සුපර් රග්බිවලට වෙනස්කම් කිහිපයක්

234

සුපර් රග්බි තරගාවලියේ Aotearoa තරගාවලිය මේ දිනවල නවසීලන්තයේ දී පැවැත්වේ. සුපර් රග්බි තරගාවලිය වඩාත් තරගකාරී මට්ටමකට ගෙන ඒම සඳහා එහි සංවිධායකයන් වසර කීපයක සිට සැලසුම් සකස් කරමින් සිටී. ඒ සඳහා ඔවුන් විසින් සම්පාදනය කරන ලද Aratipu වාර්තාව පසුගිය දා එහි අධ්‍යක්ෂක මණ්ඩලය වෙත ඉදිරිපත් කෙරිනි. 

එම වාර්තාවේ සඳහන් කරුණු පිළිබඳව නිල වශයෙන් මාධ්‍ය වෙත අදහස් ප්‍රකාශ නොවූවද නවසීලන්තයේ stuff.co.nz වෙබ් අඩවිය එම වාර්තාව සම්බන්ධයෙන් විශේෂ ලිපියක් පසුගිය දා පලකර තිබුණි. එහි දී තරගාවලිය සඳහා සිදුවීමට නියමිත වෙනස්කම් කීපයක් පිළිබඳව හෙළිදරව් කර තිබුණි.

Crusaders පෙරමුණට. Highlanders තෙවන තැනට

ඒ අනුව ඉදිරිපත් කළ Aratipu සමාලෝචනයට අනුව සුපර් රග්බි තරගාවලිය trans-tasman එනම් ඕස්ට්‍රේලියා – නවසීලන්ත තරගාවලියක් ලෙස පැවැත්වීමට නිර්දේශ කර තිබේ.  

මෙලෙස සංශෝධනය වන නව තරගාවලිය සඳහා පැසිෆික් කලාපයේ කණ්ඩායමක් ද ඇතුළත් වීමට නියමිතය. මෙම නව වෙනස්කම් හමුවේ මේ වන විට දකුණු අර්ධගෝලයේ රග්බි පාලක මණ්ඩලය වන SANZAAR සම්මේලනයට මෙම තරගාවලිය සඳහා කණ්ඩායම් සම්බන්ධ කර ගනිමින් රග්බි ශූරතාවලිය ඉදිරියට පවත්වා ගෙන යාමට නොහැකි වනු ඇතැයි MEDIAWORKS වෙබ් අඩවිය වාර්තා කළේය.

සුපර් රග්බි තරගාවලිය සඳහා නවසීලන්තය, ඕස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව සහ ආජන්ටිනාව යන රටවල් නියෝජනය කරමින් කණ්ඩායම් සහභාගී වන අතර එහි  2021 තරගාවලිය සඳහා ජපානයේ SUNWOLVES කණ්ඩායම ද එක්වීමට නියමිතව තිබුණි.

නමුත් MediaWorks වාර්තා කලේ සුපර් රග්බි තරගාවලියේ බලය SANZAAR සතුවීම ලබන වසරේ සිට අවසන් වනු ඇති බවයි.

“දක්ෂිණ අර්ධගෝලයේ රග්බි එක්සත් පෙරමුණ ඉක්මනින් අවසන් වේවි” එහි වාර්තාවක දැක්විය.

නවසීලන්ත රග්බි සම්මේලනය පසුගිය අප්‍රේල් මාසයේ දී නිවේදනය කළේ දැනට පවතින තරගාවලිය සමාලෝචනය කිරීමෙන් පසු සුපර් රග්බි තරගාවලිය වඩාත් තරගකාරී වේදිකාවක් දක්වා ව්‍යාප්ත කරන බවයි.

HSBC සත් සාමාජික රග්බි කිරුළ නවසීලන්තයට

Aratipu වාර්තාව සම්පාදනය කිරීම සඳහා වන කමිටුවේ මුලසුන බ්ලූස් කණ්ඩායමේ දොන් මැකිනන් විසින් හොබවන ලද අතර එම වාර්තාව මඟින් මෙම තරගාවලිය සඳහා රැඩිකල් වෙනස්කම් කීපයක් හඳුන්වා දී තිබේ. 

එම වාර්තාව මඟින් සංශෝධිත නව තරගාවලිය විශාල ජාත්‍යන්තර තරගාවලියක් දක්වා වර්ධන කිරීමට අවශ්‍ය මාර්ගෝපදේශ හා උපදෙස් සපයා ඇත. සුපර් රග්බි තරගාවලියේ ජයග්‍රාහකයින් වෙනත් රටවල තරගාවලිවල ශූරයින්ට එරෙහිව තරග වදින වෙනත් වේදිකාවක් නිර්මාණය කිරීමට ද එම වාර්තාව නිර්දේශ කර තිබේ. 

“අපි මේ ගුණාංග තබා ගන්නා තාක් කල් අපිට මේ තරගාවලිය සාර්ථක කරගන්න පුළුවන්”  බ්ලූස් පුහුණුකරු ලියොන් මැක්ඩොනල්ඩ් උපුටා දක්වමින් mediaworks වෙබ් අඩවිය වාර්තා කළේය.

මේ අතර, SANZAAR හි ප්‍රධානී ඇන්ඩි මැරිනෝස් මේ වසර අග දී Rugby Championship තරගාවලිය පැවැත්වීම පිළිබඳව සුභවාදී ආකල්පයක් දරයි. ලබන වසරේ දී පූර්ණ සුපර් රග්බි තරගාවලියක් සාමාන්‍ය පරිදි පවතිනු ඇතැයි ද ඔහු විශ්වාසය පල කර තිබේ.

“අපි Rugby Championship තරගාවලිය පැවැත්වීම ගැන ඉතා ධනාත්මකව ඉන්නවා” මැරිනෝස් stuff.co.nz වෙත පැවසීය. 

“නිසැකවම ඒ තරගාවලිය අපේ ලොකුම බලාපොරොත්තුව. ඒත් අපේ ප්‍රධානම ගැටලුව ඉදිරියේ දී ඇති විය හැකි සීමාවන් පිළිබඳව නිශ්චිත අදහසක් ගන්න නොහැකි වීම.” 

“නමුත් මේ වසරේ දී අපට හැකි ඕනෑම තත්ත්වයක් යටතේ Rugby Championship තරගාවලිය පැවැත්වීමට කණ්ඩායමක් වශයෙන් අපි ඉතා ධනාත්මකව ඉන්නවා. එහි දී අපට සියලු කණ්ඩායම් ඇතුළත් කර තරගාවලිය සාර්ථකව පවත්වන්න පුළුවන් වේවි කියලා අපි බලාපොරොත්තු වෙනවා.” 

“මේ තියන තත්ත්වය එක්ක අපි ඔක්තෝබර් මාසයේ අග භාගයේ ඉඳන් නොවැම්බර් දක්වා හෝ බොහෝ විට දෙසැම්බර් මුල කාලය බලමින් ඉන්නවා.”

නිරෝධායන අවශ්‍යතා සපුරාලීමෙන් පසු කණ්ඩායම් සියල්ල එක් රටක සිටිමින් ජෛව ආරක්ෂක තත්ත්ව යටතේ තරගාවලිය පැවැත්වීමට හැකි බව මැරිනෝස් විශ්වාසය පලකර තිබේ. නමුත් මෙතෙක් ඒ පිළිබඳව නිල සාකච්ඡාවක් සිදුකර නොමැති බව ද ඔහු කියා සිටියේය.  

මැරිනෝස් කියා සිටියේ ඕස්ට්‍රේලියා –  නවසීලන්ත කණ්ඩායම් පමණක් සහභාගී වන සුපර් රග්බි තරගාවලියක් පැවැත්වීමට  නවසීලන්ත හා ඕස්ට්‍රේලියා නිලධාරීන් යෝජනා කළද ලබන වසරේ සුපුරුදු සුපර් රග්බි තරගාවලිය පැවැත්වීමට SANZAAR සම්මේලනය සැලසුම් කරමින් සිටින බවයි.

“2020 තරගාවලිය පැවැත්වීම තරමක් අසීරු වුනා. ඒත් තරගාවලිය පැවැත්වීමට ගත් උත්සාහය අපි අගය කරනවා. ඒ වගේම අපි එම තත්ත්වයන් එක්ක කාර්යබහුල වෙලා තියනවා.”

සුපර් රග්බි තරගාවලිය සංශෝධනය කිරීමට පවතින සූදානම පිළිබඳව ක්‍රීඩකයන් කීපදෙනෙකු ද තම අදහස් දක්වා තිබුණි.

පසුගිය දා බ්ලූස් කණ්ඩායමේ පුහුණු සැසියක් අතරතුර දී මාධ්‍ය අමතමින් එම කණ්ඩායමේ Hooker ක්‍රීඩක පාර්සන්ස් පවසා සිටියේ මෙම යෝජනා තරගාවලිය සඳහා නව උද්යෝගයක් ඇති කළ හැකි දෙයක් බවයි.

“මම හිතන්නේ එය සිත්ගන්නාසුළු තරගාවලියක් වේවි” පාර්සන්ස් මාධ්‍යයට පැවසීය.

“පසුගිය කාලයේ තිබ්බ වයිරසයෙන් පස්සේ අපිට ක්‍රීඩා කරන්න අවස්ථාවක් ආවා. එය තරගාවලියට නැවුම් ආරම්භයක් ලබා දුන්නා. සංශෝධනය  මොන වගේ වුවත් එය සුපර් රග්බි තරගාවලිය සිත් ඇදගන්නා සුළු තරගාවලියක් බවට පත් කරාවි.”  

“නව ආරම්භයක්, නැවුම් ආරම්භයක් ක්‍රීඩකයන්ට ගෙන එන්න මේක හොඳ අවස්ථාවක්. නවසීලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර වගේම සහ සමහර පැසිෆික් කණ්ඩායම් අතරත් එදිරිවාදිකම් තියනවා.”  

ආසියානු රග්බි පිටියේ ඉදිරිය වෙනස් වන ලකුණු

කෙසේ වෙතත් දකුණු අප්‍රිකාව සහ ආජන්ටිනාව අහිමි වීම තරගාවලියට අසීරු වනු ඇතැයි පාර්සන්ස් පැවසීය.

“අපි දකුණු අප්‍රිකානු කණ්ඩායම් එක්ක ක්‍රීඩා කලේ ගොඩක් ආසාවෙන්.”  

“ඔවුන්ගේ ක්‍රීඩාව වෙනස් ශෛලියක්. අපි ඒ තරගවලට ගොඩක් ලෑස්ති වෙනවා. ඒක අමුතුම අත්දැකීමක්.” 

බ්ලූස් කණ්ඩායමේ ඉදිරිපෙළ පුහුණුකරු ටොම් කොවෙන්ට්‍රි පාර්සන්ස් හා එකඟ විය. සුපර් රග්බි තරගාවලිය ඉදිරියට යන විට එහි ගමන් මඟ වෙනස් වීම සාමාන්‍ය යැයි ඔහු පවසා සිටියේය.

“ක්‍රීඩාව නැවත හැඩගස්වා ගැනීමට අපට අවස්ථාවක් තියනවා” කොවෙන්ට්‍රි පැවසීය.

“අපට තරගය නැවත සකස් කරන්න පුළුවන් අභියෝගාත්මක වෙන්න. එයට දකුණු අප්‍රිකාව සම්බන්ධ වුවත් නැතත් ඒක ගැටලුවක් නෙමෙයි.” 

“නමුත් පාර්සන්ස් පැවසූ පරිදි අපගේ සමීප අසල්වැසි කණ්ඩායම වන ඕස්ට්‍රේලියාව සමඟ රැඳී සිටීම වැදගත් කියලා මම හිතනවා.” 

RugbyPass.com, Stuff.co.nz හා mediaworks වෙබ් අඩවි ඇසුරිනි  

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<