බංග්ලාදේශ ක්‍රිකට් තරගාවලියත් නොපැවැත්වෙන ලකුණු

81

ක්‍රිකට් ක්‍රීඩාව නැවත ආරම්භ වන තෙක් ඔවුන් බලා සිටින බවත් ද්විපාර්ශ්වික තරගාවලිවලට වඩා ICC තරග සඳහා වැඩි බරක් තැබීමට සිදු වනු ඇති බව බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ සභාපති නස්මුල් හසන් මහතා පැවසීය.

ගුවන් ගමන්වලට අවසර ලැබුනොත් ඉන්දියාව ශ්‍රී ලංකාවට

කෙසේ නමුත් ඉන්දීය තරග සංචාරය සහ බංග්ලාදේශය සමඟ වන ටෙස්ට් තරගාවලිය ද පැවැත්වීමට අදාළ අවසන් තීරණය මෙම සතිය අවසන් වීමට පෙර ගැනීමට නියමිතව ඇති නමුත් එළඹෙන ජුනි සහ ජූලි මාසවල දී ඔවුන් මෙරටට පැමිණීම මේ වන විට ඇත්තේ බොහෝ දුරට අවිනිශ්චිත තත්වයකය. තවද කල් දැමුණු එංගලන්ත තරගාවලිය ලබන වසරේ (2021) ජනවාරි මාසයේ දී පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සූදානමින් සිටින බව වාර්තා වේ.

“දැන් ඉතාමත් හොඳට ආරක්ෂිතව තියෙන තැන හෙට ඉතාමත් භයානක සහ අනාරක්ෂිත තැනක් වෙන්න පුළුවන්. මොකද මේ වයිරසය පැතිරෙන විදිහ ගැන තවමත් අපි කාටවත් හරි අවබෝධයක් නැහැ. එහෙම වුනොත් කොයි වගේ තත්වයක් ඉදිරියට උදා වෙයි ද කියලා කාටවත් හරියටම කියන්න බැහැ. 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අපිට කියලා තියෙනවා ඔවුන්ට මේ තරගාවලිය ප්‍රේක්ෂකයින් නැතිව තියන්න පුළුවන් කියලා. හැබැයි අපේ ක්‍රීඩකයින්/ කාර්ය මණ්ඩලයට මෙහේ ඉඳන් එහාට යනකොට ගොඩක් ලොකු අවදානමකට මුහුණ දෙන්න වෙනවා. ඒ ගොල්ලෝ එක් රටක ඉඳන් තවත් රටකට යන්නේ කොහොමද, ක්‍රීඩකයින් නවාතැන් ගන්නේ කොහේද, නිරෝධායන කාලයක් ඕනේ ද, නැද්ද, ගුවන් ගමන් සඳහා අවසර ලැබෙයි ද, වගේ කරුණු කාරනා ගොඩක් අපිට නිරවුල් කරගන්න ඕන.” 

“අපි කොහොමද සාකච්ඡා කරන්නේ, අපි ආයිත් ක්‍රීඩා කිරීම ආරම්භ කරන්නේ කවදා ද, ජූලි හෝ අගෝස්තු මාසවල දී හරියටම තරගාවලි ආයිත් පටන් ගන්න පුළුවන් වෙයි කියලා අපි කාටවත් හරියටම කියන්න බැහැ.”ICC, ආසියානු ක්‍රිකට් කවුන්සිලය සහ අනික් රටවල් කරන්නේ මොකක්ද කියලා අපි බලාගෙන ඉන්නේ. ඒ අනුව අපිත් ඉදිරියේ දී ගන්න ඕන ක්‍රියාමාර්ග ගන්නවා” යැයි හසන් මහතා ඊයේ (20) එරට ජාතික ක්‍රීඩා සංකීර්ණයේ දී පැවති මාධ්‍ය හමුවේ ද පැවසීය.

එසේම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පසුගිය සතියේ දී සිය පුහුණුවීම් කටයුතු කුඩා කණ්ඩායම් කිහිපයක් ලෙස (නේවාසිකව) ආරම්භ කිරීමට කටයුතු යොදා තිබූ නමුත් සෞඛ්‍ය අමාත්‍යංශය සමඟ එක්ව ක්‍රීඩා අමාත්‍යාංශය විසින් පනවනු ලැබූ නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මත පදනම්ව එය එළඹෙන ජුනි මාසය දක්වා කල් දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කළේය. 

Video – ශ්‍රී ලංකා ක්‍රිකට් අනාගත පරපුරත් ගෙදර ඉඳන් වැඩ අල්ලයි

ICC ක්‍රිකට් කමිටුව සහ ඒ ඒ රටවල් වල ක්‍රිකට් ආයතනවල ප්‍රධානීන් සමඟ පැවැත්වෙන විශේෂ හමුව මේ මස 28 වැනිදා පැවැත්වීමට නියමිතව තිබේ. එහි දී 2020 ඔක්තෝබර් මාසයේ දී ආරම්භ වීමට නියමිත විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඇතුළුව අනෙක් තරගාවලි ආරම්භ කරන දිනයන් පිළිබඳව අවසන් නිගමනයකට එළඹීමට ඔවුන් සූදානම් සිටින බව වාර්තා වේ.

“විස්සයි විස්ස ලෝක කුසලානය පවත්වන්නේ කොහොමද කියලා තමයි දැන් ICC එක වුනත් ලොකු අවධානයක් දීලා තියෙන්නේ. මෙම අවාසනාවන්ත තත්වය තුළ ද්විපාර්ශ්වික හරියටම මෙදා ඉඳන් ආරම්භ කරන්න පුළුවන් කියලා අපිට හරියටම කියන්න බැහැ. ICCය යම් තීරණයක් හරියටම කිව්වොත් අපිට ඒකට අනුව හැඩගැසෙන්න පුළුවන් හැබැයි ඒක ඉතාමත් සංකීර්ණ වැඩක්. ඒකට අපි හැමෝම එකතු වෙලා හොඳ සාකච්ඡාවක් තියෙලා ඉන්න ඕනේ” යැයි හසන් මහතා අවසන් ලෙස පැවසීය.

ශ්‍රී ලංකාවේ කොරෝනා වයිරසය ආසාදනය වූ රෝගීන් 1000කට අධික ප්‍රමාණයක් සිටින අතර සුවය ලැබූ ප්‍රමාණය 580 ඉක්මවා තිබෙන්නේ මරණ 9ක් වාර්තා වන පසුබිමකයි. බංග්ලාදේශය තුල කොරෝනා වයිරසය ආසාදිත පුද්ගලයින් 26,000 ඉක්මවා ඇති අතර 380කට අධික ප්‍රමාණයක් ජීවිතක්ෂයකට පත්ව ඇත.

ලොව පුරා ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළු සියලු දේම අකර්මණ්‍ය කළ මෙම කොරෝනා වයිරසය නිසාවෙන් තරගාවලි රැසක් දින නියමයක් නොමැතිව කල් දමා තිබෙන්නේ ICC ප්‍රධාන තරගාවලි දෙකක් (වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ යුරෝපා තරගාවලියේ දෙවන කාණ්ඩය සහ කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ තරගාවලිය) ද සමඟිනි. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<