ඉන්දීය මුල්පෙළ පිතිකරුවන් තරගය ඕස්ට්‍රේලියාව දෙසට හරවයි!

WTC Final 2023

2687

ඉන්දු – ඕස්ට්‍රේලියා ටෙස්ට් ලෝක ශූරතා අවසන් මහා තරගයේ දෙවැනි දිනය අවසන් වන විට තරගයේ වැඩි ගෞරවය ඕස්ට්‍රේලියාව දෙසට නැඹුරු වී ඇති බවක් පෙනී යනවා.

ඊයේ (08) දිනයේ ඕස්ට්‍රේලියාව විසින් සියලු ම කඩුලු දැවී යමින් සිය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 469ක් වාර්තා කිරීමට සමත් වූ අතර, ඊට පිළිතුරු ලබා දීමට පිටියට පිවිසි ඉන්දීය පිතිකරුවන් දිනය නිමා වන විට කඩුලු 5කට ලකුණු 151ක් ලබා ගැනීමට සමත් වී සිටියා.

මෙහි දී ඉන්දීය ඉනිමේ මුල්පෙළ පිතිකරුවන් සියලු ම දෙනා ඉලක්කම් දෙකේ ලකුණු කරා එළඹීමට සමත් වුනත්, දීර්ඝ ඉනිම් ක්‍රියාත්මක කිරීමට සමත් වුනේ නැහැ. විශේෂයෙන්ම ඔවුන් ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන්ට සිය කඩුලු පූජා කරමින් පිටියෙන් ඉවත් ව යන ආකාරයකුයි ප්‍රේක්ෂකයින්ට දකින්නට ලැබුණේ.

මෙහි දී ඉන්දියාව විසින් මහත් බලාපොරොත්තු තබා සිටි Shubman Gill සහ Cheteshwar Pujara යන දෙදෙනා ම එක ම ආකාරයකින් තමා වෙත එන පන්දුව නිදැල්ලේ යැවීමට ඉඩ හැරි අතර, අවසානයේ එම පන්දු නතර වුනේ කඩුල්ලේ වැදීමෙනුයි. එමෙන්ම මීට පෙර මෙම වසර මුල දී ඕස්ට්‍රේලියාවට එරෙහිව විශිෂ්ට ශතකයක් රැස් කිරීමට සමත් වූ Virat Kohli හට ද ඊයේ දිනය එතරම් සුභදායී වුනේ නැහැ. එමෙන්ම නායක Rohit Sharma ද ඊයේ අසාර්ථක වුනා.

මේ අයුරින් ඉන්දීය ඉනිම බිඳ වැටීම ඉන්දීය ක්‍රිකට් රසිකයින්ට නම් එතරම් ම සතුටුදායක දර්ශනයක් නොවූ බව විශ්වාසයි. එමෙන්ම ඔවුන් සමාජ මාධ්‍ය තුල (විශේෂයෙන්ම Twitter හි) මෙම දැවී යාම් පිළිබඳ ව සිය කනගාටුව ප්‍රකාශ කරමින් අදහස් පළ කර තිබුණා.

“දුප්පත් කුමාරයා Shubman Gill පන්දුව නිදැල්ලේ යවන්නවත් දන්නෙ නැහැ, ඒත් ඔයාලා ඔහුව Babar Azam සමඟයි සසඳන්නේ.”

” ‘ඉන්දියාව හෝ MI කණ්ඩායම් වලට අවශ්‍ය වෙලාවට Rohit Sharma දස්කම් පෙන්වනවා කවදාවත් දැකලා නැහැ. – Matthew Hayden’

ඔහු ඇත්තටම හරි.”

පන්දුවේ අමතර ඉලිප්පීම Kohliව රැවැට්ටුවා.

“Kohli කියන්නේ මැජික්කාරයෙක්, මොකද අපට ඔහුව වැඩිපුර ම අවශ්‍ය වෙලාවේ දී ඔහු අතුරුදහන් වෙනවා.”

කෙසේ වෙතත් වරක ලකුණු 71කට කඩුලු 4ක් බිඳ වැටී තිබුණු ඉන්දීය ඉනිමට යම් ජීවයක් ලබා දීමට Ravindra Jadeja සහ Ajinkya Rahane විසින් සමත් වුනා. නමුත් Jadejaගේ ඉනිම ලකුණු 48කින් නතර වූ අතර Rahane විසින් ලකුණු 29ක් ලබා නොදැවී කඩුල්ලේ රැඳී සිටිනවා.

අද (09) තරගයේ තෙවැනි දිනය වන අතර තරගය පිළිබඳ සියලු ම තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Hindustan Times ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<