“ක්‍රීඩකයන් පෙට්‍රල්වලින් දුවන වාහන නෙමෙයි” – Ravi Shastri

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය 2021

220

මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ ඉන්දීය කණ්ඩායමේ අසාර්ථකත්වයට ප්‍රබල සාධකයක් වූයේ ක්‍රීඩකයන්ට විවේකයක් නොලැබීමෙන් ඇති වූ මානසික පීඩනය බව ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු Ravi Shastri පවසා තිබෙනවා.

2021 විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය ආරම්භ වීමට පෙර තරගාවලියේ ප්‍රබලම කණ්ඩායමක් ලෙස ඉන්දියාව බොහෝ දෙනා හඳුන්වා තිබුණා. ලෝක කුසලාන තරගාවලියට පෙර ඉන්දීය කණ්ඩායම ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී සහභාගී වූ අතර එය ඉන්දීය කණ්ඩායමට ප්‍රබල වාසියක් වනු ඇතැයි බොහෝ දෙනා පවසා තිබුණා.

කෙසේ වෙතත් ඉන්දීය කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියේ මුල් තරග දෙක තුළ දී දරුණු පරාජයකට ලක්වුනා. සෙසු තරග පහසුවෙන් ජයග්‍රහණය කිරීමට ඉන්දීය කණ්ඩායම සමත් වුවත් ඔවුන්ට අවසන් පූර්ව වටය නියෝජනය කිරීමේ හැකියාවක් ලැබුණේ නැහැ.

ඉන්දීය කණ්ඩායම ලෝක කුසලාන තරගාවලිය තුළ අසාර්ථක වීම පසුගිය දින කිහිපය තුළ දැඩි කතාබහට ලක්ව තිබුණා. එවන් පසුබිමක් තුළ වත්මන් ඉන්දීය පුහුණුකරු වන Ravi Shastri තම කණ්ඩායමේ මෙම පරාජයට හේතුව ජෛව ආරක්ෂිත වටපිටාවන් තුළ දීර්ඝ කාලයක් කටයුතු කිරීමෙන් ඇති වන මානසික පීඩනය බව පවසා තිබෙනවා.

මේ පිළිබඳව අදහස් දක්වමින් Ravi Shastri පවසා සිටියේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සහ ක්‍රිකට් ආයතන ක්‍රීඩකයන්ගේ මානසිකත්වය පිළිබඳව සොයා නොබලන්නේ නම් ක්‍රිකට් ක්‍රීඩකයන් ඉදිරි කාලයේ දී ජාත්‍යන්තර තරගවලින් ඉවත්වීමේ හැකියාවක් පවතින බවයි.

එහි දී ක්‍රීඩකයන්ගේ ශාරීරික සහ මානසික බිඳ වැටීම් පිළිබඳව ද Shastri අදහස් දැක්වූ අතර ඉන්දීය කණ්ඩායම පසුගිය මාස 6ක කාලය තුළ දැඩි තරගකාරී තරගාවලි කිහිපයකට සහභාගී වී සිටි බවත්, ජෛව ආරක්ෂිත වටපිටාවන් තුළ දීර්ඝ කාලයක් කටයුතු කිරීම ක්‍රීඩකයන්ගේ මානසිකත්වයට සෘජුව බලපෑම් එල්ල කරන බවත් ඔහු පවසා සිටියා.

“මම නිදහසට කරුණු කියනවා නෙමෙයි. ඒත් අපි පසුගිය මාස 6ක කාලය ජෛව ආරක්ෂිත වටපිටාවන් තුළ ජීවත් වුනේ. ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සහ ලෝක කුසලාන තරගාවලිය අතර යම් විවේකයක් තිබ්බා නම් හොඳයි කියලා මට තේරුණා. අපි හැමෝම මිනිස්සු. මේ ක්‍රීඩකයන් පෙට්‍රල් වලින් දුවන වාහන නෙමෙයි”, ඉන්දීය කණ්ඩායම සහභාගී වූ අවසන් තරගය වූ නැමීබියාව සමඟින් පැවති තරගය අවසන් වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් Ravi Shastri පවසා සිටියා.

“මම මානසිකව ගොඩක් පීඩනයකින් ඉන්නේ. මගේ වයසත් එක්ක ඒක සාමාන්‍ය දෙයක්. ඒත් මේ ක්‍රීඩකයන්ට ඒක අමාරු දෙයක්. ඔවුන්ට විවේකයක් ඕනේ”, තවදුරටත් අදහස් දක්වමින් ඔහු පවසා සිටියා.

වත්මන් ඉන්දීය කණ්ඩායම ප්‍රබල කණ්ඩායමක් බව පැවසූ Shastri ක්‍රීඩකයන්ගේ මානසිකත්වය පිළිබඳව ක්‍රිකට් ආයතනය අවධානය යොමු නොකිරීම පසුගිය සති කිහිපය තුළ ඔවුන් අත්විඳි පරාජයන්ට හේතුව බවත් පවසා සිටියා.

“ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සහ සියලුම ක්‍රිකට් ආයතන ක්‍රීඩකයන්ගේ මානසිකත්වය හදන්නේ සහ පාලනය කරන්නේ කොහොමද කියන එක හොයා බලන්න ඕනේ. මොකද ටික කාලයක් යද්දී කණ්ඩායම් දිගටම ජෛව ආරක්ෂිත වටපිටාවන් තුළ කටයුතු කරනවා නම් ක්‍රීඩකයන් තරගාවලි වලින් ඉවත්වේවි. අපිට කණ්ඩායම වෙනස් කරන්න පුළුවන්. නවකයන් යොදාගෙන තරගාවලිය ක්‍රීඩා කරන්න පුළුවන්. අවසානයේ දී ඔවුන් ක්‍රීඩා කරන්නේ ඉන්දියාව වෙනුවෙන්. මිනිස්සුන්ට මතක තියෙන්නේ එහෙම. මම ඔබට එක දෙයක් කියන්නම්, මේ ඉන්දීය කණ්ඩායම ජයග්‍රාහී කණ්ඩායමක්.”

ලෝක කුසලාන තරගාවලියෙන් අනතුරුව පුහුණුකාරීත්වයෙන් සමුගැනීමට සූදානම්ව සිටින Ravi Shastri පවසා සිටියේ තම කණ්ඩායම උපරිමයෙන් ක්‍රීඩා කළ ද වැදගත්ම සාධකය වන මානසික සමබරතාවය නොමැතිව ක්‍රීඩා කිරීමට සිදු වූ බවයි.

“විශාල සහ වැදගත් තරගවල දී අපිට පීඩනය එල්ල වෙද්දී ඒක ප්‍රතිවාදී කණ්ඩායමට එල්ල කරන්න සමත් වුනේ නැහැ. ඒක නිදහසට කරුණක් නෙමෙයි. අපි පරාජය භාරගන්නවා. මොකද අපි පරාජයට බය කණ්ඩායමක් නෙමෙයි. ජයග්‍රහණය කරන්න උත්සාහ කරද්දී පරාජයට පත්වෙන්න වෙනවා. ඒත් අපි ප්‍රධාන සාධකයක් නැතිව ක්‍රීඩා කළේ”, Shastri පවසා සිටියා.

ජෛව ආරක්ෂිත වටපිටාවන් තුළ කටයුතු කිරීම පිළිබඳව ඉන්දීය නායක Virat Kohli ද පසුගිය දා අදහස් දක්වා සිටියා. එහි දී ඔහු පවසා සිටියේ ක්‍රිකට් ආයතන ලාභ ඉපැයීමට තරගාවලි සංවිධානය කළ ද, එමඟින් ක්‍රීඩකයන්ට සිදුවන බලපෑම පිළිබඳව තැකීමක් නොකරන බවයි.

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම සහභාගී වන මීළඟ තරගාවලිය මෙම මස අවසානයේ දී නවසීලන්තය සමඟින් පැවැත්වීමට නියමිතයි.

Hindustan Times ඇසුරිනි.

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<