දැවැන්තයෙක් සමඟ ශ්‍රී ලංකාවට තවත් පිම්මක්

විස්සයි විස්ස ලෝක කුසලානය 2022

4230

2022 ICC විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන මීළඟ තරගය මේ මස 29 වැනිදා (හෙට) Sydney ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී මෙරට වේලාවෙන් සවස 1.30ට ආරම්භ වීමට නියමිතයි.

ඔවුන්ගේ ප්‍රතිවාදීන් වන්නේ මේ වන විට පළමු කාණ්ඩයේ ප්‍රසාද ලකුණු පුවරුවේ පළමුවැනියා වී සිටින නවසිලන්තයයි.

නවසීලන්තය වෙනුවෙන් වැඩිම විස්සයි විස්ස තරග ප්‍රමාණයකට නායකත්වය දුන් නායකයා ලෙස ඉතිහාසයට එක් ව සිටින Kane Williamson සමඟ දසුන් ශානක හෙට තරගයට පිවිසෙන්නේ සුවහසක් ශ්‍රී ලාංකීය ක්‍රිකට් ප්‍රේමීන්ගේ බලාපොරොත්තු නැවුම් මාවතකට අවතීර්ණ කරමින්. එහි දී ඔවුන්ගේ බලාපොරොත්තුව ශ්‍රී ලංකාවේ ජයග්‍රහණය ම පමණක් වන අතර ප්‍රසාද ලකුණු පුවරුවේ ඉහළ ස්ථානයක් අත්පත් කර ගැනීමයි.

මේ ගමන ආරම්භ කිරීමට පෙර දෙරට මීට පෙර අවස්ථා 19ක දී එකිනෙකා හමුවී ඇති අතර ඉන් අවස්ථා 10ක දී ප්‍රතිවාදීන් ජයග්‍රහණය කරනවා. ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරන්නේ තරග 7ක් පමණයි. තරගයක් විසඳුමකින් තොරව අවසන් වෙද්දී තවත් තරගයක් ලකුණු සම වීමෙන් අවසන් ව තිබෙනවා.

Williamson මේ දක්වා නවසීලන්තය වෙනුවෙන් තරග 64ක දී නායකත්වයේ හිස් වැස්ම පලඳා තිබෙන අතර ඉන් තරග 33ක් ජය ගැනීමට සමත් වෙනවා. පරාජිත තරග ප්‍රමාණය 29ක්. ඊට අමතර ව නොවිසදුන තරගයක් සහ ලකුණු සම වීමෙන් නිමා වූ තරගයක් ද ඒ අතර වෙනවා.

දසුන් ශානක ශ්‍රී ලංකා නායකත්වයේ කබාය පැලඳ මේ පිටියට පිටියට පිවිසෙන්නේ තම 40 වැනි තරගයේ කාසියේ වාසිය උරගා බැලීමටයි. නිමා කළ තරග 39න් තරග 20ක් ජය, පරාජ 18ක් සහ ලකුණු සම වීමෙන් 1ක් ලෙසයි සටහන් වෙන්නේ.

  • නවසීලන්ත සංචිතය: Kane Williamson (නායක),Devon Conway, Glenn Phillips, James Neesham, Mark Chapman, Mitchell Santner, Ish Sodhi, Tim Southee, Lockie Ferguson, Trent Boult, Finn Allen, Michael Bracewell, Martin Guptill, Adam Milne, Daryl Mitchell
  • ශ්‍රී ලංකා සංචිතය: දසුන් ශානක (නායක) පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, චරිත් අසලංක, භානුක රාජපක්ෂ, වනිඳු හසරංග, චාමික කරුණාරත්න, මහීෂ් තීක්ෂණ, ප්‍රමෝද් මධුශාන්, අශේන් බණ්ඩාර, බිනුර ප්‍රනාන්දු, ලහිරු කුමාර, කසුන් රාජිත, ජෙෆ්රි වැන්ඩර්සේ

නවසීලන්තය

2021 වසරේ විස්සයි විස්ස ලෝක කුසලානයේ අනුශූරයන් වූ නවසීලන්තය එතෙක් මෙතෙක් විස්සයි විස්ස ලෝක කුසලාන තරගවල දිනා ඇත්තේ එම කුසලානය පමණයි. නමුත් මෙවර ලෝක කුසලානයට සහභාගී වන කණ්ඩායම් අතුරින් අවසන් කණ්ඩායම් 4ට පිවිසෙතැයි අනුමාන කරන කණ්ඩායම් අතරට එක් වීමට ඔවුන්ට හැකි වී තිබෙනවා.

ලෝකයේ විස්සයි විස්ස තරගවල වැඩිම කඩුලුලාභී පන්දු යවන්නා සමඟින් පිටියට පිවිසෙන නවසීලන්ත කණ්ඩායම පිතිකරුවන් රැසකගෙන් ද සමන්විතයි. ඊටත් වඩා සත්කාරක ඕස්ට්‍රේලියානුවන්ට සිතා ගත නොහැකි පරාජයකට ලක් කළ ඔවුන් ශ්‍රී ලංකාවට එරෙහි ව තරගයට පිවිසෙන්නේ ඒ ගැම්මත් සමඟින්.

නායක Kane Williamson එරට විස්සයි විස්ස තරගවල වැඩිම ලකුණු ලැබූ පිතිකරුවන් අතර දෙවැනි ස්ථානයට පත් ව සිටිමිනුයි මේ තරගයට පිවිසෙන්නේ. ඔහු තරග 82කට සහභාගී වෙමින් ලකුණු 2248ක් ලබා ගන්නේ අර්ධ ශතක 15ක් සමඟින්.

ඔහුත් සමඟින් එම ලැයිස්තුවේ පළමුවැනියා වූ 36 හැවිරිදි දකුණත් පිතිකරු Martin Guptill ද ශ්‍රී ලංකාවට එරෙහිව පිතිකරු පවුරු බැඳීමට නවසීලන්ත කණ්ඩායම හා එක් ව සිටිනවා.

එරට වෙනුවෙන් වැඩිම තරග ප්‍රමාණයකට ක්‍රීඩා කළ ක්‍රීඩකයා මෙන් ම වැඩිම ලකුණු ලැබූ පිතිකරු බවට ද ඔහු තම ආධිපත්‍ය කණ්ඩායම තුළ තබාගෙන තිබෙනවා. ඔහුගේ දක්ෂතාව ලෙස දැක්වෙන්නේ තරග 122ක දී ලකුණු 3531ක්. ඊට ඕස්ට්‍රේලියාවට සහ දකුණු අප්‍රිකාවට එරෙහිව එල්ල කරන ලද ශතක 2ක් ඇතුළත් අතර අර්ධ ශතක 20ක් ද ඒ තුළ තිබෙනවා.

ඊට අමතර ව වමතින් පන්දුවට පහර දෙන Devon Conway ද කණ්ඩායම එක් වෙන්නේ විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 29කට සහභාගී වෙමින් ඉනිම් 26කට ලකුණු 1033ක් ලබා ගෙන ගනිමින්.

මෑත කාලීන නවසීලන්ත තරග ඉතිහාසයේ ලෝක කුසලානය ඉලක්ක කර ගනිමින් පැවති නවසීලන්තය, පාකිස්තානය සහ බංග්ලාදේශය සමඟ වූ තුන්කොන් තරගාවලියේ දී ඔහු ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 77.66ක් ලෙස එක්කර ගැනීමට සමත් වෙනවා. ඒ තරග 5ක ඉනිම් 5ක දී අර්ධ ශතක 2ක් සමඟින් ලකුණු 233ක් ලබා ගනිමින්. එමෙන් ම මෙවර ලෝක කුසලානයේ තම පළමු තරගයේ දී ම නොදැවී ලකුණු 92ක් ලබා ගනිමින් කාගේත් අවධානය දිනා ගත්තා.

නවසීලන්ත කණ්ඩායමේ වැඩිම කඩුලු ලාභියා වන්නේ 33 වියැති දකුණතින් වේගපන්දු යවන Tim Southee. වසර 14ක් තිස්සේ විස්සයි විස්ස ජාත්‍යන්තර පිටියේ රැඳී සිටින Southee මේ දක්වා ලබා ඇති කඩුලු සංඛ්‍යාව 125ක්. එය ලෝක විස්සයි විස්ස පිටියේ වැඩිම කඩුලු ලාභීන්ගේ ලැයිස්තුවේ හිමි පළමු ස්ථානයයි.

ඔහු පිටුපස ම රැඳී සිටින වමතින් වේගපන්දු යවන Trent Boult ද ශ්‍රී ලාංකීය පිතිකරුවන්ට මුහුණ දීමට සිදු වන අසීරු ප්‍රතිවාදියෙක්.

ශ්‍රී ලංකාවට එරෙහිව ක්‍රීඩා කරතැයි අනුමාන කෙරෙන නවසීලන්ත කණ්ඩායම: Devon Conway (කඩුලු රකින්නා), Kane Williamson (නායක), Glenn Phillips, James Neesham, Mark Chapman, Mitchell Santner, Ish Sodhi, Tim Southee, Lockie Ferguson, Trent Boult

ශ්‍රී ලංකාව

ශ්‍රී ලංකාවට මෙම තරගයට මුහුණ දෙන්නට සිදු වෙන්නේ තීරණාත්මක අඩවියක සිටයි. ඒ ඔවුන් මේ දක්වා මුහුණ දුන් තරග 2ක නිමා කර තිබෙන්නේ 1:1ක් ලෙසින් නිසයි. එම ප්‍රතිඵලත් සමඟින් ශ්‍රී ලංකාවට ප්‍රසාද ලකුණු පුවරුවේ හිමි ව ඇති ස්ථානය 2. එබැවින් ප්‍රසාද ලකුණු පුවරුවේ ස්ථාවර තැනක් හිමිකර ගැනීමට මෙම තරගය ජයග්‍රහණය කළ යුතු අතර එසේ වන්නේ නම් එය වඩාත් වාසි සහගත වෙනවා.

කෙසේ වෙතත් ඔවුන්ට මේ ගමන යෑමට සිදුව තිබෙන්නේ අනපේක්ෂිත අවධානයක් ද සමඟින්. ඒ නවසීලන්තය යනු ලෙහෙසියෙන් අවතක්සේරු කළ නොහැකි කණ්ඩායමක් වන නිසා සහ ඔවුන් මේ දක්වා මෙම තරගාවලියේ එක් තරගයක් තුළ පෑ දක්ෂතා නිසා.

කෙසේ වෙතත් මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම වැටී ඇති තත්ත්වය ද එතරම් හිතකර නැහැ. ඒ දිනෙන් දින ඉහළ යන ඔවුන්ගේ ආබාධිත ලැයිස්තුවේ ඉහළ යෑම්  සැලකීමේ දීයි.

ආසන්න ම තරගයේ දී ආබාධිත බවට පත් වූ බිනුර ප්‍රනාන්දු සමඟ එම ලැයිස්තුව සිව්දෙනෙක් දක්වා දීර්ඝ වූවා. ඊට පෙර ආබාධිත බවට පත් වූයේ ඩිල්ෂාන් මධුශංක, දුෂ්මන්ත චමීර සහ ධනුෂ්ක ගුණතිලකයි.

මේ ඉහළ යන ආබාධිත පිරිස හේතුවෙන් ම නිරෝෂන් දික්වැල්ල, අසිත ප්‍රනාන්දු සහ මතීෂ පතිරණ මේ වන විට ඕස්ට්‍රේලියාව වෙත කැඳවා තිබෙනවා. ඒ අතරින් බිනුර ප්‍රනාන්දු වෙනුවට අසිත ප්‍රනාන්දු කණ්ඩායමට එක් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනයේ අනුමැතිය හිමි වී තිබෙනවා.

අභියෝගාත්මක මේ තරගයේ දී තව දුරටත් පිතිකරු අංශයෙන් බලාපොරොත්තු තබා ගත හැක්කේ පැතුම් නිස්සංක සහ කුසල් මෙන්ඩිස් වෙතයි. ඔවුන් දෙදෙනා එක් ව පළමු කඩුල්ල වෙනුවෙන් දීර්ඝ ලකුණු සංඛ්‍යාවක් කරා යා හැකි වේ නම් ශ්‍රී ලංකාවට වඩාත් වාසි සහගත ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමේ හැකියාව පවතිනවා.

චරිත් අසලංක, ධනංජය  ද සිල්වා සහ භානුක රාජපක්ෂ ද ඊට එක් වේ නම් එය වඩාත් ශක්තිමත් වනු නියතයි. මේ අතුරින් තවමත් හිතේ හැටියට ඉනිමක් ක්‍රීඩා කිරීමට නොහැකි වූ භානුක, මේ තරගයේ දී හෝ අළු ගසා නැගිටින්නේ නම් එය ශ්‍රී ලංකාවේ ලෝක කුසලාන ගමනට ගැම්මක් වනු නියතයි.

කෙසේ වෙතත් ඔවුන් පසුපසින් සිටින නායක දසුන් ශානක, වනිඳු හසරංග සේ ම චාමික කරුණාරත්න ද තම කණ්ඩායම දැනට සිටින තත්ත්වයෙන් ඉහළට ගැනීමට නම් පිතිකරුවෙක් ලෙසින් සේ ම පන්දු යවන්නෙක් ලෙසින් ද තම තමන්ගේ දක්ෂතා කරළියේ පෑ යුතුයි.

ඊට මහීෂ් තීක්ෂණ සේ ම කණ්ඩායමට කැඳවෙන අනෙකුත් පන්දු යවන්නන් ද වටහා ගත යුතුයි. පෙර තරගයේ අමිහිරි මතකයන් සම්පූර්ණයෙන් ඉවත් කර නැවුම් තරගාවලියකට ප්‍රවිශ්ට වෙන සේ තරගයට අවතීර්ණ වීම කාගෙ කාගෙත් යුතුකමක් බැව් මතක තබා ගතයුතුව තිබේ. ඒ ජයග්‍රහණය ඇත්තේ එතැන බැවිනි.

නවසීලන්තයට එරෙහිව සහභාගී වෙතැයි අනුමාන කරන ශ්‍රී ලංකා කණ්ඩායම: පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස් (කඩුලු රකින්නා), ධනංජය ද සිල්වා, චරිත් අසලංක, භානුක රාජපක්ෂ, දසුන් ශානක (නායක) වනිඳු හසරංග, චාමික කරුණාරත්න, ලහිරු කුමාර, මහීෂ් තීක්ෂණ, අසිත ප්‍රනාන්දු/ ප්‍රමොද් මධුශාන්

Sydney ක්‍රිකට් ක්‍රීඩාංගණය

වසර 174ක ඉතිහාසයකට උරුමකම් කියන Sydney ක්‍රීඩාංගණයේ මෙතෙක් විස්සයි විස්ස ජාත්‍යන්තර තරග පවත්වා ඇත්තේ 12ක් පමණයි. ශ්‍රී ලංකාව එම තරග අතරින් 2කට මුහුණ දෙන අතර 1ක් පරාජය වෙද්දී අනෙක් තරගය ලකුණු සම වීමෙන් අවසන් කරනවා.

නවසීලන්තය තරග 3කට මුහුණ දී ඉන් ජයග්‍රහණය ලබන්නේ අවසන් වරට තරග වැදුණ තරගයේ දී පමණයි. එය මෙවර ලෝක කුසලානයේ නවසීලන්තය මුහුණ දුන් පළමු තරගයයි.

තරගයේ කාසියේ වාසිය කුමන පැත්තකට දෝලනය වුව ද මේ දිනවල එරට පවතින වැහි සහිත කාලගුණ තත්ත්වය කෙරෙහි සැලකිලිමත් වීමට ද දෙපිලේ නායකයන්ට සිදු වෙනු නියතයි.

විස්සයි විස්ස ලෝක කුසලානයේ තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<