ආසියානු කුසලානයේ ඉතිරි තරගවල වෙනසක් නැහැ

ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය 2023

3028

2023 ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුපිරි හතර වටය සහ අවසන් මහා තරගය පෙර සැලසුම් කළ පරිදි කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

කොළඹ ප්‍රදේශයට මේ දිනවල ඇද වැටෙන අධික වර්ෂාව නිසා තරග වෙනත් ක්‍රීඩාංගණයකට ගෙන යෑමට අවධානය යොමුව තිබූ අතර පසුව තරග සියල්ල හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වීමට සැලසුම් කළ බව ද වාර්තා වුනා.

නමුත් තරගාවලියට අදාළ පාර්ශව කිහිපයක් තරග හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවැත්වීමට එකඟ නොවීම නිසා ආසියානු ක්‍රිකට් බලධාරීන් ඉතිරි තරග පෙර සැලසුම් කළ පරිදි පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

මේ පිළිබඳව ThePapare.com වෙත අදහස් දක්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ බලධාරියෙකු ප්‍රකාශ කළේ, තරග සියල්ල පෙර සැලසුම් කළ පරිදි ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන බව සහ එම තරග හම්බන්තොටට ගෙන යාමට තීරණය කළත්, පාර්ශව කිහිපයක් විරෝධය දැක්වීම නිසා තීරණය වෙනස් කළ බවයි.

ඒ අනුව ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ සුපිරි හතර වටයේ තරග හතරක් සහ අවසන් මහා තරගය සැප්තැම්බර් 17 වැනිදා පැවැත්වීමට නියමිතයි.

මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සත්කාරකත්වය පාකිස්තානයට හිමි වූවත්, පාකිස්තානයේ ක්‍රීඩා කිරීමට ඉන්දියාව අකමැති වීම නිසා ශ්‍රී ලංකාව සහ පාකිස්තානය කේන්ද්‍ර කර ගනිමින් තරගාවලිය පැවැත්වීමට ආසියානු ක්‍රිකට් කවුන්සිලය තීරණය කළා.

2023 ආසියානු කුසලානය පිළිබඳ උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<