IPL ලංකාවේ පවත්වන්න හේඩ්න්ගෙන් යෝජනාවක්

125

නව කොරෝනා හෙවත් COVID-19 වයිරසය වසංගතයක් ලෙස නම් කිරීමෙන් අනතුරුව ලොව වටා පැවැත්වීමට නියමිතව තිබූ තරගාවලි රැසක් අවලංගු කිරීමට සංවිධායකයන්ට සිදු විය. එලෙස අවලංගු කෙරුණු තරගාවලි අතර ටෝකියෝ ඔලිම්පික් උළෙල ද විය. මෙම වයිරසය ඉන්දියාව තුල පැතිර යාමත් සමඟින් ක්‍රිකට් ලොව ධනවත්ම ලීගය වන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය ද කල් දැමීමට සිදු විය. 

මාර්තු මස 29 වැනිදා ආරම්භ කිරීමට නියමිතව තිබූ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය පළමුවෙන් අප්‍රේල් මස 15 වැනිදා දක්වා කල් දැමීමට තීරණය කර තිබුණි. නමුත් ඉන්දියාව සම්පූර්ණ වසාදැමීමකට යොමුවීමත් සමඟින් එම තරගාවලිය දින නියමයක් නොමැතිව කල් දැමීමට තරගාවලි සංවිධායකයන් තීරණය කළේය. 

>>ගේල් කනගාටුව ප්‍රකාශ කරයි; විනය පරීක්ෂණ නවතී

තරගාවලිය ආරම්භ කිරීම සඳහා ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ජූලි සහ ඔක්තෝබර් කාලය දෙස අවධානය යොමුකර ඇති අතර ඔවුන් ඒ සඳහා නැරඹුම් ප්‍රතිපත්තියක් අනුගමනය කර ඇත.  

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය ශ්‍රී ලංකාවේ පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මීට පෙර යෝජනාවක් ඉදිරිපත් කර තිබූ අතර ඉන්දීය ක්‍රිකට් ආයතනය එම යෝජනාව ප්‍රතික්ෂේප කර තිබුණි. 

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ චෙන්නායි සුපර් කිංග්ස් (CSK) හි සාමාජිකයෙකු වූ ඕස්ට්‍රේලියාවේ හිටපු ආරම්භක පිතිකරු මැතිව් හේඩ්න් මෙවර තරගාවලිය පිළිබඳව සිය මතය ප්‍රකාශ කර තිබේ.

තරගාවලිය සඳහා සහභාගි වන විදේශීය ක්‍රීඩකයින් එම තරගාවලිය සඳහා විශාල ආකර්ෂණයක් ලබා ඇති නමුත් බොහෝ රටවල් වල අගුළු දමා ඇති තත්වයන් හා ගුවන් ගමන් අවලංගු කර ඇති තත්ත්වය තුළ එම ක්‍රීඩකයන්ට තරගාවලිය සඳහා ඉන්දියාව වෙත පියාසර කිරීම දුෂ්කර වනු ඇත.

මෙවැනි විශේෂ අර්බුදකාරී තත්වයක දී විදේශීය ක්‍රීඩකයින් නොමැතිව ඉන්දීය ප්‍රිමියර් ලීග් පැවැත්විය හැකි බව මැතිව් හේඩන් තරයේ කියා සිටියි. විදේශීය ක්‍රීඩකයින් තරගාවලිය වෙත ශක්තිය එකතු කර තරගාවලියට උද්දීපනයක් ඇති කළ හැකි නමුත් සෞඛ්‍ය හා ආරක්ෂාව ප්‍රමුඛ ස්ථානයක් ගන්නා මෙවැනි තත්වයක් තුළ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය විදෙස් ක්‍රීඩකයින් නොමැතිව පැවැත්විය හැකි බව ඔහුගේ මතය වී ඇත. 

>>ප්‍රකාශය බැරෑරුම් වුනත් මං කතා කළේ හදවතින් – ගේල්

“විදේශීය ක්‍රීඩකයන් නොමැතිව ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය පවත්වන්න පුළුවන්. මම හිතන්නේ එය ස්වභාවිකවම සම්මුතියකට ලක්වන තීරණයක් වේවි. විදේශීය ක්‍රීඩකයින් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලි වෙත බොහෝ දේ එකතු කරනවා. ඔවුන් රසිකයන් අතර ප්‍රසිද්ධිය හා උද්දීපනය කිරීමේ මට්ටම ඉහළ නංවනවා.”

“සියලු දෙනා එකට එකතු කරලා ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය පවත්වන්න අමාරුයි. නමුත් මෙවැනි තත්වයන් යටතේ, එය විදේශීය ක්‍රීඩකයින් නොමැතිව පවත්වන්න පුළුවන්. සියලු සෞඛ්‍ය ගැටලු එක්ක සහ විෂබීජහරණය කළ ක්‍රීඩාංගණවල ක්‍රීඩා තරග පවත්වන්න පුළුවන් නම් එය පැවැත්විය යුතුයි” හේඩ්න් IANS වෙත පවසා ඇත. 

මෑතක දී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය 2020 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ සත්කාරකත්වය සැපයීමට ඉදිරිපත් වීම තරමක ඵලදායි බව හේඩ්න් පවසා ඇත. හේඩන් මේ සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් නොදැක්වුවද, ක්‍රීඩාංගණ තුන හතරක් ඇති කොළඹ වැනි නගරයකට ලීගයට සත්කාරකත්වය සැපයිය හැකි යැයි යෝජනා කර ඇත. සියලු පූර්වාරක්ෂාවන් මධ්‍යයේ සෞඛ්‍යයට කිසිදු අවදානමක් නොමැති වටපිටාවක තරගාවලිය පැවැත්වීම තරගාවලිය අවලංගු කිරීමට වඩා උචිත බව ඔහුගේ මතයයි.

ඉන්දීය ප්‍රිමියර් ලීග් සමාරම්භක සංස්කරණ තුනේ දී හේඩන් තරග 32කට ක්‍රීඩා කර ඇති අතර ලකුණු 36.7ක සාමාන්‍යයකින් ලකුණු 1107ක් රැස් කළේය. මෙම වමත් ආරම්භක පිතිකරුවා තරගාවලියේ දී අර්ධ ශතක 8ක් රැස් කළ අතර 2010 වසරේ දී ශූරතාවය දිනා ගත් කණ්ඩායමේ සාමාජිකයෙකු ද විය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<