ක්‍රීඩකයන්ගේ පවුලේ සාමාජිකයන්ටත් තරගාවලියට වරම්

239
Indian players

එංගලන්තය සමඟ පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලිය සඳහා සහභාගි වන ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් තරගාවලියට පෙර සිදු කළ PCR පරීක්ෂණවලින් අනතුරුව කිසිවෙකු ආසාදිතයන් නොවන බව තහවුරු වී ඇත.

ඊයේ (28) සිදු කළ මුල්ම කොරෝනා පරීක්ෂණයෙන් ඔවුන් සියල්ල ආසාදිතයන් නොවන බව තහවුරු වී ඇති අතර තරගාවලියේ පුහුණුවීම් කටයුතු ඇරඹීමට පෙර ඔවුන් තවත් RT-PCR පරීක්ෂාවන් ද්විත්වයකට මුහුණ දීමට නියමිතව ඇත.

එමෙන්ම තරගාවලිය සඳහා සහභාගි වන සමස්ත ඉන්දීය කණ්ඩායම මේ වන විට නිරෝධායන ක්‍රියාවලිය සඳහා යොමුව ඇති අතර ඔවුන් එංගලන්ත කණ්ඩායම සමඟින් Leela Palace hotel හී රැඳී සිටී.

මෙවර තරගාවලියේ නිරෝධායන ක්‍රියාවලිය සහ ජෛව ආරක්ෂිත බුබුල පිළිබඳව PTI පුවත්පත වෙත අදහස් දක්වමින් ඉන්දීය ක්‍රිකට් බලධාරියෙකු ප්‍රකාශ කර සිටියේ මෙම තරගාවලියේ නිරෝධායන ක්‍රියාවලිය නිමා වූ ඉන්දියානු ප්‍රිමියර් ලීග් තරගාවලියේ ක්‍රියාවලියට සමාන බවයි.

“අපි එක් RT-PCR පරීක්ෂණයක් සිදු කළා, ඒ වගේම ක්‍රීඩකයන් පුහුණුවීම් සඳහා නිදහස් කරන්න කලින් අපි තව පරීක්ෂාවන් සිදු කරන්න සූදානම්. මේ මොහොතේ දී ක්‍රීඩකයන්ට ඔවුන්ගේ කාමර තුළට වී කාලය ගත කිරීමට සිදු වෙනවා” යැයි ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියා.

ක්‍රීඩකයන් සිය කාමර තුළ දී නිරෝධායන කාලසීමාව නිමා කරනා තුරු ඔවුන්ට Nick Webb සහ Soham Desaiගේ පූර්ණ අධීක්ෂණය යටතේ ශාරීරික ව්‍යායාම්වල නිරත වීමට ද අවශ්‍ය කටයුතු සූදානම් කර ඇත.

තවත් ක්‍රිකට් පුවත්: 

එමෙන්ම මෙම සංචාරය තුළ දී ඉන්දීය ක්‍රීඩකයන්ගේ පවුලේ සාමාජිකයින් හට තරගාවලිය සඳහා එක් වීමට අවස්ථාව ලබා දීමට ද තීරණය කර ඇති අතර ඉන්දීය උපනායක Ajinkya Rahane, ආරම්භ පිතිකරු Rohit Sharma ඇතුළු ක්‍රීඩකයන් කිහිප දෙනෙකු සිය පවුලේ සාමාජිකයන් සමඟින් කාලය ගත කරන ආකාරය සමාජ මාධ්‍ය වෙත එක් කර තිබුණි.

මෙවර තරගාවලිය සඳහා ක්‍රීඩකයන්ගේ පවුලේ සාමාජිකයන් හට එක්වීමට අවස්ථාව ලබා දීම පිළිබඳව අදහස් දක්වමින් ඉන්දීය ක්‍රිකට් බලධාරියා ප්‍රකාශ කර සිටියේ ක්‍රීඩකයන්ගේ මානසිකත්වය හොඳින් පවත්වා ගැනීමට මෙම තීරණය ගත් බවයි.

“මෙම ක්‍රීඩකයන් සියල්ලම ඉතාමත් අපහසු තරග සංචාරයකින් පසුවයි නැවතත් ඇවිල්ලා තියෙන්නේ. මෙම දැඩි නිරෝධායනය ඉතාමත් දුෂ්කර දෙයක්. එම නිසාවෙන් ඔවුන්ගේ බිරින්දෑවරුන්, දරුවන් ඇතුළු පවුලේ සාමාජිකයන් ඔවුන් සමඟින් සිටිනා විට ඔවුන්ගේ මනස හොඳින් තබා ගැනීමට පහසු වෙයි” යැයි ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියා.

ඉන්දියාව සහ එංගලන්තය අතර ලෝක ටෙස්ට් ශූරතාවය යටතේ පැවැත්වෙන තරග හතරකින් සමන්විත ටෙස්ට් තරගාවලිය පෙබරවාරි මස 05 වැනිදා ආරම්භ වීමට නියමිතව ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<