ඉන්දු – ශ්‍රී ලංකා ක්‍රිකට් තරගාවලියක තරග කාලසටහන නිකුත් වේ

525

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම හා ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරග තුනකින් හා විස්සයි – විස්ස ක්‍රිකට් තරග පහකින් සමන්විත කාන්තා ක්‍රිකට් තරගාවලියක් සැප්තැම්බර් මස 11 වැනිදා සිට 25 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ දී පැවැත්වේ.

අර්ධ ආබාධිත තරගයේ දී ඉන්දීය ක්‍රීඩකයන්ට තියුණු ජයක්

අර්ධ ආබාධිත තත්ත්වයට පත් ශ්‍රී ලංකා සහ ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයින් අතර පැවති විස්සයි විස්ස ක්‍රිකට් තරගයේ දී ලකුණු 3ක තියුණු ජයක් වාර්තා කිරීමට ඉන්දීය ක්‍රීඩකයෝ සමත් වුනා. මෙම තරගය ඊයේ …

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අවසන් වරට සහභාගී වූයේ මැලේසියාවේ පැවති ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය සඳහා වන අතර එහි දී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම තායිලන්තය, ඉන්දියාව හා පාකිස්තානු කණ්ඩායම් හමුවේ පරාජය වී දිනා ගත්තේ සමස්ත තරගාවලියේ සිව්වැනි ස්ථානයයි. ඊට පෙර පාකිස්තානු කණ්ඩායම සමඟ මෙරට දී පැවති ක්‍රිකට් තරගාවලියේ දී එක්දින ක්‍රිකට් තරගාවලිය තරග 3-0ක් ලෙසත් විස්සයි – විස්ස ක්‍රිකට් තරගාවලිය තරග 2-1ක් ලෙසත් පරාජයට පත්වීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට සිදු විය.

එම පරාජයන් හමුවේ එවකට ශ්‍රී ලංකා කාන්තා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ හේමන්ත දේවප්‍රිය මහතා සිය තනතුරෙන් ඉල්ලා අස්වීමට තීරණය කරන ලදි. පසුව ඉදිරි වසර දෙකක කාලය සඳහා බලපැවැත්වෙන ලෙස ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස හර්ෂ ද සිල්වා මහතා හට එම තනතුර ලබා දී තිබෙන අතර ඒ මහතා යටතේ පුහුණුව ලැබීමෙන් පසුව ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම තරගාවලියක් සඳහා ක්‍රීඩා කරනු ලබන පළමු අවස්ථාව වන්නේ මෙයයි.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු තීන්දු වෙයි

ඉදිරි වසර දෙකක කාලය සඳහා බලපැවැත්වෙන ලෙස ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස හර්ෂ ද සිල්වා මහතා පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (8) තීරණය කර ඇත…

ශ්‍රී ලංකා කාන්ත ක්‍රිකට් කණ්ඩායම හා තරග වැදීම වෙනුවෙන්ම ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායමක් මෙරටට සංචාරය කරනු ලබන පළමු අවස්ථාව මෙයයි.  ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම හා ඉන්දීය කාන්තා කණ්ඩායම අතර අවසන් වරට එක්දින ක්‍රිකට් තරගාවලියක් පවත්වා ඇත්තේ 2015 වර්ෂයේ දී වන අතර එම තරගාවලිය තරග 3-0ක් ලෙස ජය ගැනීමට සත්කාරක ඉන්දීය කණ්ඩායම සමත් විය.

තරගාවලිය සඳහා තරග වදිනු ලබන ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ එක්දින හා විස්සයි – විස්ස සංචිතයන් ඊයේ (24) දිනයේ දී ප්‍රකාශ කළ අතර ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් සංචිතයන් ඉදිරි සති කිහිපය තුල දී ප්‍රකාශයට පත් කරනු ඇත.  

මේ තරගාවලියේ සියලුම තොරතුරු, තරග වාර්තා, ඡායාරූප ඔබ වෙතට ගෙන ඒමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න අප සමඟම.

ඉන්දීය එක්දින ක්‍රිකට් සංචිතය – මිතාලියා රාජ් (නායක), හාර්මන්ප්‍රීට් කවුර්  (උප නායක), ස්ම්රිතී මන්දානා, පුන්මා රවුට්, දීප්ති ශර්මා, දයාලන් හේමලතා, ජෙමීමා රොද්‍රිගස්, වේදා ක්‍රිශ්ණමූර්ති, ටානියා භාතියා (කඩුලු රකින්නිය), එක්ටා බිශ්ට්, පුන්මා යාදෙව්, රාජේෂ්වරී ගයාක්වාද්, ජූලාන් ගෝස්වාමි, මන්ෂි ජෝෂි, ශිඛා පාන්ඩේ.

ඉන්දීය විස්සයි විස්ස ක්‍රිකට් සංචිතය –  හාර්මන්ප්‍රීට් කවුර් (නායක), ස්ම්රිතී මන්දානා (උප නායක), මිතාලියා රාජ්, වේදා ක්‍රිශ්ණමූර්ති,  ජෙමීමා රොද්‍රිගස්, දයාලන් හේමලතා, දීප්ති ශර්මා, අනුජා පාඨලි, ටානියා භාතියා (කඩුලු රකින්නිය), පුන්මා යාදෙව්, එක්ටා බිශ්ට්, රාධා යාදෙව්, අනුරාධතී රෙඩ්ඩි, ශිඛා පාන්ඩේ, මන්ෂි ජෝෂි.

සම්පූර්ණ තරග කාලසටහන

  • සැප්තැම්බර් 11 – පළමු එක්දින ක්‍රිකට් තරගය – ගාලු ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය
  • සැප්තැම්බර් 13 – දෙවන එක්දින ක්‍රිකට් තරගය  – ගාලු ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය
  • සැප්තැම්බර් 16 – තෙවන එක්දින ක්‍රිකට් තරගය  – කටුනායක නිදහස් කලාප පිටියේ දී
  • සැප්තැම්බර් 19 – පළමු විස්සයි – විස්ස ක්‍රිකට් තරගය – කටුනායක නිදහස් කලාප පිටියේ දී
  • සැප්තැම්බර් 21 – දෙවන විස්සයි – විස්ස ක්‍රිකට් තරගය – කොළඹ කොල්ට්ස් පිටියේ දී
  • සැප්තැම්බර් 22 – තෙවන විස්සයි – විස්ස ක්‍රිකට් තරගය – කොළඹ ක්‍රිකට් සමාජ පිටියේ දී
  • සැප්තැම්බර් 24 – සිව්වන විස්සයි – විස්ස ක්‍රිකට් තරගය – කොළඹ ක්‍රිකට් සමාජ පිටියේ දී
  • සැප්තැම්බර් 25 – පස්වන විස්සයි – විස්ස ක්‍රිකට් තරගය – කටුනායක නිදහස් කලාප පිටියේ දී

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<