ස්ටෝක්ස්, මාර්ක් වුඩ් කැන්ගරුවන් ගෙදර යවයි!

317
ඡායාරූප ලබා ගැනීම ESPN Cricinfo වෙබ් අඩවියෙනි.

2017 ශූරයින්ගේ කුසලාන තරගාවලියේ මේ වන විට සුපිරි දක්ෂතා දක්වමින් සිටින සත්කාරක එංගලන්තය ඊයේ (10) අපරාජිතවම අවසන් පූර්ව වටය සඳහා ස්ථානය වෙන් කරවා ගත්තේය. ඒ ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ශූරයින්ගේ කුසලාන සිහිනය සම්පූර්ණයෙන්ම බොඳ කර දමමිනි. මෙම තරගයේ ප්‍රතිඵලයත් සමඟම බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමට ද අවසන් පූර්ව වටයේ දොරටු විවර විය.

පෙරළිකාර ජයක පහස බංග්ලාදේශයට

කෙමින් කෙමින් උණුසුම් වන ශූරයින්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ A කාණ්ඩයේ තවත් තරගයක් ඊයේ (9) බංග්ලාදේශය හා නවසීලන්තය අතර, කාර්ඩිෆ් ක්‍රීඩා පිටියේ…

කාසියේ වාසිය දිනා ගත් එංගලන්ත නායක ඔයින් මෝර්ගන් මෙම තරගාවලියේ බොහෝ නායකයින් අනුව යමින් ප්‍රථමයෙන් පන්දු යැවීමට තීරණය කළේය. ඊට ප්‍රතිචාර දැක්වූ ඕස්ට්‍රේලියානු පිතිකරුවන් කිහිප දෙනෙකුම යම් තරමක සාර්ථකත්වයක් පෙන්නුම් කළ ද ඉනිම ඉදිරියට රැගෙන යා හැකි ප්‍රහාරකයෙකුගේ අඩුව ඉනිම පුරාවට කැපී පෙණුණි. කෙසේ වෙතත් ඩේවිඩ් වෝනර්ගේ කඩුල්ල මුළු ලකුණු 40 දී බිඳ වැටීමෙන් අනතුරුව ඒරෝන් ෆින්ච් සහ නායක ස්මිත් අතරේ ලකුණු 96ක සබඳතාවයක් ගොඩ නැගීම ඔවුන්ට සුබ බලාපොරොත්තු ඇති කරවන්නක් විය.

ඒරෝන් ෆින්ච් අද හතරේ පහර 8ක් සමඟින් ලකුණු 68ක් වාර්තා කළේය. ඔහුගේ වේගවත් ඉනිමට වැය වුනේ පන්දු 64ක් පමණි. ප්‍රහාරකයෙකුට වඩා ඉනිම් ගොඩ නගන්නෙකු ලෙස ප්‍රසිද්ධියක් උසුලන ස්ටීව් ස්මිත් ඊයේ පන්දු 77ක දී ලකුණු 56ක් රැස් කළේය. මාර්ක් වුඩ්ගේ පන්දුවක් හමුවේ ප්ලන්කට් අතට උඩපන්දුවක් ලබා දී ඔහු දැවී යාම සමස්ත ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එල්ල වුන මරු පහරක් විය. අංක 4 පිතිකරු ලෙස ක්‍රීඩා කරන මොයිසස් හෙන්රිකස් තම ස්ථානය පිළිබඳව නැවත වතාවක් ප්‍රශ්නාර්ථයක් ඇති කරමින් ලකුණු 17කට දැවී ගියේය.

ඒ අනුව මුල්පෙළ පිතිකරුවන් මග දමා ගිය රාජකාරිය ඉටු කිරීමේ කාර්‍යය භාර ගත්තේ වමත් පිතිකරු ට්‍රැවිස් හෙඩ් විසිනි. ඊයේ දිනයේ බර්මිංහැම් තණතිල්ල හොඳින්ම කියවූ ඕස්ට්‍රේලියානු පිතිකරුවා බවට පත්වුණු හෙඩ් පන්දු 64ක් පමණක් වැය කරමින් නොදැවී ලකුණු 71ක් ලබා ගත්තේය. ඒ හතරේ පහර 5ක් සහ හයේ පහර 2ක් සමඟිනි. ඉනිමේ අවසන් කොටසේ දී ඔහුගේ සහයට තවත් පිතිකරුවෙකු සිටියා නම් මෙම තරගයේ ප්‍රතිඵලය පවා වෙනස් වන්නට බොහෝ ඉඩකඩ පැවතුණි.

නමුත් සමස්ත ඕස්ට්‍රේලියානුවන්ගේම අවාසනාවට ට්‍රැවිස් හෙඩ්ට එවන් සහයෝගයක් හිමි නොවීම නිසා ප්‍රබල එංගලන්ත පිතිකරණ බල ඇණියට හඹා යෑමට සිදු වූයේ ලකුණු 277ක පහසු ඉලක්කයකි. ඇත්ත වශයෙන්ම පිතිකරුවන්ට උචිත තණතීරුවක් සහ අඩු දුර හතරේ සීමා සහිත බර්මිංහැම් තණතිල්ලේ ලකුණු 300ක්වත් නොමැතිව තරගයක් ජය ගැනීම කිසිසේත්ම පහසු කාරණාවක් නොවේ. එවන් තණතීරුවක හොඳින් පන්දු යැවූ මාර්ක් වුඩ් සහ අඩිල් රශීඩ් කඩුලු 4 බැගින් බිඳ හෙලූහ.

කෙසේ වෙතත් ශූරයින්ගේ කුසලානයේ මූලික වටයේ තමන් සහභාගි වුන තරග 3ම ජය ගැනීමේ අදිටනින් පිටියට පිවිසුණු එංගලන්ත පිළේ ආරම්භය නම් එතරම් සාර්ථක වූයේ නැත. ඒ ජේසන් රෝයි සහ ඇලෙක්ස් හේල්ස් යන පිතිකරුවන් දෙදෙනාම එංගලන්ත ඉනිමට ලකුණු 6ක් එක් වෙද්දී ක්‍රීඩාගාරය බලා ගිය නිසාවෙනි. සුපිරි පිතිකරු ජෝ රූට් පවා ඊයේ ලකුණු 15ක් ලබා සිටිය දී කඩුලු රකින්නා අතට පහසු උඩපන්දුවක් ලබා දී දැවී ගියේය. එංගලන්තයේ මුල් කඩුලු 3ක් ලකුණු 35ක් තුල බිඳ වැටුණු මොහොතේ නායක ඔයින් මෝර්ගන් සහ බෙන් ස්ටෝක්ස් පිටියේ එක්වන්නේ ඒ අනුවයි.

මීට දින දෙකකට පෙරාතුව ශකීබ් අල් හසන් සහ මහමදුල්ලා ගොඩ නැංවූ සුපිරි සබඳතාවය සිහිපත් කරමින් විශිෂ්ට අයුරින් පන්දුවට පහර දුන් මොවුන් දෙදෙනා සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 159ක සුපිරි සබඳතාවයක් ගොඩ නැගූහ. මේ වන විට ඉතාමත් හොඳ පිතිකරණ රිද්මයක් පවත්වාගෙන යන නායක මෝර්ගන් හතරේ පහර 8ක් සහ හයේ පහර 5ක් සමගින් ලකුණු 87ක් රැස් කළේය. පිතිකරුවන් දෙදෙනා අතරේ අවබෝධය සම්පූර්ණයෙන්ම බිඳ වැටුණු මොහොතක සැම්පා කෙලින්ම පන්දුව කඩුල්ල වෙත එල්ල නොකරන්නට මෝර්ගන්ට ඊයේ තම ශතකය කරා පහසුවෙන් ගමන් කරන්නට ඉහළ අවස්ථාවක් තිබුණි.

කෙසේ වෙතත් එංගලන්තයේ ජයග්‍රහණය වාර්තා වන තුරුම නොදැවී පිටියේ රැඳුණු බෙන් ස්ටෝක්ස් ලකුණු 102ක් රැස් කිරීමට සමත් විය. ඒ හතරේ පහර 13ක් සහ හයේ පහර 2ක් සමඟිනි. මෝර්ගන්ගේ දැවී යාමෙන් අනතුරුව ස්ටෝක්ස් සමඟ එක්වුණු ජෝස් බට්ලර් නොදැවී ලකුණු 29ක් ලබා ගනිමින් එංගලන්තයේ ලකුණු වේගය තව තවත් ඉහළ දැමීය. මේ මොහොතේ බර්මිංහැම් ක්‍රීඩාංගණයට වැසි පතිත වූ බැවින් එංගලන්තයට ලකුණු 40ක ජයක් හිමි කර දෙන්නට තරග තීරකවරයා පියවර ගත්තේය.

මෙම ජයග්‍රහණයෙන් සතුටු වූයේ එංගලන්ත ප්‍රේක්ෂකයින් පමණක්ම නොවේ. බංග්ලාදේශයේ වාසය කරන මිලියන 161ක ප්‍රේක්ෂකයින් ද මෙම ජයග්‍රහණය ඉතාමත් ප්‍රීතියෙන් සැමරූහ. ඒ ඔවුන්ටත් අවසන් පූර්ව වටයට පිවිසීමේ අවස්ථාව එංගලන්තයේ සාර්ථකත්වයත් සමඟ හිමිවුණු බැවිනි. ඒ අනුව මේ වන විට අසල්වැසි රටවල් දෙකක් වන ඕස්ට්‍රේලියාවට සහ නවසීලන්තයට නැවතත් සිය රටවල් කරා යාමට බඩුමුට්ටු අසුරා ගැනීමට සිදුව තිබේ.

අවසන් පූර්ව වටය සඳහා ප්‍රවේශ පත්‍ර ලබා ගැනීම වෙනුවෙන් කෙරෙන දැවැන්ත සටනක් අද ලන්ඩනයේ, ඕවල් ක්‍රීඩාංගණයේ දීත් පැවැත්වෙනු ඇත. ඒ දකුණු අප්‍රිකානුවන් සහ ඉන්දියානුවන් අතරයි. එසේම මූලික වටයේ තරග නිමා වන හෙට දිනයේ දී ශ්‍රී ලංකාව හෝ පකිස්තානය යන කණ්ඩායම් දෙකෙන් එකකට ශූරයින්ගේ කුසලානයෙන් සමු ගැනීමට සිදු වනු ඇත. එම කණ්ඩායම ශ්‍රී ලංකාව නොවේවා යන්න සමස්ත ශ්‍රී ලංකා වාසී ක්‍රීඩාලෝලීන්ගේ පැතුමයි.

ඕස්ට්‍රේලියාව – කඩුලු 9ක් දැවී ලකුණු 277 (පන්දුවාර 50): ට්‍රැවිස් හෙඩ් 71*, ඒරෝන් ෆින්ච් 68, ස්ටීව් ස්මිත් 56, ඩේවිඩ් වෝනර් 21, ග්ලේන් මැක්ස්වෙල් 20, මාර්ක් වුඩ් 4/33, අඩිල් රශීඩ් 4/41.

එංගලන්තය – කඩුලු 4ක් දැවී ලකුණු 240 (පන්දුවාර 40.2): බෙන් ස්ටෝක්ස් 102*, ඔයින් මෝර්ගන් 87, ජෝස් බට්ලර් 29*, ජෝ රූට් 15, ජෝෂ් හැස්ල්වුඩ් 2/50, මිචෙල් ස්ටාර්ක් 1/52.

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට