දඬුවම් පහරේ බලයෙන් රිනවුන් පරදා පොලීසිය ඉදිරියට

804

2018 FA කුසලාන පාපන්දු තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටය යටතේ රිනවුන් ක්‍රීඩා සමාජය සහ පොලිස් ක්‍රීඩා සමාජය අතර අද (18) කොළඹ සුගතදාස පාපන්දු ක්‍රීඩාංගණයේ දී පැවති තරගය නියමිත කාලය අවසානයේ ගෝල 00-00ක් ලෙස සම තත්වයේ පසුවෙමින් නිමා වීමෙන් අනතුරුව දඬුවම් පහර වටයෙන් දඬුවම් පහර 1-3ක් ලෙස තරගයේ ජයග්‍රහණය තහවුරු කර ගත් පොලිස් ක්‍රීඩා සමාජ කණ්ඩායම තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත් විය.

ප්‍රබල සටනකට පසු සෝන්ඩර්ස් අවසන් 4 දෙනා අතරට

2018 FA කුසලාන පාපන්දු තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටය යටතේ බන්ධනාගාර ක්‍රීඩා සමාජය සහ සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජය අතර අද (18) කොළඹ සුගතදාස…

ප්‍රබල රිනවුන් කණ්ඩායමට හොඳ අභියෝගයක් එල්ල කරමින් තරගය ආරම්භයේ දී පොලිස් ක්‍රීඩකයින් ප්‍රතිවාදී අන්තයේ පන්දුව රඳවා ගනිමින් ගෝලයක් රැස්කර ගැනීමට උත්සාහ දැරීය. කෙසේ නමුත් තරගයේ ආරම්භක මිනිත්තු කිහිපය තුළ ගෝලයක් රැස්කර ගැනීමට පැහැදිලි අවස්ථාවක් නිර්මාණය කරගන්නට ඔවුන් සමත් වූයේ නැත. එහි දී රිනවුන් කණ්ඩායමේ පසුපෙළ ක්‍රීඩකයින් පොලිස් ක්‍රීඩකයින් එල්ල කළ පීඩනයට සාර්ථකව මුහුණ දෙමින් ඔවුන්ගේ තර්ජනය මැඩලන්නට සමත් විය.

ඒ අනුව රිනවුන් ක්‍රීඩකයින් තරගය ආරම්භයේ ආරක්ෂාකාරී ක්‍රීඩා විලාශයක් අනුගමනය කරනු ලැබුවත් තරගය ඉදිරියට යද්දී ඔවුන් සිය සුපුරුදු ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශයට අවතීර්ණ වන්නට සමත් විය. කෙසේ නමුත් ඔවුන් ද ගෝලයක් රැස්කර ගැනීමට පැහැදිලි අවස්ථාවක් නිර්මාණය කරගන්නට සමත් වූයේ නැත. ඒ අනුව තරගයේ පළමු අර්ධයේ මැද භාගය දක්වා කාලය තුළ දෙපිලේම ක්‍රීඩකයින් ගෝලයක් රැස්කර ගැනීමට පැහැදිලි අවස්ථාවක් නිර්මාණය කරගන්නට අපොහොසත් වීමත් සමඟ තරගය තරමක් උදාසීන ස්වරූපයක් දිස්විය.

කෙසේ නමුත් පොලිස් ක්‍රීඩා සමාජයට තරගයේ 28 වන මිනිත්තුවේ දී ගෝලයක් රැස්කර ගැනීමට අවස්ථාවක් හිමිවුවත් එහි දී ක්‍රියාත්මක වූ මොහොමඩ් හකීම් එම උත්සාහය ව්‍යර්ථ කර දමන්නට සමත් විය. එහි දී පන්දුව රැගෙන ගෝල රාමුව දෙසට පැමිණි පොලිස් ක්‍රීඩකයෙකු නවතාලීම සඳහා රිනවුන් ගෝල රකින ක්‍රීඩක රෆීක් ඉර්ෂාඩ් ඔහු දෙසට පැමිණි අතර එහි දී එල්ල කළ පහරකින් පන්දුව ගෝල රාමුව ඉවත සිටි පොලිස් ක්‍රීඩක චතුර ගුණරත්න දෙසට යොමු විය. ඒ අනුව ඔහු එහි දී ගෝල රාමුව තුළට එල්ල කළ පහර රැකගන්නට රෆීක් ගෝල රාමුව අසල නොසිටියත් එය සාර්ථකව ගෝල රාමුවෙන් ඉවතට යොමුකරන්නට රිනවුන් ක්‍රීඩක හකීම් සමත් වූයේ පොලිස් ක්‍රීඩා සමාජයේ පැහැදිලි ගෝලයක් වළකාලමිනි.

යුධ හමුදා ප්‍රහාරයෙන් SLTB බලය බිඳ වැටේ

ගෝල 2-0 ක් ලෙස SLTB ක්‍රීඩා සමාජය පරාජය කරමින් Vantage FA Cup පාපන්දු කුසලානයේ වත්මන් ශූරයින් වන යුධ හමුදා ක්‍රීඩා සමාජය 2018 Vantage FA Cup…

අනතුරුව තරගයේ 36 වන මිනිත්තුවේ දී රිනවුන් ක්‍රීඩකයින් දීර්ඝ පන්දුවක් ප්‍රතිවාදී ගෝල රාමු කලාපය තුළට යොමු කළ අතර එහි දී රිනවුන් ක්‍රීඩක මොහොමඩ් අසාත් වේගයෙන් ගෝල රාමුව අසලට දිව එමින් පන්දුවට පහරක් එල්ල කරනු ලැබුවත් එහි දී ඔහු පන්දුවේ වේගය නිසි පරිදි කළමනාකරණය කරගැනීමට අපොහොසත් වීම හේතුවෙන් එය ඉතා දුර්වල පහරක් වූ අතර ඒ අනුව එය පහසුවෙන් රැකගන්නට පොලිස් ක්‍රීඩා සමාජයේ ගෝල රකින ක්‍රීඩක මහේන්ද්‍රන් දිනේෂ් සමත් විය.

පසුව තරගයේ 43 වන මිනිත්තුවේ දී රිනවුන් ක්‍රීඩකයින් පන්දුව හොඳින් හුවමාරු කරමින් ඉදිරියට රැගෙන ගොස් අවසානයේ එය ගෝල රාමු කලාපය ආසන්නයේ දී නිදර්ශන් වෙත බාර කළ අතර ඔහු ගෝල රාමුව තුළට පහරක් එල්ල කරමින් ගෝලයක් රැස්කර ගැනීමට උත්සාහ දැරුවත් ඔහු එහි දී නිසි පරිදි වේගයෙන් එම පහර එල්ල කිරීමට අපොහොසත් වීම නිසා මහේන්ද්‍රන් හට එය පහසුවෙන් රැකගැනීමට හැකි විය.   

පළමු අර්ධය: රිනවුන් ක්‍රීඩා සමාජය 00 – 00 පොලිස් ක්‍රීඩා සමාජය

තරගයේ දෙවන අර්ධයට ද ප්‍රබල ආරම්භයක් ලබා ගැනීමට සමත් වූයේ පොලිස් ක්‍රීඩා සමාජ කණ්ඩායමයි. ඒ අනුව තරගයේ 48 වන මිනිත්තුවේ දී පොලිස් ක්‍රීඩකයෙකු ගෝල රාමු කලාපය පිටත සිට ගෝල රාමුව තුළට වේගවත් පහරක් එල්ල කළ අතර එහි දී ක්‍රියාත්මක වූ රෆීක් ඉතා දක්‍ෂ ලෙස පන්දුව ඉවතට යොමුකරමින් එම පහර වළකා ගන්නට සමත් විය.

දඬුවම් පහර වටයෙන් කොළඹ ක්‍රීඩකයෝ අවසන් පූර්ව වටයට

2018 FA කුසලාන පාපන්දු තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටය යටතේ කොළඹ පාපන්දු සමාජය සහ නිව් යංග්ස් පාපන්දු සමාජය අතර අද (17) කොළඹ සුගතදාස…

අනතුරුව රිනවුන් ක්‍රීඩකයින් ද නැවතත් තරගයට අවතීර්ණ වූ අතර ඒ අනුව තරගයේ 62 වන මිනිත්තුවේ දී ගෝලයක් රැස්කර ගැනීමට අවස්ථාවක් නිර්මාණය කරගන්නට ඔවුන් සමත් විය. එහි දී පන්දුව හොඳින් හුවමාරු කරමින් ඉදිරියට රැගෙන ගිය ඔවුන් අවසානයේ එය ඩිලාන් මධුෂංක වෙත බාර කළ අතර ඔහු පොලිස් කණ්ඩායමේ පසුපෙළ ක්‍රීඩකයින් දෙදෙනෙක් මඟහරිමින් ගෝල රාමුව තුළට පහරක් එල්ල කරනු ලැබුවත් එහි දී පන්දුව ගෝල රාමුවට ඉතා ආසන්නයෙන් ඉවතට ඇදී යාම නිසා ඔවුන්ගෙන් එම අවස්ථාව ගිලිහී ගියේය.

පසුව 63 වන මිනිත්තුවේ දී ද රිනවුන් ක්‍රීඩක ෂමිල් හට ගෝල රාමු කලාපය තුළ දී පන්දුව පිරිනැමුණු නමුත් ඔහුට එය නිසි පරිදි පාලනය කරගැනීමට නොහැකි වීම හේතුවෙන් පන්දුව ලබා ගන්නට එහි දී ඉදිරියට පැමිණි මහේන්ද්‍රන් සමත් විය.  

අනතුරුව දෙවන අර්ධයේ මැද භාගය පමණ වන විට කණ්ඩායම් දෙකම ගෝල රැස්කර ගැනීමට පැහැදිලි අවස්ථාවක් නිර්මාණය කරගන්නට අසමත් වූ අතර ඒ අනුව නැවතත් තරගය ඉතා උදාසීන ස්වභාවයක් ගන්නට විය.

>> තරගයේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න <<

කෙසේ නමුත් තරගයේ 82 වන මිනිත්තුවේ දී රිනවුන් ක්‍රීඩා සමාජයට ගෝල රාමු කලාපය ආසන්නයේ දී නිදහස් පහර අවස්ථාවක් හිමි වූ අතර එහි දී දිලීප් පීරිස් එල්ල කරනු ලැබූ පහර ගෝල රාමුවේ ඉහත දාරයේ වැදී පන්දුව ගෝල රාමුවෙන් ඉවතට යොමු වීම නිසා එම අවස්ථාව ඔවුන්ට ගිලිහී ගියේය.  

තරගයේ 87 වන මිනිත්තුවේ දී රිනවුන් කණ්ඩායමට කෝනර් අවස්ථාවක් හිමි වූ අතර එහි දී යොමුකළ පන්දුවට මොහොමඩ් අසාත් හිසින් වේගවත් පහරක් එල්ල කරමින් ගෝලයක් රැස්කර ගැනීමට උත්සාහ දැරුවත් එහි දී ක්‍රියාත්මක වූ මහේන්ද්‍රන් විශිෂ්ට අන්දමින් පන්දුව රැකගනිමින් එම අවස්ථාව ව්‍යර්ථ කර දමන්නට සමත් විය.

FA කුසලානය සොරා ගන්නට සැරසෙන කණ්ඩායම් 8

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන දැවැන්තම පිළිමළුන් පිටුදැකීමේ පාපන්දු තරගාවලිය වන FA කුසලානයේ අර්ධ අවසන් පූර්ව වටයේ තරග එළඹෙන සති අන්තයේ…

තරගයේ අතිරේක කාලයේ දී රිනවුන් ගෝල රකින ක්‍රීඩක රෆීක් අතින් සිදු වූ පන්දුව ගිලිහීමක් හරහා ගෝලයක් වාර්තා කරගන්නට පොලිස් ක්‍රීඩකයින් සමත් වුවත් එහි දී ඔවුන් අතින් නීතිරීති කඩකිරීමක් සිදු වූ බවට විනිසුරුවරයා සංඥා කිරීම නිසා ඔවුන්ට එම ගෝලය පිරිනැමුණේ නැත.

තරගයේ අතිරේක කාලයේ දී අනෙක් අන්තයේ දී රිනවුන් ක්‍රීඩකයින් ගෝල රාමුව තුළට යොමුකළ පන්දුවක් ලබා ගැනීමට ඉදිරියට පැමිණි මහේන්ද්‍රන් නිසි පරිදි එය කළමනාකරණය කරගැනීමට අපොහොසත් වීම හේතුවෙන් පන්දුව ලබා ගැනීමට රිනවුන් ක්‍රීඩකයෙකු සමත් වූ නමුත් ඔහු එහි දී එල්ල කළ පහර ගෝල රාමුවෙන් ඉවතට ඇදී යාම නිසා ගෝලයක් රැස්කර ගැනීමට ලැබුණු ඉතා පහසු අවස්ථාවක් ඔවුන්ගෙන් ගිලිහී ගියේය.

ඒ අනුව නියමිත කාලය අවසානයේ කණ්ඩායම් දෙකම කිසිදු ගෝලයක් වාර්තා කරගැනීමට අපොහොසත් වීම හේතුවෙන් තරගය ජය-පරාජයෙන් තොරව නිමාවට පත්වූ අතර තරගයේ තීරණය දඬුවම් පහර වටයට යොමු විය.

සම්පූර්ණ කාලය: රිනවුන් ක්‍රීඩා සමාජය 00 – 00 පොලිස් ක්‍රීඩා සමාජය

දඬුවම් පහර වටයේ දී රිනවුන් ක්‍රීඩකයින් ලබාගත් පළමු දඬුවම් පහර අවස්ථා තුනම අසාර්ථක වූ අතර ඒ අනුව ඔවුන් එහි දී සාර්ථක කරගැනීමට සමත් වූයේ සිව්වැනි දඬුවම් පහර අවස්ථාව පමණි.

එහි දී පිළිවෙළින් මොහොමඩ් සජීඩ් සහ දිලීප් පීරිස් ලබා ගත් පළමු දඬුවම් පහර අවස්ථාවන් ද දෙක ඉතා දක්‍ෂ ලෙස නවතාලන්නට මහේන්ද්‍රන් සමත් වූ අතර මොහොමඩ් අසාත් ලබා ගත් තෙවන අවස්ථාවේ දී පන්දුව ගෝල රාමුවේ ඉහත දාරයේ වැදී ඉවතට යොමු විය.

අනෙක් පසින් පොලිස් ක්‍රීඩා සමාජයේ චාමික කුමාර ලබා ගත් දෙවන දඬුවම් පහර අවස්ථාව පමණක් රැකගන්නට ඉර්ෂාඩ් සමත් වූ අතර ඉතිරි අවස්ථාවන් තුනම ඔවුන් විසින් සාර්ථක කරගනු ලැබීය. එම අවස්ථාව ලබා ගනු ලැබුවේ පිළිවෙළින් චතුර ගුණරත්න, නිලන්ත පතිරණ සහ දිනූෂ පෙරේරා විසිනි. ඒ අනුව දඬුවම් පහර වටය දඬුවම් පහර 1-3ක් ලෙස ජයග්‍රහණය කළ පොලිස් ක්‍රීඩා සමාජ කණ්ඩායම තරගාවලියේ අවසන් පූර්ව වටයේ සිය ස්ථානය වෙන්කර ගැනීමට සමත් විය.

දඬුවම් පහර වටය: රිනවුන් ක්‍රීඩා සමාජය 1 – 3 පොලිස් ක්‍රීඩා සමාජය

  • ThePapare.com තරගයේ වීරයා – මහේන්ද්‍රන් දිනේෂ් (පොලිස් ක්‍රීඩා සමාජය)

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<