10 වැනි කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වූ 3 වැනි තරගය කඩුලු 5ක පරාජයකින් අවසන් වූවා. Bristol හී County ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයේ ප්‍රතිවාදීන් වූයේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමයි. ඒ අනුව ඔවුන් මේ දක්වා සහභාගී වූ තරග ත්‍රිත්වය ජයග්‍රහණය කිරීමට සමත් වෙනවා.
මෙම තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම මෙන් ම බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ද සහභාගී වෙන්නේ පෙර තරගය හා සහභාගී වු කණ්ඩායමෙන් වෙනස්කමක් බැගින් සිදු කරමින්. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම හසිනි පෙරේරා වෙනුවට ඉමේෂා දුලානි ද සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම Qiana Joseph වෙනුවට Ashmini Munisar ද එක් කර ගෙන තිබුණා.
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම
චමරි අතපත්තු (නායිකාව), විශ්මි ගුණරත්න, ඉමේෂා දුලානි, හර්ෂිතා සමරවික්‍රම, කවීෂා දිල්හාරි, නිලක්ෂිකා සිල්වා, කෞශිනි නුත්‍යාංගනා (කඩුලු රකින්නිය), සුගන්දිකා කුමාරි, කාව්‍යා කාවින්දි, මිතාලි අයෝද්‍යා සහ නිමාෂා මීපගේ.
බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට් කණ්ඩායම
Hayley Matthews (නායිකාව), Deandra Dottin, Shemaine Campbelle (කඩුලු රකින්නිය), Stafanie Taylor, Jahzara Claxton, Chinelle Henry, Jannillea Glasgow, Aaliyah Alleyne, Afy Fletcher, Karishma Ramharack සහ Ashmini Munisar.
කාසියේ වාසිය දිනා ගත් බටහිර ඉන්දීය කොදෙව් නායිකාවගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ලබා ගන්නේ සියලුම දෙනා දැවී ලකුණු 98ක් පමණයි. ඊට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩිකාවෝ ඉනිමේ තවත් පන්දු 23ක් ද ඉතිරි කර ගනිමින් කඩුලු 5ක් පමණක් දැවී ප්‍රතිවාදී ඉලක්කය සපුරා ගන්නවා.
ශ්‍රී ලංකාව සමඟ සැසදීමේ දී බටහිර ඉන්දීය කොදෙව් ඉනිම ගලා ගියේ ද දුර්වල මට්ටමකිනුයි. ඔවුන්ගේ ඉනිමේ වැඩිම ලකුණුලාභිනිය වෙන්නේ තරගය ජයග්‍රහණයෙන් අවසන් වෙද්දී නොදැවී පිටියේ රැඳී සිටි Stafanie Taylor. ඇය පන්දු 25කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් ලබා සිටියේ නොදැවී ලකුණු 27ක් පමණයි.
ඇයට අමතර ව ආරම්භක පිතිකාරිනී Hayley Matthews පන්දු 17කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 17ක් ද, Deandra Dottin පන්දු 16ක දී හතරේ පහර 2ක් සමඟින් ලකුණු 12ක් ද සහ Jannillea Glasgow පන්දු 15ක දී හතරේ පහරක් සමඟින් නොදැවී ලකුණු 10ක් ලෙසින් ලබා ගත්තා.
ප්‍රතිවාදීන්ට අතිරේක ලකුණු 23ක් ලබා දුන් එම ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කරන්නේ කවීෂා දිල්හාරි. ඇය ලකුණු 22කට කඩුලු 2ක් දවා ගන්නවා. ඊට අමතර ව චමරි අතපත්තු සහ නිමාෂා මීපගේ කඩුල්ල බැගින් දවා ගන්නවා.
- ශ්‍රී ලංකාවට හමුවෙන 2024 ලෝක ශූරියෝ
- ශ්‍රී ලංකාව සුපිරි පන්දුවාරයෙන් ඉන්දියාව පරාජය කරයි
- Deepti Sharma ඉන්දීය T20 ඉතිහාසය අලුත් කරයි
- ලෝක කුසලාන ඉහළ ම ලකුණු සංඛ්‍යාව ලබා දී ශ්‍රී ලංකාව පරාජය වෙයි
- කුමරියන්ගේ මංගල කුසලානය ලින්ඩ්සේ බාලිකාවන්ට
පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ඉනිම සුපුරුදු ලෙසින් විශ්මි ගුණරත්න සහ චමරි අතපත්තු එක් ව ආරම්භ කළ ද ඔවුන් දෙදෙනාගේ සබඳතාව ලකුණු 2කට පමණක් සීමා වෙනවා. අද තරගයේ දී විශ්මි ගුණරත්නට ලබා ගැනීමට හැකි වෙන්නේ ලකුණක් පමණයි.
ඇය ගේ දැවී යෑමෙන් අනතුරු ව චමරි අතපත්තු ලකුණු 2කට ද සහ හර්ෂිතා සමරවික්‍රම ලකුණු නොලබා ම ද දැවී යනවා. එලෙසින් අසාර්ථක වූ ශ්‍රී ලංකා ඉනිමේ ඉදිරි පෙළින් පිටියට පිවිසි ඉමේෂා දුලානි පන්දු 19කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 17ක් ලබා ගත්තා.
ඇය දැවී යද්දී ශ්‍රී ලංකා ඉනිම කියැවුණේ කඩුලු 4ක් දැවී ලකුණු 23ක් ලෙසයි.
අනතුරු ව කඩුල්ලේ දී කවීෂා දිල්හාරි හා එක් වූ නිලක්ෂිකා සිල්වා ඉනිමේ 5 වැනි කඩුල්ලට පන්දු 25ක දී ලකුණු 34ක් ද සහ 7 වැනි කඩුල්ලට නිලක්ෂිකා සිල්වා සහ කාව්‍යා කාවින්දි එක් ව පන්දු 19ක දී ලකුණු 23ක සබඳතාවක් ද ගොඩ නගනවා.
එහි දී ඉනිමේ වැඩිම ලකුණුලාභිනිය වූ නිලක්ෂිකා සිල්වා ඉනිමේ 7 වැනි කඩුල්ලට දැවී යද්දී පන්දු 26කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 30ක් ලබා සිටියා.
ඊට අමතර ව කවීෂා දිල්හාරි පන්දු 20කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 21ක් ද සහ කාව්‍යා කාවින්දි පන්දු 28කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 17ක් ද ලබා සිටියා.
අනෙකුත් කිසිඳු පිතිකාරිනියක් ඉලක්කම් 2 ලකුණු සංඛ්‍යාවකට නොපැමිණි අතර ඒ අනුව කෞෂිනි නුත්‍යාංගනා (0), සුගන්දිකා කුමාරි (2) මිතාලි අයෝද්‍යා (3) සහ නිමාෂා මීපගේ (1*) අඩු ලකුණුවලට තම ඉනිම් සීමා කර ගත්තා.
කඩුලු දවා ගැනීමේ දී Hayley Matthews ලකුණු 15කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඊට අමතර ව Karishma Ramharack කඩුලු 2ක් ද සහ තවත් කඩුලු 4ක් පන්දු යවන්නියන් සිව් දෙනෙක් අතරේ ද බෙදී ගියා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම – සියලුම දෙනා දැවී 98 (19.4) කවීෂා දිල්හාරි 21, නිලක්ෂිකා සිල්වා 30, Hayley Matthews 3/15, Karishma Ramharack 2/15
- බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 5ක් දැවී 99 (16.1) Stafanie Taylor නොදැවී 27, කවීෂා දිල්හාරි 2/22
බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට් කණ්ඩායමට කඩුලු 5ක ජයක්.
තරගයේ වීරයා – Hayley Matthews (බටහිර ඉන්දීය කොදෙව්)
ශ්‍රී ලංකාව සහභාගී වෙන 4 වැනි තරගය මේ මස 23 වැනිදා අයර්ලන්තය සමඟින් Britol හි දී පැවැත්වීමට නියමිතයි.
කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















