ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම ජාත්‍යන්තර තරගාවලියකට

121

ශ්‍රී ලංකා ජාතික රග්බි කණ්ඩායම මෙම වසරේ අප්‍රෙල් සහ මැයි මාස වල දී සිව් කොන් රග්බි තරගාවලියකට සහභාගී වීමට සූදානමින් සිටිනවා.

ඉන්දියාව, කසකස්තානය, කටාර් සහ ශ්‍රී ලංකාව සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිත මෙම තරගාවලිය එළඹෙන අප්‍රේල් 30 වැනි දා කොළඹ තුරඟ තරග පිටියේ දී ආරම්භ වීමට නියමිතයි.

කටාර් දේශය මෙම තරගාවලිය සඳහා සිය සහභාගීත්වය පළමුව තහවුරු කළ අතර, ආසියානු රග්බි සම්මේලනයේ සහය ද ඇතිව ශ්‍රී ලංකා රග්බි විසින් තරගාවලියට ඉන්දියාවේ සහ කසකස්තානයේ සහභාගීත්වය ද තහවුරු කර ගැනීමට සමත් වී තිබෙනවා.

මේ අනුව 30 වැනි දා කසකස්තානය සහ කටාර් දේශයත්, ඉන්දියාව සහ සත්කාරක ශ්‍රී ලංකාවත් තරග වැදීමට නියමිත අතර, එම තරග ජයග්‍රහණය කරනා කණ්ඩායම් එළඹෙන මැයි මස 04 වැනි දා එකිනෙකා මුණ ගැසීමට නියමිතයි.

එමෙන්ම මුල් තරග ද්විත්වය පරාජය වන කණ්ඩායම් ද එදින ම තරග වදිනු ඇති. තරගාවලියේ තරග සියල්ල තුරඟ තරග පිටියේ දී පැවැත්වීමට නියමිත අතර, තරගාවලියේ ශූරතාව දිනා ගන්නා කණ්ඩායමට 2025 Asia Top 4 තරග සඳහා සහභාගී වීමේ අවස්ථාව හිමි වන බව ආසියානු රග්බි සම්මේලනය විසින් නිවේදනය කර තිබෙනවා.

එමෙන්ම තරගාවලියේ අවසන් ස්ථානය හිමි කර ගන්නා කණ්ඩායම ආසියානු රග්බි පළමු කොටස දක්වා පහතට ඇද වටෙනු ඇති බවයි ඔවුන් තහවුරු කරන්නේ.

තරගාවලිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න <<