ශ්‍රී ලංකාව ජයග්‍රහණයකින් තරගාවලිය අවසන් කරයි

ICC Men's T20 World Cup

126
Sri Lanka vs Netherland

St Lucia හි Daren Sammy ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී අද (17) නෙදර්ලන්තය සමඟින් පැවැති තරගයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ලකුණු 83ක ජයග්‍රහණයක් ලබා ගනිමින් 2024 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ලත් එක ම ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් වූවා. 

මෙම තරගය සඳහා එක් වෙන විට ශ්‍රී ලංකාව D කාණ්ඩයේ අවසන් ස්ථානයේ රැදී සිටි අතර තරග ජයග්‍රහණයත් සමඟින් මෙන් ම නේපාල කණ්ඩායම බංග්ලාදේශයට පරාජය වීමත් සමඟින් ශ්‍රී ලංකාව 3 වැනි ස්ථානයට උසස් වෙමින් තරගාවලිය නිමා කිරීමට වාසනාවන්ත වූවා.   

මෙම කාණ්ඩයේ පළමු ස්ථාන ද්විත්වය දකුණු අප්‍රිකාව සහ බංග්ලාදේශය යන රටවල් සතු වූ අතර ඔවුන් සුපිරි 8 වටය සඳහා සුදුසුකම් ලබා ගැනීමට සමත් වූවා.  

නිමා වූ මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කඩුලු 6ක් දැවී ලකුණු 201ක් ලබා ගත් අතර එය මෙවර තරගාවලියේ මෙතෙක් කණ්ඩායමක් විසින් ප්‍රතිවාදී කණ්ඩායමක් ඉදිරියේ ලබා ගත් ඉහළ ම ලකුණු සංඛ්‍යාවන් අතර සම තැනට පත් දක්ෂතාවයක් ද වූවා.  

ඊට පෙර ඔස්ට්‍රේලියාව, එංගලන්තයට එරෙහිව කඩුලු 7ක් දැවී ලකුණු 201ක් ලබා ගෙන තිබුණා. 

කාසියේ වාසිය දිනා ගත් නෙදර්ලන්ත නායකයාගේ අදහස වූයේ පළමුවෙන් පන්දු යවමින් ප්‍රතිවාදී ශ්‍රී ලංකාවට ප්‍රබල තර්ජනයක් වීමටයි. ඒ වෙනුවෙන් ඔවුන් පිතිකරුවන් 5 දෙනෙක් ද, ප්‍රධාන පන්දු යවන්නන් සිවු දෙනෙක් ද සහ අතරමැදි පන්දු යවන්නන් 2ක් ද සහිතව තම කණ්ඩායම නම් කර තිබුණා.  

ශ්‍රී ලංකාව තරගයට එක් වූයේ පිතිකරුවන් 7 දෙනෙක්, වේග පන්දු යවන්නන් දෙදෙනෙක් සහ දඟ පන්දු යවන්නන් දෙදෙනෙක් ද සමඟිනුයි. පිතිකරුවන් අතර සිටි කමිඳු මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, චරිත් අසලංක, ඇන්ජලෝ මැතිව්ස් සහ දසුන් ශානක ද අත්‍යවශ්‍ය අවස්ථාවක දී පන්දු යැවීමේ ද නිපුණයන් වීමේ වාසිය ද එම නම් කිරීමට හේතු වී තිබුණා.  

ප්‍රතිවාදී නායකයාගේ තීරණය පළමු පන්දුවාරයේ දී සනාථ වූව ද එය දිගින් දිගට ම පවත්වා ගැනීමට ශ්‍රී ලංකා පිතිකරුවෝ ඉඩ ලබා දුන්නේ නැහැ. ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුල්ල ලෙසින් පැතුම් නිස්සංක ලකුණු නොලබා 2 වැනි පන්දුවේ දී දැවී ගිය ද අනතුරු ව පිටියට පිවිසි කමිඳු මෙන්ඩිස්, අනෙක් ආරම්භක පිතිකරු කුසල් මෙන්ඩිස් හා එක් ව එම ගමන් මාර්ගය වෙනස් කළා.  

කෙසේ වෙතත් පළමු Power Play අවස්ථාවේ දී ම කමිඳු මෙන්ඩිස් ගේ ගමන ද අවසන් කිරීමට ප්‍රතිවාදීන් සමත් වූවා. කමිඳු මෙන්ඩිස් පන්දු 20කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 17ක් ලබා ගත්තා.  

කමිඳු මෙන්ඩිස් ගේ කඩුල්ල දවා ගැනීමට සමත් වූ Paul van Meekeren තම, පළමු පෙළ විස්සයි විස්ස තරග දිවියේ 100 වැනි කඩුල්ල දවා ගැනීමට සමත් වූවා. 

කමිඳු ගේ දැවී යෑමත් සමඟින් ශ්‍රී ලංකා ලකුණු පුවරුව දැක් වුණේ කඩුලු 2ක් දැවී ලකුණු 39ක් ලෙසින වූව ද ශ්‍රී ලංකා ඉනිමේ පළමු Power Play අවස්ථාව අවසන් වන විට ලකුණු 45ක් ව පැවැතියා.  

කුසල් මෙන්ඩිස් සහ ධනංජය ද සිල්වා සමඟින් 3 වැනි කඩුල්ල සඳහා පන්දු 35ක දී ලකුණු 45ක් එක් කිරීමට සමත් වූවා. කුසල් මෙන්ඩිස් පන්දු 29කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 46ක් ලබා සිටිය දී ඉනිමේ තෙවැනි කඩුල්ලට දැවී ගියා.  

අනතුරු ව ධනංජය ද සිල්වා සහ චරිත් අසලංක ද සිවු වැනි කඩුල්ල සඳහා පන්දු 21ක දී ලකුණු 39ක් එක් කළා. ධනංජය ද සිල්වා පන්දු 26කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 34ක් ලබා සිටිය දී දැවී යෑමත් සමඟින් එම කඩුල්ලේ සබඳතාව ද බිඳ වැටුණා.  

18 වැනි පන්දුවාරයේ ආරම්භක පන්දු 2 දී පිට පිට හයේ පහර 2ක් එල්ල කළ චරිත් අසලංක ඊළඟ පන්දුවේ දී තම ඉනිම අවසන් කර ගනිද්දී, පන්දු 21කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහර 5ක් සමඟින් ලකුණු 46ක් ලබා සිටියා. චරිත් අසලංක සහ ඇන්ජලෝ මැතිව්ස් එක් ව 5 වැනි කඩුල්ලට පන්දු 17ක දී එක් කළ ලකුණු සංඛ්‍යාව 43ක් 

එම සබඳතාවේ රැස් මැකීයෑමත් සමඟින් යැවුණ අනෙක් පන්දුවේ දී තම 99 වැනි විස්සයි විස්ස ජාත්‍යන්තර තරගයට එක් වූ දසුන් ශානක එම කඩඉම් ඉනිම තමන් සහභාගී වූ පළමු පන්දුවේ දී ම අවසන් කර ගත්තා.  

අනතුරු ව ශ්‍රී ලංකා ඉනිමේ පෙරළිකාරයන් වූයේ ඇන්ජලෝ මැතිව්ස් සහ නායක වනිඳු හසරංග යි. ඔවුන් දෙදෙනා විසින් 7 වැනි කඩුල්ලට පන්දු 14ක දී නොදැවී ලකුණු 35ක් එක් කිරීමට සමත් වුනා.  

අවසන් පන්දුවාරයේ ආරම්භක පන්දු 2 දී පිට පිට හයේ පහර 2ක් එල්ල කළ වනිඳු හසරංග ඉනිම අවසන් වන විට පන්දු 6කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 20ක් ද සහ ඇන්ජලෝ මැතිව්ස් පන්දු 15කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 30ක් ද ලබා සිටියා.  

නෙදර්ලන්ත කණ්ඩායමේ සුවිශේෂී පන්දු රැකීම් අවස්ථා කිහිපයක් ම වාර්තා වූ අතර ශ්‍රී ලංකාවට එරෙහි ඉනිමේ වැඩිම කඩුලුලාභියා වූයේ Logan van Beek. ඔහු ලකුණු 45කට කඩුලු 2ක් දවා ගැනීමට සමත් වූවා. ඊට අමතර ව Vivian Kingma, Aryan Dutt, Paul van Meekeren සහ Tim Pringle කඩුල්ල බැගින් දවා ගත්තා.  

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි නෙදර්ලන්ත ක්‍රීඩකයෝ ද ශ්‍රී ලංකාවට නොදෙවෙනි ලෙසින් තම ඉනිම පවත්වාගෙන ගියා. ඔවුන් පළමු Power Play අවස්ථාව අවසන් කරන විට කඩුලු 2ක් දැවී ලකුණු 47ක් ලබා ගනිමින් ස්ථාවර තත්ත්වයක සිටියා.  

නමුත් ඊළඟ පන්දුවාර 4 දී නෙදර්ලන්ත ඉනිමේ කඩුලු 4ක් ලකුණු 24ක් පමණක් ලබා දෙමින් දවා ගනිමින් තරගය සියතට ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූවා. නෙදර්ලන්ත ඉනිමේ පන්දු වාර 10ක් අවසන් වෙද්දී ලකුණු පුවරුව දැක් වුණේ කඩුලු 6ක් දැවී ලකුණු 71ක් ලෙසයි.  

එතැන් සිට නෙදර්ලන්තයේ ජයග්‍රහණය වෙනුවෙන් පන්දු 60ක දී ලකුණු 131ක් අවශ්‍ය වූවා. එහෙත් එම ඉනිම, ඊට පසුව යැවුණ 7 වැනි පන්දු වාරයේ දී අවසන් කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූවා. ඒ අනුව ඔවුන්ගේ ඉනිම ලකුණු 118ක දී නිමා වෙන්නේ තවත් පන්දු 20ක් ද ඉතිරි වෙමිනුයි.  

නෙදර්ලන්ත ඉනිම පාලනය කිරීමේ දී වැඩි කාර්යභාරයක් කළේ නුවන් තුෂාර යි. ඔහු ලකුණු 24කට කඩුලු 3ක් දවා ගනිමින් තරගයේ හොඳම පන්දු යවන්නා බවට පත් වුනා. ඊට අමතර ව මතීෂ පතිරණ සහ වනිඳු හසරංග කඩුලු 2ක් බැගින් ද සහ දසුන් ශානක සහ මහීෂ් තීක්ෂණ කඩුල්ලක් බැගින් ද දවා ගත්තා.  

නෙදර්ලන්ත පිතිකරුවන් අතුරින් Michael Levitt සහ නායක Scott Edwards ලකුණු 31ක් බැගින් ලබා ගනිමින් දක්ෂතා දැක් වූවා.  

තරගයේ කෙටි ලකුණු පුවරුව.., 

ශ්‍රී ලංකාව –  කඩුලු 6ක් දැවී 201 (20.0) කුසල් මෙන්ඩිස් 46, ධනංජය ද සිල්වා 34, චරිත් අසලංක 46, ඇන්ජලෝ මැතිව්ස් නොදැවී 30, වනිඳු හසරංග නොදැවී 20, Logan van Beek 2/45

 

නෙදර්ලන්තය – සියලුම දෙනා දැවී 118 (16.4) Michael Levitt 31, Scott Edwards 31, නුවන් තුෂාර 3/24, වනිඳු හසරංග 2/25, මතීෂ පතිරණ 2/12 

 

ශ්‍රී ලංකාවට ලකුණු 83ක ජයක්.  

තරගයේ වීරයා – චරිත් අසලංක  

ICC Men’s T20 World Cup ක්‍රිකට් තරගාවලියේ උණුසුම් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<