වීමට ඉඩ ඇත.

සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ඔහුගේ දණහිසේ ආබාධයෙන් සම්පූර්ණයෙන්ම සුවය ලැබීමෙන් අනතුරුව බොහෝ දුරට මෙම ඕස්ට්‍රේලියානු තරගාවලියේ දී නැවතත් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම හා එක්වනු ඇත. එසේම මේ දිනවල දකුණු අප්‍රිකාව සමඟින් පැවැත්වෙන එක්දින තරගාවලියේ වැඩ බලන නායකයා ලෙස කටයුතු කරන උපුල් තරංග ඕස්ට්‍රේලියානු සංචාරයේ දී ද ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමට ඉඩ ඇත.

සංචාරය සඳහා සහභාගි වන නිල ශ්‍රී ලංකා සංචිතය පෙබරවාරි 7 වැනිදා ක්‍රිකට් ආයතනය විසින් නිවේදනය කරනු ඇත.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට