ICC අවසන් තීන්දුව ලැබෙන තෙක් ඉන්දියාව නොඉවසිල්ලෙන්

342

2020 ඔක්තෝබර් 18 වැනිදා ආරම්භ වීමට නියමිතව තිබෙන ලෝක කුසලාන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය පිළිබඳව ICC ගනු ලබන අවසන් තීරණය අද (20) සවස නිල වශයෙන් ප්‍රකාශ කිරීමට නියමිතය. එම තීන්දුව ප්‍රකාශ කරන තෙක් ඉන්දීය ක්‍රිකට් ආයතනය ඉතාමත් විමසිල්ලෙන් සිටින්නේ IPL තරගාවලිය පවත්වා ගැනීමට අවශ්‍ය කාල රාමුව නිදහස් කර ගැනීම වෙනුවෙනි.

හතුරුසිංහ නිව් සවුත් වේල්ස් හි වැඩ අරඹන්නට යයි

ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලිය සැප්තැම්බර් – ඔක්තෝබර් කාලසීමාවේ පැවැත්වීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය දැනට සැලසුම් කරන්නේ ඔක්තෝබර් මස 18 වැනිදා සිට නොවැම්බර් මස 15 වැනිදා දක්වා ඕස්ට්‍රේලියාවේ පැවැත්වීමට නියමිත විස්සයි විස්ස ලෝක කුසලානය පැවැත්වීම අවිනිශ්චිත වී ඇති නිසාවෙනි.

කෙසේ නමුත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය එම ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය කල් දමනවා ද, නැතිනම් පවත්වනවා ද යන්න තවමත් නිසි ලෙස නිල වශයෙන් ප්‍රකාශ කර නොමැති නිසා ඉන්දීය ක්‍රිකට් පරිපාලකයින් හට ද IPL තරගාවලිය පිළිබඳව සැලසුම් සකස් කර ගැනීම අසීරු මට්ටමක තිබේ.

ICC විධායක කමිටුව අද අන්තර්ජාලය හරහා දුරකථන සංවාදයක නිරත වී ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පිළිබඳ අවසන් තීන්දුව නිල වශයෙන් ලබා ගැනීමට නියමිත නිසාවෙන් ඉන්දීය ක්‍රිකට් ආයතනය අනෙක් රටවල්වලට සාපේක්ෂව එම තීරණය කෙරෙහි දැඩි අවධානයෙන් සිටියි.

මේ වන විට ශ්‍රී ලංකාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, සහ නවසීලන්තය IPL ක්‍රිකට් තරගාවලියේ සත්කාරකත්වය දැරීම සඳහා සූදානමින් සිටින බව පවසා තිබෙන අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයට මෙවර IPL තරගාවලියේ සත්කාරකත්වය දැරීම සඳහා වැඩි ඉඩක් ඇත.

පසුගිය මාර්තු මාසයේ දී ආරම්භ වීමට නියමිතව තිබූ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය පසුව අප්‍රේල් මාසය දක්වා කල් දැමුණු අතර පසුව ඉන්දීය රජය විසින් ගත් අගුළු දැමීමේ ක්‍රියාමාර්ග සමඟින් එය දින නියමයක් නොමැතිව කල්දැමීමට සංවිධායකයන් තීරණය කළේය.

ඕස්ට්‍රේලියාව කොරෝනා වසංගතය සාර්ථකව පාලනය කළ රටක් බවට පත්ව සිටි නමුත් මේ වන විට නැවතත් කොරෝනා දෙවන රැල්ලක් එරට තුල හටගෙන තිබෙන නිසා මෙල්බර්න් නගරය මුළුමනින්ම අගුළු දමා ඇත. යම් හෙයකින් ඔක්තෝබර් – නොවැම්බර් මාසවල දී විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය සැලසුම් කළ පරිදි පැවැත්වීමට තීරණය වුවහොත් මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය අවලංගු කිරීමට සිදු වනු ඇත.

IPL තියන්න Emirates ලෑස්ති වෙයි

2020 වසරේ පැවැත්වීමට නියමිත පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලානය 2021 වසර සඳහා කල් දැමීමට ICC තීරණය කළහොත් ඔවුන්ගේ තරග කාලසටහන නැවත සකස් කිරීමට සිදු වේ. ඒ අනුව 2020 වසරේ දී පැවැත්වීමට නියමිත පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය 2021 දක්වා කල් දමා එය ඕස්ට්‍රේලියාවේ දී පැවැත්වීමට සිදු වේ.

එය එසේ වුවහොත් 2021 වසරේ දී ඉන්දියාවේ පැවැත්වීමට නියමිත පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලානය 2022 වසර දක්වා ඉදිරියට යන අතර 2023 වසරේ පන්දුවාර පනහේ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පැවැත්වෙන්නේ ද ඉන්දියාවේ නිසා ළඟ ළඟ වසර දෙකක් තුල ICC ප්‍රධාන තරගාවලි දෙකක් සඳහා සත්කාරකත්වය ලබා දීම අපහසු බව ද ඉන්දීය ක්‍රිකට් ආයතනයේ ඉහල පෙළේ නිලධාරියෙක් මාධ්‍ය වෙත පවසා ඇත.

විස්සයි විස්ස තරගාවලි දෙකේම විකාශන අයිතිය දරන විකාශකයින් පවා මේ වසරේ ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය පැවැත්වීමට හැකි අවස්ථාවක් සොයා ගැනීමට වැඩි ලෙස උනන්දු වන බව ඉන්දීය ක්‍රිකට් ආයතනය පසුගිය දා පවසා තිබුණි.

HindustanTimes ඇසුරින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<