ජාතික ශූරයා නෙවිඳු; ශූරිය චනිත්මා

34 වැනි රිට්ස්බරි කනිෂ්ඨ ජාතික ස්කොෂ් ශූරතාවලිය 2023

154

ශ්‍රී ලංකාවේ අංක එකේ චොකලට් සන්නාමය වන රිට්ස්බරි විසින් බලගන්වන ලද, 34 වැනි රිට්ස්බරි කනිෂ්ඨ ජාතික ස්කොෂ් ශූරතාවලිය පසුගිය දා සාර්ථකව නිමාවට පත්විය.

එම ශූරතාවලිය රත්මලාන ගුවන් හමුදා ස්කොෂ් ක්‍රීඩා සංකීර්ණයේ දී පැවැත්විණි. ජාතික මට්ටමින් ස්කොෂ් ක්‍රීඩාව නගාසිටුවීමටත්, එම ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීමටත් කැප වී සිටින රිට්ස්බරි, අඛණ්ඩව 15 වැනි වරටත් මෙම කීර්තිමත් ශූරතාවලිය සඳහා විශ්වසනීය අනුග්‍රාහකත්වය ලබා දුන්නේය.

සැප්තැම්බර් 9 වැනිදා ආරම්භ වූ මෙවර ශූරතාවලිය සඳහා ක්‍රීඩක-ක්‍රීඩිකාවන් 450කට අධික පිරිසක් සහභාගී වූ අතර, එය පසුගිය වසරේ සහභාගීත්වය සමග සැසඳීමේ දී 40%ක දැවැන්ත වර්ධනයකි. වයස අවුරුදු 09න්, 11න්, 13න්, 15න්, 17න් සහ 19න් පහළ ලෙස වයස් කාණ්ඩ 6ක් යටතේ ක්‍රීඩක-ක්‍රීඩිකාවෝ මෙවර ශූරතාවලියේ දී සිය දස්කම් විදහා දක්වන ලදි.

කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලයේ නෙවිඳු ලක්මන් කනිෂ්ඨ බාලක කාණ්ඩයේ ජාතික ශූරතාවලිය හිමි කර ගත් අතර, කොළඹ රාජකීය විද්‍යාලයේ සෙහත් පෙරේරා සහ මතීෂ විජේසේකර පිළිවෙළින් දෙවැනි සහ තෙවැනි ස්ථාන හිමිකර ගත්හ.

කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ චනිත්මා සිනාලේ කනිෂ්ඨ බාලිකා ජාතික ශූරිය බවට පත්වූ අතර, එම විද්‍යාලයේ ම තේමිණී පල්ලියගුරු දෙවැනි ස්ථානය හිමිකර ගත්තාය.

“රිට්ස්බරි කනිෂ්ඨ ජාතික ස්කොෂ් ශූරතාවලිය, වසරේ ප්‍රමුඛතම ස්කොෂ් තරගාවලියක් වන අතර එය, දිවයින පුරා විසිරී සිටින නැගීඑන ක්‍රීඩකයින් පෝෂණය කරන වේදිකාවක්. රිට්ස්බරි සමාගම ක්‍රීඩාවේ උන්නතිය සඳහා දක්වන අඛණ්ඩ කැපවීම, ස්කොෂ් තරග සඳහා සහභාගීත්වය වර්ධනය කිරීමටත්, අනාගත ස්කොෂ් ශූරයින් බිහි කිරීමටත් සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරනවා,” යනුවෙන් ශ්‍රී ලංකා ස්කොෂ් සම්මේලනයේ (SLSF) සභාපති ධම්මික විජේසුන්දර මහතා සඳහන් කළේය.

CBL Foods International ආයතනයේ සාමන්‍යාධිකාරී-අලෙවි, නිළුපුල් ද සිල්වා මහතා ද සිය අදහස් පළ කළේය. “රිට්ස්බරි, දශකයකට අධික කාලයක පටන් මෙරට ස්කොෂ් ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් අඛණ්ඩව සහයෝගය ලබා දී තිබෙනවා. ස්කොෂ් ක්‍රීඩාව සඳහා ඇති උනන්දුව මෙන්ම ක්‍රීඩක-ක්‍රීඩිකාවන්ගේ කුසලතාවල සිදු වී ඇති වර්ධනය පිළිබඳ අප බෙහෙවින් සතුටු වනවා.”

වමේ සිට දකුණට: එරංග අල්විස් – ශ්‍රී ලංකා ස්කොෂ් සම්මේලනයේ ලේකම්, අරුණ ලියනපතිරණ – රිට්ස්බරි කාණ්ඩ කළමනාකාර, ධම්මික විජේසුන්දර – ශ්‍රී ලංකා ස්කොෂ් සම්මේලනයේ සභාපති, චනිත්මා සිනාලේ – කනිෂ්ඨ කාන්තා ජාතික ශූරිය, එරන්ද ගීගනගේ – ශ්‍රී ලංකා ස්කොෂ් සම්මේලනයේ උප සභාපති

වමේ සිට දකුණට: එරංග අල්විස් – ශ්‍රී ලංකා ස්කොෂ් සම්මේලනයේ ලේකම්, අරුණ ලියනපතිරණ – රිට්ස්බරි කාණ්ඩ කළමනාකාර, ධම්මික විජේසුන්දර – ශ්‍රී ලංකා ස්කොෂ් සම්මේලනයේ සභාපති, නෙවිඳු ලක්මන් – කනිෂ්ඨ පිරිමි ජාතික ශූරයා, එරන්ද ගීගනගේ – ශ්‍රී ලංකා ස්කොෂ් සම්මේලනයේ උප සභාපති

මාධ්‍ය නිවේදනයකි.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<