ඕස්ට්‍රේලියානු සටනට මහීෂ් සූදානම්

විස්සයි විස්ස ලෝක කුසලානය 2021

225

ශ්‍රී ලංකා යොවුන් දඟපන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ හට ඕස්ට්‍රේලියාවට එරෙහිව හෙට (28) පැවැත්වීමට නියමිත තරගයට සහභාගී වීමට හැකියාව පවතින බව වාර්තා වෙනවා.

ලෝක කුසලාන තරගාවලියේ පළමු වටයේ දී ඉතා ඉහළ දස්කම් දක්වන්නට මහීෂ් තීක්ෂණ සමත් වුනා. එහි දී ඔහු තරග තුනක දී කඩුලු අටක් දවා ගන්නට සමත් වූ නමුත් සුළු ආබාධයක් හේතුවෙන් (side strain) දෙවැනි වටයේ පළමු තරගය වූ බංගලාදේශයට එරෙහි තරගය ක්‍රීඩා කළේ නැහැ.

හැමදේම හොඳට වුනොත් මහීෂ් හෙට ක්‍රීඩා කරයි. අපි ඊයෙ පුහුණුවීම්වල දීත් ඔහුව විවේක ගැන්වූවා. ඔහු ඉතා ඉක්මනින් පුරුදු තත්වයට ආවා”, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු Mickey Arthur අද (27) පවසා තිබුණා.

ඩුබායි හි ICC ඇකඩමියේ දී ඊයේ ශ්‍රී ලංකා කණ්ඩායම පුහුණු සැසියකට සහභාගී වී තිබුණු අතර එහි දී කණ්ඩායමේ අනෙක් ක්‍රීඩකයින් පුහුණුවීම්වල නිරත වෙන අතරතුර මහීෂ් හා කණ්ඩායමේ ශාරීරික සුවතා පුහුණුකරුවන් වන Grant Luden හා දිල්ශාන් ෆොන්සේකා පිටිය වටා ධාවනයේ යෙදෙනු දක්නට ලැබී තිබුණා. කෙසේ වෙතත් ඔහු පන්දු යැවීමේ පුහුණුවීම්වල නිරත වී තිබුණේ නැහැ.

ඔහු හොඳ පන්දු යවන්නෙක්, ඔහු තාම තරුණයි, ඒ වගේම දැඩියි. ඔහු ක්‍රීඩාව තුළ තමන්ගේ ස්ථානය සොයමින් යනවා. අපි ඕස්ට්‍රේලියාව හොඳින් අධ්‍යනය කළා. ටික කලකට පෙර මම පාකිස්තානය සමඟ ඉද්දී ඕස්ට්‍රේලියාව සමඟ මෙහෙ (ඩුබායි) තරගාවලියක් ක්‍රීඩා කළා.

අපි එහි දී දඟපන්දු යවන්නන් සාර්ථකව යොදා ගත්තා. අපි බලාපොරොත්තු වෙනවා ඒක වැඩ කරයි කියලා. ඔබ මහීෂ්ව කලින් දැකලා නැත්නම් අනිවාර්යයෙන්ම ඔහුට එරෙහිව ක්‍රීඩා කිරීම අපහසුයි. ඔහු ගාව විවිධ වර්ගයේ පන්දු තිබෙනවා ඔබට තෝරා බේරා ගන්නට බැරි. හෙට තරග ඉතා උද්වේගකර තරගයක් වෙයි”, Arthur තවදුරටත් පවසා සිටියා.

ඕස්ට්‍රේලියානු කණ්ඩායම සිය සුපිරි 12 වටයේ පළමු තරගයේ දී දකුණු අප්‍රිකාව පරාජය කරන්නට සමත් වුනා.

2021 ICC විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර තරගය හෙට ඩුබායි හිදී පැවැත්වීමට නියමිතයි. එම තරගයේ විස්තර ඇතුළු ලෝක කුසලානයේ සියලු තතුවිත්ති සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<