ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ තහනම ගැන FIFA හේතු කියයි

433

ශ්‍රී ලංකා පාපන්දු පිටිය ඊයේ (23) දිනයේ තරමක් උණුසුම් ස්වරූපයක් ගත්තේ ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය විසින් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය තහනම් කරන බවට ප්‍රකාශ කිරීමත් සමඟයි.

2023 ජනවාරි 21 සිට නැවත දැනුම් දෙන තුරු මෙම තහනම පැවැත්වෙන අතර එම තහනම පවතින තාක් ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමට සහ පාපන්දු ක්‍රීඩා සමාජ සඳහා ජාත්‍යන්තර පාපන්දු තරගාවලි සඳහා සහභාගී වීම තහනම් වෙනවා.

ඒ සමඟින් ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයෙන් හිමිවන සියලු වරප්‍රසාද ද ශ්‍රී ලංකාවට අහිමි වෙනවා.

එම තහනම ඉවත් කර ගැනීම සඳහා සපුරාලිය යුතු ප්‍රධාන කරුණු කිහිපයක් ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය විසින් නිවේදනය කර තිබුණා.

  • අලුතින් සම්මත කරන ලද පාපන්දු ව්‍යවස්ථාව (2022 සැප්තැම්බර් 22) පිළිගැනීම සහ ක්‍රියාත්මක කිරීම සඳහා බලය ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය වෙත ක්‍රීඩා නීතිය මගින් නිල සහ ලිඛිත ව ලබා දීම.
  • ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ වත්මන් නිලධාරීන් (ඡන්දයෙන් පත් නොවූ) පාපන්දු සම්මේලනයේ දෛනික වැඩ පවත්වා ගෙන යාමට බලය හිමිවන වනවා. ඒ ජාත්‍යන්තර සහ ආසියානු පාපන්දු සම්මේලනය අලුතින් පත් වූ නිලධාරි මණ්ඩලය (ජනවාරි 14 වනිදා) පිළිනොගන්නා නිසයි.
  • නව නිලධාරී මණ්ඩලයක් පාපන්දු සම්මේලනය සඳහා පත් කිරීම. එය පාපන්දු සම්මේලනය සමඟ එකඟ වූ ව්‍යවස්ථාවට (2022 සැප්තැම්බර් 22) අනුගත විය යුතු අතර (වසර හතරක් සඳහා) එය රහස් ඡන්දයක් මඟින් පැවැත්විය යුතු වනවා.

2022 වසරේ දී ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය සහ ශ්‍රී ලංකා නිලධාරීන් අතර පැවති සාකච්ඡා වලින් පසු එකඟ වූ නව පාපන්දු ව්‍යවස්ථාවට අනුව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය කටයුතු නො කිරීම නිසා මෙම තහනම පැනවූ බව ඔවුන් ප්‍රකාශ කර තිබුණා.

එමෙන්ම 2023 ජනවාරි මස 14 වනදා පැවති පාපන්දු නිලවරණයේ දී සිදු වූ තුන් පාර්ශවයක බලපෑම ද මෙම තහනම පැනවීමට හේතු වූ බව සඳහන්.

මෙම තහනම පැනවීමත් සමඟ ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය යටතේ ලබා දෙන සියලු වරප්‍රසාද අහිමි වන අතර ජාත්‍යන්තර සහ ආසියානු පාපන්දු සම්මේලනය යටතේ ක්‍රියාත්මක වන සියලු වැඩ සටහන් සඳහා සහභාගි වීමේ අවස්ථාව ද මෙම තහනම ක්‍රියාත්මක වන තුරු අහිමි වේ.

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න <<