තෙවැනි වරටත් ශූරතාවයක පහස පතන කොදෙව්වෝ

විස්සයි විස්ස ලෝක කුසලානය 2021

2039
Sky Sports

හත්වැනි විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය ඇරඹීමට ඇත්තේ තවත් ස්වල්ප කාලයක්. ඊට සහභාගී වන කණ්ඩායම් අතරින් ගියවර ශූරයින් ලෙස මෙවර තරගාවලියට පිවිසෙන ප්‍රබල කොදෙව්වන්ට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක්.

මේ දක්වා පවත්වා ඇති විස්සයි විස්ස ලෝක කුසලාන 6න් 2කටම උරුමකම් කීමට කොදෙව්වන් සමත් වී ඇත්තේ විස්සයි විස්ස ලෝක කුසලාන ඉතිහාසයේ එක් වරකට වඩා ශූරතාවයන්ට හිමිකම් කී එකම කණ්ඩායම බවට පත්වෙමින්.

මෙවර බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ නායකත්වය හිමිව තිබෙන්නේ Kieron Pollardටයි.

Times of India

සුපුරුදු පරිදි ප්‍රහාරාත්මක පිතිකරුවන් රැසකින් ම සමන්විත වන කොදෙව් සංයුතියේ ප්‍රධාන අවිය බවට පත්වන්නේ ආක්‍රමණශීලී  පිතිකරණයයි.

මෙහි දී ඔවුන් Group 1 ඔස්සේ තරග වැදීමට නියමිතව ඇති අතර එම කාණ්ඩයට අයත් අනෙකුත් කණ්ඩායම් වන්නේ එංගලන්තය, ඕස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව හා සුදුසුකම් ලැබීමේ වට දෙකෙන් තේරීපත්වන කණ්ඩායම් දෙකකි.

කොදෙව් පිතිකරණ බලඇණියේ ආරම්භක පිතිකරුවන් වන්නේ Evin Lewis හා Lendle Simmons දෙදෙනායි.

මේ අතරින් අත්දැකීම් බහුල Simmons මෙවර සහභාගී වන්නේ තම 5 වැනි විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියටයි. මෙම පිතිකරණ ලැයිස්තුවේ ප්‍රවේගකාරී පිතිකරුවෙකු ලෙස හැඳින්විය නොහැකි එකම පිතිකරුවා වන ඔහුගේ කාර්‍යභාරය වන්නේ කණ්ඩායමේ නැංගුරම බවට පත්වීමයි.

කොදෙව් පිතිකරණ අංශයේ මෑතකාලීන දක්ෂතා අතින් ඉදිරියෙන් ම සිටින පිතිකරුවා ලෙස හැඳින්විය හැකි Evin Lewis අනෙක් අන්තයෙන් පිතිකරණයෙන් යෙදෙනු ඇත. වත්මන් ICC T20I පිතිකරණ ශ්‍රේණිගත කිරීම්හි ඉහළින්ම සිටින කොදෙව් පිතිකරුවා ද වන්නේ ඔහු ය. ඒ එම ලැයිස්තුවේ 9 වැනි ස්ථානයේ පසුවෙමින්.

අංක 3 ස්ථානය හිමිව තිබෙන්නේ එදාමෙදාතුර බිහි වූ සුපිරිතම විස්සයි විස්ස පුරාවෘත්තයක් වන Chris Gayleටයි. මේ වන විට 42 වැනි වියේ පසුවන Gayle මේ දක්වා පැවති සියලුම විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිවලට ක්‍රීඩා කළ ක්‍රීඩකයන් අතලොස්සෙන් ද එක් අයෙකි.

පන්දු යවන්නන්ගේ විශාලතම භීතිකාවක් ලෙස හැඳින්විය හැකි ආක්‍රමණශීලී පිතිකරුවෙකු වන Gayle මෙවර තරගාවලියට සහභාගී වන අත්දැකීම් බහුලතම ක්‍රීඩකයා ද වේ.

cricketaddictor

අංක 4 හා 5 ස්ථාන දෙක හිමිව ඇත්තේ Shimron Hetmyer හා Nichols Pooran දෙදෙනාටයි. පිළිවෙළින් 25 හා 26 හැවිරිදි වයස්වල තවමත් පසු වන ඔවුන් දෙදෙනා කොදෙව්වන්ගේ විශාලතම අනාගත ආයෝජනයන් දෙකකි. මේ අතරින් Pooran කණ්ඩායමේ කඩුලු රැකීමේ වගකීම ද දරනු ලබයි.

ඉන්පසුව Kieron Pollard අංක 6 ස්ථානයේ ක්‍රීඩා කරන්නේ නායකත්වයේ වගකීම ද තම කර මතට පටවා ගනිමිනි. තම හය වන විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට සහභාගී වන Pollard ඕනෑම මොහොතක තරගයක් කණපිට හැරවිය හැකි පිතිකරුවෙකු ලෙස නම් දරා ඇත. ඊට අමතරව ඔහු මෙම සංයුතියේ 6 වැනි පන්දු යවන්නා ද වේ.

වත්මන් විස්සයි විස්ස පිටියේ සිටින අතිශයින් ප්‍රහාරාත්මක පිතිකරුවෙකු ලෙස නම් දරා සිටින Andre Russellට අංක 7 ස්ථානය හිමිව ඇත. දකුණත් වේගපන්දුවෙන් ද ඔහු කණ්ඩායමට ශක්තියක් වන්නේ කණ්ඩායමේ සමබරතාවය රකිනා ප්‍රධාන තුන් ඉරියව් ක්‍රීඩකයා බවට පත්වෙමින්.

Russell සමඟ අගපෙළට ශක්තියක් වීම සඳහා Fabian Allen මෙම පිතිකරණ ලැයිස්තුවේ අංක 8 ස්ථානයේ ක්‍රීඩා කරන්නේ දඟ පන්දු යැවීම මූලික කර ගත් තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වශයෙනි.

espncricinfo

කණ්ඩායමේ සිටින තවත් තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන Dwayne Bravo ද මෙම සංයුතියේ සිටින ප්‍රබලතම තුරුම්පුවකි. වේගපන්දුව මූලික කර ගත් ඔහු පිත්තෙන් ද අවශ්‍ය විටක දී තම දායකත්වය ලබාදීම කොදෙව්වන්ට අමතර ශක්තියකි. වර්තමානයේ සිටින අත්දැකීම් බහුලතම ක්‍රීඩකයෙකු වන Bravo මේ දක්වා පැවැත්වූ සියලුම විස්සයි විස්ස ලෝක කුසලානවලට ක්‍රීඩා කළ ක්‍රීඩකයන් අතලොස්සෙන් ද එක් අයෙකි.

කොදෙව් සංයුතියේ ඉතිරි ස්ථාන දෙකෙන් එකක බොහෝ දුරට තවත් දඟපන්දු යවන්නෙකු ක්‍රීඩා කිරීමට අවකාශ ඇත්තේ දඟ පන්දුවට හිතකර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තණතිලිවල වාසිය ලබා ගැනීම සඳහා යි. ඒ අනුව වමත් orthodox පන්දු යවන්නෙකු වන Allenගේ සහයක දඟපන්දු යවන්නා වශයෙන් දකුණත් පා දඟ පන්දු යවන ක්‍රීඩක Hayden Walsh Jr. ක්‍රීඩා කරවීමට බොහෝ දුරට ඉඩ ඇත.

cricxtasy

කොදෙව් වේගපන්දු බලඇණිය සමන්විත වන්නේ Ravi Rampaul, Obed McCoy හා Oshane Thomas තිදෙනාගෙනි.  කෙසේ වෙතත් මොවුන් තිදෙනා අතරින් උපරිම වශයෙන් එක් අයෙකු හෝ දෙදෙනෙකු පමණක් (දෙදෙනෙකු නම් Walsh වෙනුවට) අවසන් 11 දෙනාගේ සංයුතියට ක්‍රීඩා කරනු ඇත. ඒ Dwayne Bravo හා Andre Russell දෙදෙනා දැනටමත් වේගපන්දු යවන්නන් වශයෙන් කණ්ඩායමේ නිත්‍ය ස්ථාන දිනා සිටින බැවිනි.

මේ අතරින් අනපේක්ෂිතම තේරීමක් බවට පත්වූයේ වසර 6කට පසුව Ravi Rampaulව නැවතත් ජාත්‍යන්තර පිටියට කැඳවීමයි. විස්සයි විස්ස ලෝක කුසලාන කිහිපයකම අත්දැකීම් ඇති ඔහු දකුණත් වේගපන්දු යවන්නෙකි. අනෙක් වේගපන්දු යවන්නන් දෙදෙනා වන McCoy හා Thomas පිළිවෙළින් වමත් හා දකුණත් පන්දු යවන්නන් ය.

15 දෙනෙකුගෙන් සමන්විත මෙම සංචිතයේ සිටින අනෙක් ක්‍රීඩකයන් දෙදෙනා වන්නේ ප්‍රවේගකාරී ආරම්භක පිතිකරුවෙකු වන Andre Fletcher හා පිතිකරණය මූලික කර ගත් දඟපන්දු යවන්නෙකු වන Roston Chase ය.

ඊට අමතරව සිටින අතිරේක ක්‍රීඩකයන් වන්නේ Darren Bravo, Sheldon Cottrell, Jason Holder හා Akeal Hosein සිව් දෙනායි.

මෙම සංචිතයේ තිබෙන සුවිශේෂීත්වය වන්නේ අනෙක් කණ්ඩායම්වලට සාපේක්ෂව තුන් ඉරියව් ක්‍රීඩකයන් රැසක්ම සමඟින් ඔවුන් ක්‍රීඩා කිරීමයි. නවක හා අත්දැකීම් බහුල ක්‍රීඩකයන්ගෙන් සමන්විත, ආක්‍රමණශීලී පිතිකරණය ප්‍රබලතම තුරුම්පුව බවට පත්කරගත් මෙම බටහිර ඉන්දීය කොදෙව් සංචිතය මෙවර තරගාවලියේ ප්‍රබලතම ක්‍රීඩක සමූහයක් ලෙස නිසැකවම හැඳින්විය හැක.

බටහිර ඉන්දීය කොදෙව් සංචිතය: Kieron Pollard (c), Nicholas Pooran, Fabian Allen, Dwayne Bravo, Roston Chase, Andre Fletcher, Chris Gayle, Shimron Hetmyer, Evin Lewis, Obed McCoy, Lendl Simmons, Ravi Rampaul, Andre Russell, Oshane Thomas, Hayden Walsh Jr.

අතිරේක ක්‍රීඩකයන්: Darren Bravo, Sheldon Cottrell, Jason Holder, Akeal Hosein

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<