මාධ්‍යවේදියාගේ පැනයට බාබර් අසාම් දුන් අමුතු පිළිතුර

947

ආසියානු කුසලානයේ දෙවැනි තරගය ලෙස පසුගිය දා පැවති ඉන්දීය-පාකිස්තානු තරගයේ දී පිත්තෙන් සහ පන්දුවෙන් හර්දික් පාන්ඩ්යා දැක්වූ දක්ෂතා නිසා ඉන්දියාව කඩුලු 5ක ජයක් ලබා ගැනීමට සමත් වුනා.

තරගයේ වීරයා සම්මානය ද පාන්ඩ්යා හිමි කර ගැනීම විශේෂත්වයක්. ප්‍රවේගකාරී නොවන ආරම්භයකින් පසු පාකිස්තානුවන් මැදපෙළ ප්‍රහාරකයන් පිළිබඳව බලාපොරොත්තු තැබුව ද, හර්දික් විසින් මොහොමඩ් රිස්වාන්, ඉෆ්තිකර් අහමඩ් සහ කුස්දිල් ෂාහ්ගේ කඩුලු බිඳ දැමීමත් සමඟ එම බලාපොරොත්තු බොඳ වී ගියා.

ඩුබායි ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේ සීමාවන් විශාල වීම ප්‍රයෝජනයට ගත් හර්දික් කෙටි පන්දුවලින් සිය කර්තව්‍ය සාර්ථක කර ගත්තේ පාකිස්තානුවන් ලකුණු 147කට සීමා කරමිනි.

ලකුණු ලබා ගැනීම අසීරු තණතීරුවක ලකුණු 148ක ඉලක්කයක් හඹා ගිය ඉන්දියානුවන් හර්දික් සහ ජඩේජා පිටියට පිවිසෙන විට තරමක් පසුගාමී තත්ත්වයක සිටිය ද, හර්දික් සහ ජඩේජා එක්ව ලකුණු පුවරුවට ලකුණු 52ක් එක්කිරීමත් සමඟ නැවත ඉන්දියානුවන් තරගයට පිවිසියා.

ජඩේජා අවසන් පන්දුවාරයේ දැවී ගිය අතර හර්දික් අවසන් පන්දුවාරයේ සිව්වැනි පන්දුවේ දී දර්ශනීය 6 පහරක් සමඟින් ජයග්‍රහණය ඉන්දියාවට හිමිකර දුන්නේ පන්දු 17කින් නොදැවී ලකුණු 33ක් වාර්තා කරමින් වීම විශේෂත්වයක්.

බුවනේශ්වර් කුමාර්ගේ කෙටි පන්දුවකින් නැවත ක්‍රීඩාගාරයට හරවා යැවුණු පාකිස්තාන නායක බාබර් අසාම්ගෙන් තරගයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේ දී හර්දික්ගේ දස්කම් පිළිබඳව මාධ්‍යවේදීන් විමසා සිටියා.

පාකිස්තානු හිටපු සුපිරි ක්‍රීඩකයන් වන වසීම් අක්රම්, වකාර් යුනිස් සහ ෂහීඩ් අෆ්රිඩි මෙන් නොවන අයුරින් එහි දී බාබර් අසාම් ලබා දුන් පිළිතුර කැපී පෙනුණු ප්‍රතිචාරයක් වීම විශේෂත්වයක්.

ඉන්දීය මාධ්‍යවේදී විමල් කුමාර් සහ පාකිස්තාන නායකයා අතර ඇති වුන සංවාදයේ කොටසක් මෙසේයි.

මාධ්‍යවේදියා: “හර්දික් පාන්ඩ්යා වැනි ක්‍රීඩකයෙක්ට ශාරීරිකව හොඳ සුවතාවයකින් පසුවන විට විශාල වෙනසක් සිදු කල හැකියි. ඔබ සිතනවාද ඉන්දියාව ඔහු වැනි ක්‍රීඩකයෙක් කණ්ඩායම තුළ තබාගැනීම ප්‍රයෝජනවත් කියලා?”

බාබර් අසාම්: “ඔහු දක්ෂ පිතිකරුවෙක් වගේම හොඳ පන්දු යවන්නෙක්. ඔහු කැපී පෙනෙන තුන් ඉරියව් ක්‍රීඩකයෙක් වගේම ඔහු තරගය අවසාන කළ ආකාරය ද ප්‍රශංසනීයයි.”

තරගයෙන් අනතුරුව පාන්ඩ්යා පැවසුවේ සිය කණ්ඩායමට වැදගත් වූයේ ජයග්‍රහණය බවත් එය ලබා ගැනීමට හැකි වීම සතුටක් බවත්ය.

අපි කණ්ඩායමක් විදිහට අභියෝගයට ලක් වුනා. ඔහු (ජඩේජා) ක්‍රීඩා කළ ආකාරය ඉතාමත් සිත් ඇදගන්නා සුළුයි,” යනුවෙන් ද පාන්ඩ්යා තවදුරටත් පවසා සිටියා.

ජඩේජා දැවී යාමත් සමඟ අවසන් පන්දුවාරයේ පාන්ඩ්යාගේ මානසිකත්වය පිළිබඳව විමසූ විට ඔහු පැවසුවේ වමත් දඟපන්දු යවන්නෙක් ඉදිරියේ අවසන් පන්දුවාරයට ලකුණු 7ක් ලබා ගැනීම අසීරු නොවන බවයි.

“පන්දු රකින්නන් පහක් නොව දහයක් සිටියත් මට පන්දුව ක්‍රීඩාංගණයෙන් පිටතට යැවීමට හැකියාව තිබුණා. මට පීඩනයක් දැනුණේ නෑ. නමුත් මම බලා සිටියේ පන්දු යවන්නා අතින් අත්වැරදීමක් සිදු වන තුරුයි,” යනුවෙන් ද පාන්ඩ්යා පැවසූවා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<