“මට ඕනේ අපේ අගමැතිතුමා වගේ වෙන්න” – බාබර් අසාම්

101

1992 වසරේ දී පාකිස්තානය ලෝක කුසලානය දක්වා රැගෙන ගිය ඉම්රාන් ඛාන්ගේ නායකත්ව ගුණාංගයන් අනුගමනය කිරීමට තමාට අවශ්‍ය බව පාකිස්තානු ක්‍රිකට් කණ්ඩායමේ නව එක්දින සහ විස්සයි විස්ස නායක බාබර් අසාම් පවසා සිටියි.

මුම්බායි ඉන්ඩියන්ස් බලකොටුව කොරෝනා තුරන් කිරීමේ සටනට

2019 අග භාගයේ දී ඔහුට පාකිස්තානු විස්සයි විස්ස කණ්ඩායමේ නායකත්වය හිමි වූ අතර පසුව එක්දින කණ්ඩායමේ නායකත්වය ද ඔහු වෙත ලබා දීමට පාකිස්තානු ක්‍රිකට් බලධාරීන් තීරණය කළේය. ඔහු සිය අනාගත අරමුණු ඉලක්ක කරගෙන යම් සැලසුමකට අනුව වැඩ කටයුතු සිදු කරන බවක් පෙනෙන්නට තිබෙන අතර ඔහු පාකිස්තානු කණ්ඩායම ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට රැගෙන එම වෙනුවෙන් සිය උපරිම දායකත්වය දක්වන බව ද ජාත්‍යන්තර මාධ්‍ය හමුවේ පවසා තිබේ. 

“මම පාකිස්තානයේ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම වගේම විස්සයි විස්ස කණ්ඩායමෙත් නායකත්වය දරලා තියෙනවා. ජාත්‍යන්තර ක්‍රිකට්වලට තියෙන තරග රටා තුනේ ශ්‍රේණිගත කිරීම් අරගෙන බැලුවහම ඒ ගැන සෑහීමකට පත් වෙන්න කොහෙත්ම බැහැ. මට ඕන අපේ කණ්ඩායම මේ ශ්‍රේණිගත කිරීම්වල මුල් ස්ථාන තුනට රැගෙන එන්න. මාව විශ්වාස කරලා තමයි පකිස්තානු ක්‍රිකට් ආයතනය මට මේ වගකීම ලබා දුන්නේ” යැයි අසාම් එහි දී පවසා ඇත.

1992 වසරේ දී ICC ලෝක කුසලාන ක්‍රිකට් ශූරතාවය පාකිස්තානයට දිනා දීම සඳහා එම කණ්ඩායම මෙහෙයවනු ලැබුවේ වර්තමානයේ පාකිස්තානයේ අගමැති ධූරය හොබවන ඉම්රාන් ඛාන් විසිනි. එම නායකත්වය ගැන අසාම් පැවසුවේ මෙවැන්නක්,

“අපේ රටට ලොකු ගෞරවයක් ලැබුණ අවස්ථාවක් තමයි 1992 ලෝක කුසලානය ජය ගැනීමට පුළුවන් වුනු එක. ඒ ලෝක ශුරතාවය දක්වා අපේ පාකිස්තාන කණ්ඩායම රැගෙන යන්න අවශ්‍ය නායකත්වය දුන්නේ ඉම්රාන් ඛාන්. මමත් කැමතියි ඔහු ගිය අඩි පාරේ යන්න. ඔහු ගොඩක් සන්සුන් නායකයෙක්. නායකත්වය දරන කොට ඔබට සිසිල් මනසක් තියෙන්න ඕන. එහෙම නැති වුනොත් ලොකු ගැටලු ඇති වෙනවා. සන්සුන් මනසක් තුල ඉන්න කොට අපේ ප්‍රතිවාදින්ව මෙල්ල කරන්න පුළුවන් ආකාරය ගැන හොඳ සැලසුම් එනවා.” 

ගුවන් ගමන්වලට අවසර ලැබුනොත් ඉන්දියාව ශ්‍රී ලංකාවට

“ඔබේ මනස හොඳින් පාලනය කරගන්න ඕන. ඔබ තුළ කෝපයක් ඇති විය හැකි නමුත් ඒ අවස්ථාවේ දී වුනත් තමන් විසින් තමන්වම පාලනය කර ගන්න ඕනේ. මම මේකේ ඉගෙන ගත්තේ 19න් පහළ ක්‍රිකට් ක්‍රීඩාවේ දීයි. පිටිය ඇතුලෙදි ආක්‍රමණශීලී බව අඩු කරලා ක්‍රීඩකයන්ට විශ්වාසය ලබා දෙන්න ඕන. ඔබ ඔබේ ක්‍රීඩකයින්ට 110%ක් සවියක් වුනොත් ඔවුන් එය හොඳින් කරනවා. මට අභියෝගයට අභියෝගයක් වෙන නායකයෙක් වෙන්න ඕන. මට ඉම්රාන් ඛාන්ගේ නායකත්ව විලාසිතාව අනුගමනය කිරීමට අවශ්‍යයි.” 

වයස අවුරුදු 25ක් වන අසාම් මේ වන විට ලෝක විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම් හි අංක එකේ පිතිකරු බවට පත්ව සිටින අතර එක්දින සහ ටෙස්ට් අංශයන් හි පිතිකරුවන් ශ්‍රේණිගත කිරීමේ දී පිළිවෙළින් 3 වැනි සහ 5 වැනි ස්ථාන දිනා ගැනීමට සමත්ව සිටියි.

“මම අභියෝගවල රසිකයෙක්. නායකත්වය සහ පිතිකරණය කියන්නේ ටිකක් වෙනස් ජාති දෙකක්. ඔබ පන්දුවට පහර දෙන විට ඔබ අවධානය යොමු කරන්න ඕනේ පිතිකරණය කෙරෙහි මිස නායකත්වය ගැන නෙමෙයි. ඔබ පිතිකරණය අවසන් කළ විට පමණක් කණ්ඩායම් ක්‍රියාකාරිත්වය ගැන සිතන්න. දිගටම දක්ෂතා අතර ඉඳලා මගේ කණ්ඩායමට ලබා දෙන්න පුළුවන් උපරිම දේ ලබා දෙන්න මම ඇප කැප වෙලා මහන්සි වෙනවා.”

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<