ශ්‍රී ලංකා – පාකිස්තාන ටෙස්ට් තරගාවලියට දින තීන්දුයි

පාකිස්තානු කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2023

1671

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර සංවිධානය කරන ටෙස්ට් තරග දෙකකින් සමන්විත ක්‍රිකට් තරගාවලිය එළඹෙන ජූලි මාසයේ දී ආරම්භ වීමට නියමිතයි.

එහි පළමු තරගය ජූලි 16 වැනිදා සිට 20 වැනිදා දක්වා ගාල්ලේ දී පැවැත්වීමට නියමිත අතර දෙවැනි තරගය ජූලි 24 වැනිදා සිට 28 වැනිදා දක්වා කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

2023 – 2025 නව ටෙස්ට් ලෝක ශූරතාවලියේ පළමු තරගාවලිය ලෙස කණ්ඩායම් දෙකම මේ තරගාවලිය සඳහා මුහුණ දීමට නියමිත අතර, පාකිස්තානය විසින් Babar Azamගේ නායකත්වය යටතේ මේ වන විටත් ක්‍රීඩකයින් 15 දෙනෙකුගේ සංචිතයක් තරගාවලිය සඳහා නම් කර තිබෙනවා.

2022 වසරේ ජූලි මාසයේ දී ද පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම ටෙස්ට් තරග දෙකකින් සමන්විත තරගාවලියක් වෙනුවෙන් මෙරටට පැමිණි අතර ගාල්ලේ දී පැවැත්වුණු එම තරගාවලිය 1-1ක් ලෙස ජය පරාජයෙන් තොරව අවසන් වුනා.

ජූලි මාසයේ දී පැවැත්වීමට නියමිත තරගාවලිය සඳහා පැමිණෙන පාකිස්තානු කණ්ඩායම ජූලි 9 වැනිදා දිවයිනට ළඟා වීමට නියමිත අතර ඉන්පසුව ජූලි 11 සහ 12 දෙදින පුහුණු තරගයක් සඳහා ඔවුන් සහභාගී වීමට නියමිතයි.

SSC ක්‍රීඩාංගණයේ දී අවසන් වරට ටෙස්ට් තරගයක් පැවැත්වී තිබෙන්නෙ 2020 වසරේ මාර්තු මාසයේ දී ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතරයි. ඊට පසුව එම ක්‍රීඩාංගණයේ දී ටෙස්ට් තරගයක් පැවැත්වෙන පළමු අවස්ථාව මෙයයි.

පාකිස්තානු කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2023

  • ජූලි 11-12 – දෙදින පුහුණු තරගය – ක්‍රීඩාංගණයක් තවමත් නම් කර නොමැත
  • ජූලි 16 – 20 – පළමු ටෙස්ට් තරගය – ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී
  • ජූලි 24 – 28 – දෙවැනි ටෙස්ට් තරගය – කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී

තරගාවලියට එක්වන පාකිස්තාන සංචිතය: Babar Azam (c), Mohammad Rizwan (vc & wk), Aamir Jamal, Abdullah Shafique, Abrar Ahmed, Hasan Ali, Imam-ul-Haq, Mohammad Huraira, Mohammad Nawaz, Naseem Shah, Noman Ali, Salman Ali Agha, Sarfaraz Ahmed (wk), Saud Shakeel, Shaheen Afridi and Shan Masood

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<