ගිනිකෙළි වැනි දස්කම් මැද ඉන්දියාවේ දී ශ්‍රී ලංකාවට තවත් පදක්කම් 5ක්!

ඉන්දිය අන්තර් ප්‍රාන්ත මලල ක්‍රීඩා ශූරතාවය - 2021

266

ඉන්දීය අන්තර් ප්‍රාන්ත මලල ක්‍රීඩා ශූරතාවයේ අවසන් දිනය වූ අද (29) දිනයේ දී රිදී පදක්කම් තුනක් සහ ලෝකඩ පදක්කම් දෙකක් දිනා ගනිමින් තරගාවලිය අවසන් කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් වුනා.

දිනයේ වඩාත් අවධානයට ලක්වූ ක්‍රීඩිකාව බවට පත්වෙමින් කාන්තා මීටර් 200 ඉසව්වේ රිදී පදක්කම දිනා ගැනීමට යොවුන් ක්‍රීඩිකා මේධානි ජයමාන්න හට හැකි වූ අතර ඇය එහි දී ඉන්දීය සුපිරි ක්‍රීඩිකා හිමාදාස් අභිබවා යාමට ද සමත් වුනා.

මේධානි එම තරගය තත්පර 24.08ක කාලයකින් දෙවැන්නා ලෙස අවසන් කිරීමට සමත් වූ අතර එහි දී ඇයට මෙවර ලෝක කනිෂ්ඨ මලල ක්‍රීඩා උළෙලේ පරිසාධන මට්ටම වූ තත්පර 24.35ක කඩඉම පසුකරමින් එයට සුදුසුකම් ලබා ගැනීමට හැකි වීම ද විශේෂත්වයක්.

කාන්තා මීටර් 200 ඉසව්වේ රන් පදක්කම තත්පර 21.01ක කාලයකින් අවසන් කළ ඉන්දිය ක්‍රීඩිකා අන්ජලී හට හිමි වූ අතර තත්පර 24.64ක කාලයකින් තරගය අවසන් කළ හර්දිකා දේවි තෙවැනි තැන දිනා ගත්තා. 

දිනයේ වේගවත්ම ඉසව්ව වූ කාන්තා මීටර් 100 සහය දිවීම ඉසව්ව තත්පර 44.55කින් අවසන් කරමින් රිදී පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත් වුනා. මෙම තරගයේ දී ලක්ෂිකා සුගන්ධි, ශෙලින්ඩා ජැන්සන්, මේධානි ජයමාන්න සහ අමාෂා ද සිල්වා ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළා.

ආරම්භයේ සිටම ඉන්දිය ක්‍රීඩිකාවන්ට අභියෝගයක් වෙමින් පෙරමුණේ සිටීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත් වූ නමුත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් අතින් අවසන් යෂ්ටි හුවමාරුවේ දී සිදු වූ අතපසුවීමක් නිසාවෙන් තත්පර 44.15ක කාලයකින් තරගය අවසන් කළ ඉන්දීය කණ්ඩායමට රන් පදක්කම හිමි වුනා.

කෙසේ නමුත් මෙම තරගය අවසන් කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට ගත වූ කාලය 2002 වසරින් පසු ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමක් වාර්තා කළ වේගවත්ම කාලය ලෙස සටහන් වූ අතර එය නිමා වූ දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ රන් පදක්කම හිමිකරගත් කාලයට වඩා වේගවත් කාලයක් වීම ද විශේෂත්වයක්.

ඊයේ දිනයේ රන් පදක්කමක් දිනා ගැනීමෙන් පසු පිටියට පිවිසි කාලිංග කුමාරගේ මීටර් 200 ඉසව්වෙන් ශ්‍රී ලංකාවට රිදී පදක්කමක් දිනා දීමට සමත් වුනේ මීටර් 200 අවසන් තරගය තත්පර 21.13 කාලයකින් තරගය අවසන් කරමින්.

එම ඉසව්වේ රන් පදක්කම තත්පර 21.04ක කාලයකින් තරගය අවසන් කළ පංජාබ් ක්‍රීඩක ලව් ප්‍රීත් සිං හට හිමි වූ අතර ලෝකඩ පදක්කම තත්පර 21.20ක කාලයකින් තරගය අවසන් කළ ඉන්දිය ක්‍රීඩක නිතින් විසින් දිනා ගත්තා.

ඔලිම්පික් පරිසාධන සීමාව ඉක්මවීමේ අරමුණින් පිටියට පිවිසි නිලානි රත්නායක හට සිය සුපුරුදු දස්කම් අතරට පැමිණීමට නොහැකි වූ නමුත් තියුණු සටනකින් පසු තරගය මිනිත්තු 10.12.02ක කාලයකින් අවසන් කරමින් ලෝකඩ පදක්කම දිනා ගැනීමට ඇය සමත් වුනා.

එම ඉසව්වේ රන් සහ රිදී පදක්කම් පිළිවෙළින් ඉන්දිය ක්‍රීඩිකාවන් වන Paerul (මිනිත්තු 10:01.58) සහ Komal (මිනිත්තු 10:12.02) විසින් දිනා ගත්තා.

ශ්‍රී ලාංකීය හෙල්ල විසිකිරීමේ ශූර සුමේධ රත්නායක ද අද දිනයේ දී තරග බිමට පිවිසියත් ඔහුට ද ලෝකඩ පදක්කමකින් සෑහීමකට පත්වීමට සිදු වුනා. සුමේධ එම ඉසව්වේ මීටර් 77.28ක දක්ෂතාවයක් දැක්වුවා.

එම ඉසව්වෙහි මීටර් 77.74ක දක්ෂතාවක් පෙන්නුම් කළ ඉන්දීය ක්‍රීඩක Rohit Yadav විසින් රන් පදක්කමත්, මීටර් 77.31ක දක්ෂතාවයක් දැක්වූ Shivapal Singh විසින් රිදී පදක්කමත් දිනා ගත්තා.

ඒ අනුව දින පහක් පුරාවට පැවති මෙම තරගාවලිය අදින් අවසන් වූ අතර තරගාවලිය පුරාවට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් එක් රන් පදක්කමක් (කාලිංග කුමාරගේ), රිදී පදක්කම් හතරක් (අමාෂා ද සිල්වා, කාලිංග කුමාරගේ, මේධානි ජයමාන්න සහ කාන්තා 100m සහය දිවීම) සහ ලෝකඩ පදක්කම් හතරක් (ලක්ෂිකා සුගන්ධි, නිලානි රත්නායක, නිමාලි ලියනආරච්චි සහ සුමේධ රණසිංහ) දිනා ගෙන තිබුණා.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<