කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලි උණුසුම ආසන්නයට පැමිණ ඇති අතර මේ වන විට ඊට සහභාගී වන කණ්ඩායම් පුහුණු තරග සඳහා ද සහභාගී වෙමින් සිටිනවා.
කාන්තා විස්සයි විස්ස ජාත්‍යන්තර තරග වාර්තා ඉතිහාසයේ වැඩිම කඩුලුලාභිනියන් අතුරින් මෙවර ලෝක කුසලාන තරගාවලිය නියෝජනය කරන පළමු ක්‍රීඩිකාවන් 10 දෙනා ගැන තැබෙන සටහනක් මේ.
>> ලෝක කුසලානයේ කැපී පෙණෙන පිතිකාරිනියෝ
Deepti Sharma (ඉන්දියාව)
28 හැවිරිදි වියේ පසුවෙන දකුණතින් පිට දඟ පන්දු යවන Deepti Sharma මෙවර ලෝක කුසලාන තරගාවලියට එක් වෙන්නේ විස්සයි විස්ස ලෝක තරග පිටියේ වැඩිම කඩුලුලාභිනියන් අතර පළමු අසුනේ සම ව අසුන් ගනිමිනුයි.
දශකයක් තිස්සේ කාන්තා විස්සයි විස්ස ජාත්‍යන්තර තරග පිටියේ සක්‍රීය ඇය මෙතෙක් තරග 144කට සහභාගී වෙමින් ලබා ඇති කඩුලු සංඛ්‍යාව 161ක්. ඇයත් සමඟින් තායිලන්ත කණ්ඩායම නියෝජනය කරන 22 හැවිරිදි වියේ පසුවෙන වමතින් දඟ පන්දු යවන Thipatcha Putthawong ද කඩුලු 161ක් ලබා ගනිමින් මෙතෙක් සම දක්ෂතා දක්වා තිබෙනවා.
Deepti Sharma මෙවර කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට සහභාගී වෙන්නේ 5 වැනි වරටයි. මෙතෙක් සහභාගී වූ තරග 19 දී ඇය ලබා ඇති කඩුලු සංඛ්‍යාව 19ක්. මෙය ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ වැඩිම කඩුලුලාභීන් අතර 25 වැනියට ලැයිස්තු ගත වූ දක්ෂතාවක්.
පන්දු යවන්නියකට අමතර ව පිතිකාරිනියක් ලෙසින් ද දක්ෂතා දක්වා ඇති ඇය මේ දක්වා විස්සයි විස්ස ජාත්‍යන්තර ලකුණු 1210ක් ද ලබා සිටිනවා. ඒ අතරට අර්ධ ශතක ද්විත්වයක් ද එක් කිරීමට ඇය සමත් වෙනවා.
Megan Schutt (ඕස්ට්‍රේලියාව)
33 වැනි වියේ පසුවෙන දකුණතින් මඳ වේග පන්දු යවන Megan Schutt මෙවර තරගාවලියට එක් වෙන්නේ ලෝක කුසලාන තරග ඉතිහාසයේ වැඩිම කඩුලුලාභිනියන් අතර ප්‍රමුඛ අසුනට හිමිකම් කියමිනුයි.
ඇය මේ දක්වා ලෝක කුසලාන තරගාවලි 5කට සහභාගී වෙමින් පන්දුවාර 100කට පන්දු 3ක් අඩුවෙන් යවමින් කඩුලු 48ක් ලබා ගෙන තිබෙනවා. මෙම කඩුලු අතරට ඉන්දියාවට සහ ශ්‍රී ලංකාවට එරෙහි ව කඩුලු 4ක් බැගින් ලබා ගත් අවස්ථාවන් ද තිබෙනවා.
ඇය මේ වන විට විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 125කට සහභාගී වී ඇති අතර එහි දී කඩුලු 152ක් ලබා ගනිමින් දක්ෂතා දක්වා තිබෙනවා.
Sophie Ecclestone (එංගලන්තය)
වමතින් දඟ පන්දු යවන 26 වැනි වියේ පසුවෙන Sophie Ecclestone ලෝක කුසලාන තරගාවලියක් සඳහා සහභාගී වන 5 වැනි අවස්ථාවයි මේ.
නිමා වූ තරගාවලි 4ක දී තරග 18කට සහභාගී වී ඇති ඇය ලබා ඇති කඩුලු සංඛ්‍යාව 29ක්. මේ අතර ඇය ගේ හොඳම පන්දු යැවීම බවට පත් වෙන්නේ 2020 වසරේ දී බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහි ව ලකුණු 7කට දවා ගත් කඩුලු 3යි.
මේ දක්වා විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 106කට සහභාගී වී ඇති ඇය කඩුලු 144ක් ලබා ගනිමින් දක්ෂතා දක්වා තිබෙනවා.
- Shreyas Iyer නව ඉන්දීය T20 නායකයා වීමට සූදානමින්!
- ශ්‍රී ලංකා කණ්ඩායමේ උඳුවප් සංචාරය
- නවසීලන්තයේ සංචාරය කිරීමට නියමිත ශ්‍රී ලංකා T20 සංචිතය නම් කරයි
Sophie Devine (නවසීලන්තය)
36 හැවිරිදි වියේ පසුවෙන Sophie Devine මෙම ලැයිස්තුවේ තුන් ඉරියව්වෙන් ඉහළ ම දක්ෂතා දැක් වූ ක්‍රීඩිකාවන් අතුරින් පළමු වැන්නියයි.
මේ වෙද්දී කාන්තා විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 154කට මුහුණ දී ඇති ඇය ලකුණු 3719ක් ලබා සිටින අතර ලබා ඇති කඩුලු සංඛ්‍යාව 128ක්. පිතිකාරිනියක් ලෙසින් ඇය ගේ ඉහළ ම දක්ෂතාව වෙන්නේ 2020 වසරේ දී දකුණු අප්‍රිකානුවන්ට එරෙහි ව ලබා ගත් ලකුණු 105යි. ඊට අමතර ව අර්ධ ශතක 24ක් ද ඇය ගේ ඉනිම් අතර තිබෙනවා.
දකුණතින් මඳ වේග පන්දු යවන ඇය මෙතෙක් දක්වන ලද ඉහළ ම දක්ෂතාව වෙන්නේ මේ වසරේ දී දකුණු අප්‍රිකානුවන්ට එරෙහි ව ලකුණු 12කට දවා ගත් කඩුලු 4යි.
2009 වසරේ සිට කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන තරග පිටියේ සිටින ඇය මේ වන විට තරග 38කට සහභාගී වෙමින් අර්ධ ශතක 4ක් සමඟින් ලකුණු 702ක් ලබා සිටින අතර ලබා ඇති කඩුලු සංඛ්‍යාව 29ක්.
Ellyse Perry (ඕස්ට්‍රේලියාව)
තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන්නියක ලෙසින් ලැයිස්තු ගත ව ඇති 35 වැනි වියේ පසුවෙන Ellyse Perry දකුණතින් මඳ වේග පන්දු යවන්නියක්.
ආරම්භක විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සිට ම ඊට සහභාගී ඇති ඇය මෙතෙක් එම තරගවල දී කඩුලු 40ක් ලබා තිබෙනවා. ඒ අතර ඇය ගේ හොඳම පන්දු යැවීම බවට පත් ව ඇත්තේ 2014 වසරේ දී පාකිස්තානයට එරෙහි ව ලකුණු 12කට දවාගත් කුඩුලු 3යි.
2008 වසරේ දී විස්සයි විස්ස ජාත්‍යන්තර තරග පිටියට පිවිසෙන ඇය මේ දක්වා තරග 174කට සහභාගී වෙමින් ලබා ඇති කඩුලු සංඛ්‍යාව 127ක්.
පිතිකාරිනියක් ලෙසින් ද දක්ෂතා දක්වන ඇය මේ දක්වා තරග 174ක ඉනිම් 117ක දී තරග පිටියට පිවිසෙමින් අර්ධ ශතක 9ක් ද සමඟින් ලකුණු 2297ක් ලබා තිබෙනවා. ඒ අතර ලෝක කුසලාන ඉනිම් 30ක දී එකතු වූ ලකුණු 503ක් ද මේ අතර තිබෙනවා.
Hayley Matthews (බටහිර ඉන්දීය කොදෙව්)
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ නායිකාව ද වන 28 වැනි වියේ පසුවෙන Hayley Matthews මෙවර තරගාවලියට එක් වෙන්නේ 6 වැනි වරටයි.
දකුණතින් පිට දඟ පන්දු යවන ඇය මේ දක්වා විස්සයි විස්ස ජාත්‍යන්තර තරග පිටියේ ලබා ඇති කඩුලු සංඛ්‍යාව 120ක්. ඉන් කඩුලු 16ක් ඇය විසින් ලබා ගන්නේ කාන්තා ලෝක කුසලාන තරග 23ක ඉනිම් 20ක පන්දු යවමිනුයි.
තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන ක්‍රීඩිකාවක් ලෙස වර්ගීකරණයට ලක් ව ඇති ඇය කාන්තා විස්සයි විස්ස ජාත්‍යන්තර තරග පිටියේ මේ වන විට තරග 121කට සහභාගී වෙමින් ඕස්ට්‍රේලියාව (132), එංගලන්තය (100*) සහ අයර්ලන්තය (107*) කණ්ඩායම්වලට එරෙහි ව වාර්තා කරන ලද ශතක ත්‍රිත්වයක් සහ අර්ධ ශතක 21ක් සමඟින් ලකුණු 3237ක් ලබා සිටිනවා.
මේ ලකුණු අතුරින් ලෝක කුසලාන තරග 23ක ලකුණු 508ක් ඇති අතර ඊට එක් කරන ලද අර්ධ ශතක 4ක් ද එහි ඇතුලත්.
Nahida Akter (බංග්ලාදේශය)
බංග්ලාදේශ කණ්ඩායමේ උප නායිකාව වන Nahida Akter තවමත් 25 වැනි වියේ පසුවෙන්නියක්. වමතින් දඟ පන්දු යවන ඇය මේ දක්වා විස්සයි විස්ස තරග 103ක ඉනිම් 102ක පන්දු යවමින් කඩුලු 117ක් ලබා තිබෙනවා. මෙම දක්ෂතාව ලෝක විස්සයි විස්ස තරග ඉතිහාසයේ වැඩිම කඩුලුලාභිනියන් අතර වෙන් වෙන්නේ 19 වැන්නිය ලෙසිනුයි.
එම දක්ෂතා එලෙස වූවත් ඇයට ලෝක කුසලාන තරගවල දී එතරම් ම දක්ෂතා දක්වන්නට හැකි වෙන්නේ නැහැ. ඇයට තරග 15ක දී ලබා ගැනීමට හැකි ව ඇත්තේ මෙතෙක් කඩුලු 10ක් පමණයි. පන්දු යැවූ ඉනිම් 15න් 8ක දී ම ඇයට කිසිදු කඩුල්ලක් ලැබී නැහැ.
Melie Kerr (නවසීලන්තය)
නවසීලන්ත කණ්ඩායම වෙනුවෙන් මෙම ලැයිස්තුවට එක් වෙන 25 වැනි වියේ පසුවෙන Melie Kerr තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන්නියක්.
ඇය මේ දක්වා විස්සයි විස්ස ජාත්‍යන්තර තරග පිටියේ තරග 99ක ඉනිම 97ක දී පන්දු යවමින් කඩුලු 106ක් ලබා ඇති අතර පිතිකාරිනියක ලෙසින් පිටියට පිවිසි ඉනිම් 80ක දී ශතක 2ක් සහ අර්ධ ශතක 7ක් සමඟින් ලකුණු 1925ක් ලබා ගෙන තිබෙනවා.
කණ්ඩායමේ සිටින ප්‍රමුඛත ම පා දඟ පන්දු යවන්නිය ද වන ඇය මේ දක්වා විස්සයි විස්ස ලෝක කුසලාන තරග 18කට සහභාගී වෙමින් කඩුලු 32ක් ලබා සිටිනවා. ඒ අතර ඇය ගේ ඉහළ ම දක්ෂතාව වෙන්නේ 2024 වසරේ දී ඕස්ට්‍රේලියාවට එරෙහි ව ලකුණු 26කට දවා ගත් කඩුලු 4යි.
Afy Fletcher (බටහිර ඉන්දීය කොදෙව්)
39 වැනි වියේ පසුවෙමින් පා දඟ පන්දු යවන Afy Fletcher මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය හා එක් වෙන්නේ 6 වැනි වතාවටයි. මෙතෙක් ලෝක කුසලාන තරගාවලි 5ක තරග 23ක දී පන්දු යැවූ ඇය ලබා ඇති කඩුලු සංඛ්‍යාව 28ක්.
2008 වසරේ සිට විස්සයි විස්ස ජාත්‍යන්තර තරග පිටියේ සක්‍රීය ඇය මේ දක්වා ලබා ඇති කඩුලු සංඛ්‍යාව 102ක්. ඒ තරග 108ක ඉනිම් 104ක දී පන්දු යවමිනුයි.
Lea Tahuhu (නවසීලන්තය)
35 වැනි වියේ පසුවෙන දකුණතින් මඳ වේග පන්දු යවන Lea Tahuhu මෙවර ලෝක කුසලාන තරගාවලියට එක් වෙන්නේ විස්සයි විස්ස ජාත්‍යන්තර කඩුලු 99ක් ලබා ගනිමින් සුවිශේෂී කඩඉමකට පිවිසීමේ අනගි අවස්ථාවක් ද ලබා ගනිමිනුයි.
එමෙන් ම ඇය මෙතෙක් විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලි 5ක තරග 23කට සහභාගී වී ඇති ඇය ලබා ඇති කඩුලු සංඛ්‍යාව 21ක්.
චමරි අතපත්තු (ශ්‍රී ලංකාව)
මෙම ලැයිස්තුව හා එක් වෙන ශ්‍රී ලංකා ක්‍රීඩිකාව වෙන්නේ නායිකා චමරි අතපත්තු. ඇය මෙතෙක් නිමා වූ තරග 157ක දී කඩුලු 71ක් දවා ගෙන තිබෙනවා.
ඒ අතර විස්සයි විස්ස ලෝක කුසලාන තරග 32ක දී ඇය ලබා ඇති කඩුලු සංඛ්‍යාව 13ක් වන අතර ඇය එහි දී ලැයිස්තු ගත ව ඇත්තේ 51 වැනියා ලෙසයි.
කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















