ප්‍රබල පාසල් තුනකට නව රග්බි නායකයින්

902

එළඹෙන 2019 සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලිය සඳහා එක්වන ප්‍රබල පාසල් ත්‍රිත්වයක නායකත්වයේ සුක්කානම නව මුහුණු කිහිපයකට භාර දී තිබේ.

රෙෂාන් බණ්ඩාරනායක මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ නායකයා ලෙස නම් කර ඇති අතර ප්‍රබල නොම්මර 8 ක්‍රීඩක තරිඳු ද අල්විස් මරදාන සාන්ත තෝමස් විද්‍යාලයේ නව නායකයා ලෙස ද නම් කර ඇත. තවද ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයේ සුක්කානම හරිත් සේනානායක හට භාර වී තිබේ.

වේගවත් රෙෂාන්ට ත්‍රිත්ව විද්‍යාලයේ වගකීම හිමිවේ

ෆුල් බැක් හා වින්ග් ස්ථානවල ක්‍රීඩා කරන වේගවත් ධාවකයෙක් වන රෙෂාන් බණ්ඩාරනායක කණ්ඩායම ත්‍රිත්ව විද්‍යාලයීය රග්බි කණ්ඩායම නියෝජනය කරන්නේ අඛණ්ඩව තෙවැනි වසරටයි. 2017 වසරේ දී ත්‍රිත්ව වර්ණවලින් පළමු පෙළ පිටියට පිවිසුණු ඔහුට එතැන් පටන් වසර තුනක් පුරා ත්‍රිත්ව කණ්ඩායමේ ස්ථිර ස්ථානයක් හිමි වුනා.

මහනුවර ප්‍රසිද්ධ පාසල් රග්බි කණ්ඩායමකට නව නායකයෙක්

2018 වසරේ කිංග්ස්වුඩ් ඉදිරිපෙළ සවිමත් කළ ප්‍රබල ක්‍රීඩකයෙකු වූ මිලාන් විරසිංහ 2019 තරග වාරය…

ත්‍රිත්ව විද්‍යාලයීය රග්බි කණ්ඩායම නවසීලන්තයේ දී කළ පුහුණු සංචාරයේ දී ඉහළ දස්කම් දැක්වූ ඔහු නායකත්වය සඳහා ඉහළින්ම නම් වූ ක්‍රීඩකයා බවට පත්වුනා. වසර කිහිපයක බ්‍රැඩ්බි අත්දැකීම්වලින් ද මනා ලෙස පෝෂණය වී ඇති ඔහු නවසීලන්තයේ වෙලින්ග්ටන් රග්බි ඇකඩමිය විසින් පිදෙන “හොඳම සංවර්ධනය වූ ක්‍රීඩකයා” (Best Development Player) යන සම්මානය ද දිනා ගත්තා.

බණ්ඩාරනායකට උපනායකයා ලෙස සහය දීමේ වගකීම හිමි වී ඇත්තේ දිරේන්ද්‍ර රත්වත්ත හටයි. ’Lock forward’ ස්ථානයේ ක්‍රීඩා කරන ඔහු Line out අවස්ථාවල දී මෙන්ම ගුවනට මුසු වූ පන්දු රැක ගැනීමේ දී ද කැපී පෙනෙන දක්ෂතා දැක්වූ අයෙක්. ඔහු ද නවසීලන්තයේ දී “වඩාත්ම උනන්දු වී/ මහන්සි වී ක්‍රීඩා කරන ක්‍රීඩකයා” (Most Hardworking Player) ලෙස සම්මාන දිනා ගත්තා.

මෙවර මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ රග්බි අධ්‍යක්ෂ ලෙස කටයුතු කරන්නේ ප්‍රවීණ පුහුණුකරුවෙකු වන ඉන්ති මරික්කාර්. තවත් ප්‍රවීණ විදෙස් පුහුණුකරුවෙකු වන මැට් ලී කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරනවා.

ත්‍රිත්ව විද්‍යාලයට සිය පළමු තරගය ලෙස පෙරළිකාර සහිරා විද්‍යාලය හමු වනු ඇත. දෙවන හා තෙවැනි සති අන්තවල දී ඔවුන්ට ප්‍රබල සාන්ත ජෝසප් හා ඉසිපතන විද්‍යාල හමුවේ තරග වැදීමට සිදු වනු ඇත.

ප්‍රබල නොම්මර 8 ක්‍රීඩකයා සාන්ත ජෝසප් සුක්කානමට

ප්‍රබල නොම්මර 8 ක්‍රීඩකයෙකු වන තරිඳු ද අල්විස් මරදාන සාන්ත ජෝසප් විද්‍යාලයේ නායකයා ලෙසට පත් කර තිබෙනවා. පස්වැනි වසර සඳහා පළමු පෙළ රග්බි කණ්ඩායම නියෝජනය කර ඔහු පසුගිය වසරේ දී සාන්ත ජෝසප් විද්‍යාලය වෙනුවෙන් ඉහළ දස්කම් දැක්වීමට සමත් වුනා.

හිටපු සාන්ත ජෝසප් නායකයෙකු වන හසරු ගුණවර්ධනගේ සහෝදරයෙකු වන ස්ක්‍රම් හාෆ් ක්‍රීඩක රශේන් ගුණවර්ධන කණ්ඩායමේ උපනායක ලෙස කටයුතු කරනු ඇත.

2018 වසරේ සාන්ත ජෝසප් රග්බි ඉතිහාසයේ සුවිශේෂතම වසර බවට පත්විය. ඒ ඔවුන් ලීග් තරගාවලියේ දෙවන ස්ථානය, පිළිමළුන් පිටුදැකීමේ තරගාවලියේ අනුශූරතාව මෙන්ම සත් සාමාජික රග්බි තරගාවලියේ ශූරතාවය ද දිනා ගත් නිසයි.

රාජකීය බලඇණියේ සුක්කානම නව අතකට

පසුගිය වසරේ සිංගර් පාසල් රග්බි ලීගයේ අපරාජිතව ශූරතාවය හිමිකර ගැනීමට සමත් වූ කොළඹ…

ThePapare.com වෙත අදහස් දක්වමින් නායක තරිඳු ද අල්විස් මෙසේ පවසා සිටියා. “අපි මෙවර තරගාවලියට පුහුණුවීම් ආරම්භ කර තිබෙනවා, අපිට පුහුණුකරුවන්ගෙන් හොඳ සහයක් ලැබෙනවා හා අපි පසුගිය වසරේ දී මෙන්ම ඉහළටම යාමට උත්සහ කරනවා.”

2017 යොවුන් ඔලිම්පික් උළෙලේ දී ශ්‍රී ලංකා වයස අවුරුදු 18න් පහළ සත් සාමාජික රග්බි කණ්ඩායම නියෝජනය කළ තරිඳු 2018 වසරේ දී වයස අවුරුදු 19න් පහළ ආසියානු රග්බි ශූරතාවලියට ද ක්‍රීඩා කළා.

2019 වසරේ සාන්ත ජෝසප් විද්‍යාලයේ පළමු තරගය පැවැත්වෙන්නේ ගල්කිස්ස විද්‍යා විද්‍යාලය සමඟයි. මේ අතරම සාන්ත අන්තෝනි, සහිරා, ත්‍රිත්ව හා ඉසිපතන කණ්ඩායම් ඔවුන්ට එරෙහිව පළමු වටයේ දී සටන් වදින අනෙකුත් කණ්ඩායම් වනු ඇත.

සේනානායක සහෝදරයින්ගෙන් තවත් තෝමස් නායකයෙක්

2019 තරග වාරය සඳහා ප්‍රබල ක්‍රීඩක හරිත් සේනානායක සාන්ත තෝමස් විද්‍යාලයේ නායකයා ලෙස කටයුතු කරනු ඇත. මේ ඔහු තෝමස් වර්ණ දරන සිව්වැනි හා අවසන් වසරයි.

සාන්ත තෝමස් රග්බි නායකයින්ගේ පවුලකින් පැමිණෙන හරිත් සේනානායක සහෝදරයින්ගෙන් ළාබලතමයා. 2014 වසරේ දී ඔහුගේ දෙටු සොයුරු හෂක සේනානායක ශාන්ත තෝමස් විද්‍යාලය මෙහෙයවූ අතර 2015 දී ඔහුගේ අනෙක් සොයුරු හසිත සේනානායක සාන්ත තෝමස් විද්‍යාලය මෙහෙයවූවා. රාජපක්ෂ සහෝදරවරුන් 2008 වසරේ දී මෙම දක්ෂතාවයම දැක්වූ අතර වසර 11කට පසු එවැනිම සිදුවීමක් වීම විශේෂත්වයක්.

‘Second row’ ක්‍රීඩකයෙකු ලෙස ක්‍රීඩා කරන හරිත් කණ්ඩායමේ සිටින අත්දැකීම් බහුලම ක්‍රීඩකයා. 2018 කනිෂ්ඨ ASIAD තරගාවලියේ දී ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම නියෝජනය කළ අදීශ හඳුන්පතිරණ කණ්ඩායමේ සිටින අනෙක් අත්දැකීම බහුලම ක්‍රීඩකයායි. මොවුන් දෙදෙනාම අගනුවර හා මහනුවර ගැටුණු 2018 ThePapare Colombo Blues හා Kandy Reds අතර වාර්ෂික රග්බි තරගයට ක්‍රීඩා කිරීම විශේෂත්වයක්.

සේනානායක ප්‍රතිවාදීන්ගෙන් පන්දුව උදුරා ගැනීමට ඉතා දක්ෂ ක්‍රීඩකයෙකු වන අතර ඔහු Line out අවස්ථා සාර්ථක කර ගැනීමට ඇති දක්ෂයෙක්.

කෙසේ වෙතත් නවක ක්‍රීඩකයින් රැසක් සමඟින් තරගාවලියට පිවිසෙන හරිත් සේනානායක හට පීඩනය මධ්‍යයේ වගකීම් රැසක් හිමි වනු ඇත. පසුගිය වසරේ දී ක්‍රීඩකයින් රැසක් කණ්ඩායමෙන් ඉවත් වූ අතර පසුගිය වසරේ පලඟ කුසලානයෙන් මිදී ඉහළට පැමිණීම ඔවුන්ගේ පළමු අභියෝගය වනු ඇත.

හිටපු සහිරා පුහුණුකරු ශම්ලි නවාස් මහතා කණ්ඩායමේ පුහුණුකරු ලෙසට කටයුතු කරන අතර තවත් ප්‍රබල පුහුණුකරුවෙකු වන ඩිලන් සොයිසා මහතා ඔහුට සහය වනු ඇත.

නව නායකයාගේ සහයට පසුගිය වසරේ දී ඉතා හොඳින් ක්‍රීඩා කළ ලෂන්ද්‍ර ද සිල්වා, රිවංක අබේවර්ධන වැනි ක්‍රීඩකයින් සිටින අතර පසුගිය වසරට වඩා ඉහළ දස්කම් පෙන්වීම සාන්ත තෝමස් ක්‍රීඩකයින්ගේ ප්‍රධානතම අරමුණක් වනු ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<