ප‍්‍රිත්වි, ධවාන් සහ කිෂාන්ගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට පරාජය

ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2021

239
India tour of Sri Lanka 2021 1st ODI

සංචාරක ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන ICC සුපර් ලීගයේ එක්දින තරග තුනකින් සමන්විත ක්‍රිකට් තරගාවලියේ පළමු එක්දින ක්‍රිකට් තරගය අද (18) කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී නිමා වුනා.

මේ තරගයෙන් කඩුලු 7ක ජයක් ලබා ගත් ඉන්දියාව ICC සුපර් ලීග් ප්‍රසාද ලකුණු සටහනට තවත් ලකුණු 10ක් එකතු කරගත්තේ 1-0ක් ලෙස තරගාවලියේ පෙරමුණ ද ලබා ගනිමිනුයි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් භානුක රාජපක්ෂ අද තරගයේ දී ජාත්‍යන්තර එක්දින වරම් දිනා ගන්නා විට, ඉන්දියාව වෙනුවෙන් Suryakumar Yadav සහ Ishan Kishan ජාත්‍යන්තර එක්දින වරම් දිනා ගත්තා.

ශ්‍රී ලංකා නව එක්දින සහ විස්සයි විස්ස නායක දසුන් ශානක කාසියේ වාසිය දිනා ගනිමින් වසර දෙකකට පසුව ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන ජාත්‍යන්තර තරගයේ දී පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා.

චාමික කරුණාරත්න නොදැවී ලකුණු 43*ක් (පන්දු 35) ලබා ගනිමින් ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වුනු අතර අවසානයේ දී ශ්‍රී ලංකාව පන්දුවාර 50 අවසානයේ දී කඩුලු 9ක් දැවී ලකුණු 262ක් ලබා ගත්තා.

පළමු එක්දින තරගයට ක්‍රීඩා කළ කණ්ඩායම්,

ශ්‍රී ලංකාව – Avishka Fernando, Minod Bhanuka(w), Bhanuka Rajapaksa, Dhananjaya de Silva, Charith Asalanka, Dasun Shanaka(c), Wanindu Hasaranga, Chamika Karunaratne, Isuru Udana, Dushmantha Chameera, Lakshan Sandakan

ඉන්දියාව – Shikhar Dhawan(c), Prithvi Shaw, Ishan Kishan(w), Manish Pandey, Suryakumar Yadav, Hardik Pandya, Krunal Pandya, Deepak Chahar, Bhuvneshwar Kumar, Yuzvendra Chahal, Kuldeep Yadav

තවත් ක්‍රිකට් පුවත්:

ශ්‍රී ලංකාව තරමක් අසීරුවෙන් ලබා ගත් ලකුණු 262 ඉලක්කය ඉන්දීය පිතිකරුවන් පන්දුවාර 36කුත් පන්දු 4ක් අවසානයේ දී කඩුලු 3ක් පමණක් දැවී පහසුවෙන්ම සපුරා ගත්තා. එහි දී ඉන්දීය ඉනිම ආරම්භ කරමින් නායක Shikhar Dhawan සහ Prithvi Shaw දියත් කළ සබඳතාවය සහ Prithvi Shaw දියත් කළ වේගවත් පිතිකරණය නිසාවෙන් පළමු පන්දුවාර 10 තුල තරගයේ වැඩි වාසිය සිය කණ්ඩායම දෙසට නතු කර ගැනීමට ඉන්දියාව සමත් වුනා.

එහි දී Shaw පන්දු 24ක් තුල 4 පහර 9ක් එල්ල කරමින් 179.17ක සුපිරි ප්‍රහාරාත්මක වේගයක් රඳවා ගනිමින් ඉන්දීය කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා අවශ්‍ය මූලික අඩිතාලම සකස් කළේ තරගය අවසානයේ තරගයේ වීරයා සම්මානය ද දිනා ගනිමින්.

ධනංජය ද සිල්වා Shawගේ කඩුල්ල දවා ගනිමින් ශ්‍රී ලංකාවට ඒ මොහොතේ දී අත්‍යාවශ්‍යම වී තිබූ කඩුල්ල දවා ගැනීමට සමත් වුවත්, ඉන් පසුව අංක තුන පිතිකරු ලෙස පිටියට පැමිණි Ishan Kishan සිය පළමු පන්දුවෙන්ම 6 පහරක් එල්ල කරමින් ශ්‍රී ලංකාව දෙස තිබූ පීඩනය තවත් වැඩි කළා.

සිය 23 වැනි උපන් දිනය දා ජාත්‍යන්තර වරම් දිනා ගනිමින් පළමු එක්දින තරගයේ දී ම අර්ධ ශතකයක් ලබාගෙන ඔහු සතු දක්ෂතාවය මුළු ලොවටම පෙන්නුම් කිරීමට Ishan Kishan හට හැකියාව ලැබුනා.

අවසානයේ දී 4 පහර 8ක් සහ 6 පහර 2ක් එල්ල කරමින් පන්දු 42ක දී ලකුණු 59ක් ලබා ගත්  Kishanගේ ඉනිමට නැවතීමේ තිත තැබීමට ලක්ෂාන් සඳකැන් හට හැකියාවක් ලැබුණා. Shaw සහ Kishan දැමූ අඩිතාලම නිසාවෙන් පළමු පන්දුවාර 10 අවසානයේ (පළමු powerplay අවස්තාව) දී ඉන්දියාව කඩුල්ලක් පමණක් දැවී ලකුණු 91ක් ලබාගෙන තිබුණා. 

නායකත්වයේ ඉනිමක් දියත් කළ Shikhar Dhawan සිය ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් දිවියේ ලකුණු 6,000 සිමාව පසුකරයමින්, සිය එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් දිවියේ ලබා ගත් 33 වැනි අර්ධ ශතකය ලබා ගත්තා. ඔහු ඉන්දීය ඉනිමේ ජයග්‍රහණය තෙක් කඩුල්ලේ රැඳී සිටිමින් පන්දු 95ක දී ලකුණු 96*ක් ලබා ගත්තේ 4 පහර 6ක් සහ එක් 6 පහරක් සිය ලකුණු සටහනට එක්කාසු කරගෙනයි.

>>Photos: India tour of Sri Lanka 2021 – 1st ODI<<

මේ තරගයේ දී ශ්‍රී ලංකා පන්දු රැකීම එංගලන්ත තරගාවලියට සාපේක්ෂව යම් මට්ටමකින් පසුබැසීමක් පෙන්නුම් කළ අතර රාත්‍රී කාලයේ පතිත වෙන පින්නෙන් ද ඒ සඳහා යම් බලපෑමක් වන්නට ඇති. පන්දු යැවීමේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් ධනංජය ද සිල්වා කඩුලු දෙකක් දවා ගත්තා.

ශ්‍රී ලංකා නිත්‍ය ආරම්භක පිතිකරු කුසල් පෙරේරා ආබාධයක් නිසාවෙන් මේ තරගය ක්‍රීඩා නොකරන නිසා කඩුලු රකින පිතිකරු මිනෝද් භානුක සමඟින් ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළේ අවිශ්ක ප්‍රනාන්දුයි.

මිනෝද් එක් අන්තයක් රැකගෙන කඩුල්ලේ ස්ථාවර වන විට අවිශ්ක ප්‍රනාන්දු දුර්වල පන්දු හමුවේ ඉතාමත් හොඳින් ලකුණු ලබා ගනිමින් පිතිකරණයේ නිරත වුනා. ඒ නිසාවෙන් පළමු පන්දුවාර 10 තුල එක් පන්දුවාරයකට දල වශයෙන් ලකුණු 5.5ක පමණක් රඳවා ගෙන යම් සාර්ථක සහ ස්ථාවර ආරම්භයක් ලබා ගත්තේ කඩුල්ලක් පමණක් දැවී ලකුණු 55ක් ලබාගෙනයි.

අවිශ්ක ප්‍රනාන්දු පන්දු 35ක් තුල 4 පහර දෙකක් සහ 6 පහරක් එල්ල කරමින් ලකුණු 32ක් ලබාගෙන සිටිය දී Yuzvendra Chahalගේ පන්දුවක් හමුවේ පළමු කඩුල්ල ලෙස දැවී ගියා.

අනතුරුව පිටියට පැමිණි ජාත්‍යන්තර එක්දින ආකෘතිය සඳහා නවක ක්‍රීඩකයෙක් වන භානුක සිය මංගල එක්දින තරගයේ සිව්වැනි පන්දුවේ දී පා දඟපන්දු යවන ක්‍රීඩක Chahalට එරෙහිව 6 පහරක් එල්ල කරමින් සිය ලකුණු ලබා ගැනීම ආරම්භ කළා.

මිනෝද්, භානුක සහ අවිශ්ක පළමු පන්දුවාර 16කුත් පන්දු 4ක් තුල ලකුණු 89ක් දක්වා ශ්‍රී ලංකාව රැගෙන ආවේ, හොඳ දල ලකුණු ලබා ගැනීමේ වේගයක් ද රඳවා ගෙනයි. නමුත් ඉතාමත් විශ්වාසයෙන් පන්දුවට පහර දෙමින් සිටි භානුක සහ පන්දු කිහිපයකට මුහුණ දුන් පසුව කඩුල්ල තුල යම් ස්ථාවරත්වයක් ලබා ගත් මිනෝද් පිළිවෙළින් ලකුණු 24ක් සහ ලකුණු 27ක් ලබාගෙන සිටිය දී වමතින් පා දඟපන්දු යවන Kuldeep Yadavගේ පන්දු දෙකක් හමුවේ දැවී ගියා.

20 – 30 පන්දුවාර තුල ශ්‍රී ලංකා පිතිකරුවන්ව ඉතාමත් හොඳින් පාලනය කිරීමට Krunal Pandya ඇතුළු ඉන්දීය දඟපන්දු යවන්නන් සමත් වුනා. එම පන්දුවාර 10 තුල ශ්‍රී ලංකාව ලබා ගත්තේ 4 පහර දෙකක් පමණක් වන අතර පන්දුවාර 32ක් වන විට පන්දු 120ක් (පන්දුවාර 20) ශ්‍රී ලංකා ඉනිමේ නිලකුණු පන්දු බවට පත්ව තිබුණා.

එම පන්දුවාර ප්‍රමාණය තුල කඩුලු අතර ලකුණු 1 – 2 දිවීමේ අවස්ථාවන් වැඩි කරගත්තා නම්, එම අවස්ථාවේ ඉන්දීය පන්දු යවන්නන් යොමු කළ පීඩනය හරවා නැවත වතාවක් ඔවුන්ගේ අන්තයට යොමු කිරීමට අවස්ථාව තිබුණ ද එය කිරීමට ශ්‍රී ලංකා මැදපෙළ පිතිකරුවන්ට අවස්ථාවක් ලැබුණේ නැහැ.

කඩුලු අතර ගොඩනැංවුණු සබඳතා දෙස හැරී බැලීමේ දී පළමු කඩුල්ල සඳහා පන්දු 56ක් තුල ලකුණු 49ක් ලබා ගැනීමට මිනෝද් සහ අවිශ්ක සමත් වුනු අතර අසලංක සහ ශානක 5 වැනි කඩුල්ල සඳහා පන්දු 76ක් තුල ලකුණු 49ක සබඳතාවයක් ගොඩනංවමින් ශ්‍රී ලංකා ඉනිමේ හොඳම සබඳතාවයන් දෙක ගොඩනැංවූවා.

ශ්‍රී ලංකා පිතිකරණය දෙස බැලීමේ දී පිතිකරුවන් සියලුම දෙනා යම් මට්ටමක ලකුණු ප්‍රමාණයක් වෙත පැමිණියත් ඒ සඳහා ශ්‍රී ලංකා පිතිකරුවන් බොහෝමයක් දෙනා වැය කළ පන්දු ප්‍රමාණය තරමක් වැඩි වුනා.

කෙසේ නමුත් ශ්‍රී ලංකා පසුපෙළ පිතිකරුවන් වුනු චාමික කරුණාරත්න සහ දුෂ්මන්ත චමීර ඉතාමත් හොඳින් තරගයේ ස්වභාවය තේරුම් ගනිමින් පන්දුවට පහර දීමත් සමඟ ශ්‍රී ලංකාව පැමිණි රිද්මය එක් වරම වෙනස් වුනා.

එහි අවසන් ප්‍රතිඵලය ලෙස අවසන් පන්දුවාර 5 තුල ලකුණු 52ක් ලබා ගනිමින් ඉන්දීය පන්දු යවන්නන් නොසිතූ ලෙස ශ්‍රී ලංකාව තරගය අවසන් කළා. පන්දු 35ක් තුල නොදැවී ලකුණු 43*ක් ලබා ගත් චාමිකගේ ඉනිමට එක් 4 පහරක් සහ 6 පහර දෙකක් ඇතුලත් වුනා.

ඔහුට සහය වුනු චමීරගේ ඉනිමට 4 පහරක් සහ එක් 6 පහරක් ඇතුළත් වුනා. චමීර පන්දු 7ක දී නොදැවී ලකුණු 13*ක් ලබා ගැනීමට සමත් වුනේ අංක 10 පිතිකරු ලෙස පිටියට පිවිසෙමිනි.

චාමික සහ චමීර 9 වැනි කඩුල්ල සඳහා පන්දු 19ක දී ලකුණු 40ක සබඳතාවයක් ගොඩනැංවූ අතර අවසානයේ දී ශ්‍රී ලංකාව ලබාගත් ලකුණු සටහන වාර්තා පොත් අතරට ද ගියා. ඒ එකඳු අර්ධ ශතකයක් හෝ අර්ධ ශතක සබඳතාවයක් නොමැතිව ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියේ කණ්ඩායමක් දැනට ලබාගෙන තිබෙන වැඩිම ලකුණු ප්‍රමාණයේ වාර්තාවයි.

Deepak Chahar කඩුලු 2ක් දවා ගන්නා විට Kuldeep ඇතුළු ඉන්දීය දඟපන්දු යවන්නන් අතරේ කඩුලු 5ක් බෙදී ගියා. එසේම ශ්‍රී ලංකා ඉනිම පුරාවට නිලකුණු පන්දු 159ක් (පන්දුවාර ලෙස ගතහොත් 16.3ක්) සටහන්ව තිබීම එතරම් සුබදායී නොවුණු අතර තණතීරුව මන්දගාමී වීමත් සමඟම කඩුලු අතර දිවීම සහ පිතිකරණ අන්තයන් නිතර හුවමාරු කරගැනීම ශ්‍රී ලංකා පිතිකරුවන් හට නිසියාකාරව කර ගැනීමට හැකියාවක් ලැබුණේ නැහැ.

ශ්‍රී ලංකාව – 262/9 (50): චාමික කරුණාරත්න 43*, දසුන් ශානක 39, චරිත් අසලංක 38, අවිශ්ක ප්‍රනාන්දු 32, මිනෝද් භානුක 27, භානුක රාජපක්ෂ 24, Deepak Chahar 2/37, Kuldeep Yadav 2/48, Yuzvendra Chahal 2.52

ඉන්දියාව – 263/3 (36.4): Shikhar Dhawan 86*, Ishan Kishan 59,  Prithvi Shaw 43, Suryakumar Yadav 31, ධනංජය ද සිල්වා 2/49.

  • තරගයේ වීරයා – Prithvi Shaw (ඉන්දියාව)

දෙරට අතර පැවැත්වෙන දෙවැනි එක්දින තරගය මේ මස 20 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ම පැවැත්වීමට නියමිතයි. එහි තොරතුරු ද ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<