Home Sinhala ස්ටොයිනිස්ගේ වාර්තාගත ප්‍රහාරය හමුවේ ශ්‍රී ලංකාවට කඩුලු 7ක පරාජයක්

ස්ටොයිනිස්ගේ වාර්තාගත ප්‍රහාරය හමුවේ ශ්‍රී ලංකාවට කඩුලු 7ක පරාජයක්

330
theguardian.com

2022 ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ පර්ත් නුවර දී අද (25) පැවති ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා තරගය නිමාවට පත්වූයේ ශ්‍රී ලංකාවට කඩුලු 7ක අමිහිරි පරාජයක් උරුම කර දෙමින්.

මෙම තරගය අතරතුරේ දී ඕස්ට්‍රේලියානු පිළ වෙනුවෙන් එදාමෙදාතුර වාර්තා වූ වේගවත්ම විස්සයි විස්ස අර්ධ ශතකයේ වාර්තාව තමන් සතුකර ගැනීමට මාර්කස් ස්ටොයිනිස් සමත් වුනා.

අද කාසියේ වාසිය ගැන ඇස ගසාගෙන සිටි ඒරෝන් ෆින්ච් එය තමන්ට වාසි ගෙන දෙමින් පෙරළී ගිය වහාම පන්දු යැවීම ඉල්ලා සිටියා. ඒ වේගය සහ ඉපිලීම සහිත පර්ත් තණතිල්ලේ හැකි තරම් වේලාසනින් ශ්‍රී ලංකා පිතිකරුවන් දඩයම් කිරීමේ අරමුණ ඇතිවයි.

ෆින්ච් සිතූ පරිදිම තණතිල්ලේ හොඳ ඉපිලීමක් දකින්නට ලැබුණු නිසා මේ දිනවල හොඳ රිද්මයක සිටින කුසල් – නිස්සංක යුගලයට පවා රිසි සේ ලකුණු රැස් කිරීමට හැකි වුනේ නැහැ.

ඕස්ට්‍රේලියා පිළ ද තර්ඩ් මෑන් සහ ඩීප් ෆයින් ලෙග් කලාප සම්පූර්ණයෙන්ම වසා දමමින් ඉතා ආක්‍රමණශීලී පන්දු පිටියක් සකසා තිබුණේ හැකි නම් පන්දු රකින්නන් මගහැර ඉදිරියෙන් ලකුණු ලබා ගන්නා ලෙස ශ්‍රී ලංකා පිතිකරුවන්ට අභියෝග කරමින්.

ඕස්ට්‍රේලියානුවන් අටවා තිබූ උගුලේ මුලින්ම කුසල් මෙන්ඩිස් හසු වූ අතර ඒ වන විට ඔහු ලබා සිටියේ ලකුණු 5ක් පමණයි. සිතුවාට වඩා ඉහළ නැගුණු පන්දුවට කුසල් එල්ල කළ පුල් පහර එක තැනම ඉහළ නැගුණේ මිචෙල් මාශ්ට පන්දුව රැක ගැනීමට ඕනෑ තරම් කල් ලබා දෙමින්. කඩුල්ල පැට් කමින්ස්ට හිමිවුනා.

Power Play පන්දුවාර 6ම තම අධිවේග තුරුම්පු 3න්ම සම්පූර්ණ කිරීමට ෆින්ච් කටයුතු කළ නිසා ශ්‍රී ලංකාවට ලබා ගැනීමට හැකි වුනේ ලකුණු 36ක් පමණයි. කෙසේ නමුත් පන්දු රකින්නන් ඈතට ගෙන යෑමත් සමඟ ශ්‍රී ලංකා පිළ හිඩැස් අතරින් ලකුණු සොයා ගැනීමට සමත් වූ නිසා ලකුණු වේගය ක්‍රමයෙන් ඉහළ නැගුණා.

මේ අතර තැනේ හැටියට ඇණේ ගසමින් හොඳ ඉනිමක් ගොඩ නගමින් සිටි ධනංජය ද සිල්වා දැවී යන්නේ ඩේවිඩ් වෝනර් හතරේ සීමාව අසල දී රැකගත් සුපිරි උඩපන්දුවක් නිසයි. වෝනර් අද හතරේ සීමාව අසල ක්‍රියාශීලී වෙමින් ප්‍රතිවාදීන්ට ලැබීමට තිබූ ලකුණු 10කට ආසන්න ගණනක් නවතා දැමීමට සමත් වුනා.

පැතුම් නිස්සංක අද පර්ත් තණතිල්ලේ තම රිද්මය සොයා ගැනීමට වැඩි නිලකුණු පන්දු ගණනක් වැය කළ අතර ලකුණු වේගය වැඩි කිරීමට උත්සාහ කරද්දීම දැවී ගියා. ඒ නොතිබූ ලකුණක් කරා දුව යාමට ගත් අසාර්ථක උත්සාහයක් හමුවේයි. පන්දු 45කට මුහුණ දුන් පැතුම් ලකුණු 40ක් ලබා ගත්තේ හතරේ පහර 2ක් සමඟයි.

කෙසේ නමුත් ඕස්ට්‍රේලියානු පිළෙන් මුලින් එල්ල වූ පීඩනය දුරු කරමින් සවිමත් අඩිතාලමක් දමන්නට මෙම ඉනිම වැදගත් වෙද්දී ශ්‍රී ලංකා පිළේ සැලසුම් අඩපණ වන්නේ මැදපෙළ ප්‍රහාරකයින් දෙදෙනාම ආ පයින්ම ක්‍රීඩාගාරයට හැරී යාම නිසයි.

එහි දී ලෝක කුසලානයේ මේ දක්වා තම රිද්මය සොයා ගැනීමට අපොහොසත් වී සිටින භානුක ලකුණු 7කට දැවී යද්දී ශානක මැක්ස්වෙල් ක්‍රියාත්මක කළ එකම පන්දුවාරයට තම කඩුල්ල බිලි දුන්නා.

යම් හෙයකින් ශානක එම පන්දුවාරය ප්‍රවේසම් වූවා නම් ඉදිරියෙන් හතරේ සීමාව දිගින් අඩු පර්ත් පිටියේ වේගපන්දු යවන්නන්ට හොඳ අභියෝගයක් එල්ල කිරීමට ඔහුට අවස්ථාව තිබුණා. මේ අනුව ශ්‍රී ලංකාවට ලකුණු 175ක් වැනි ඉහළ ලකුණකට යාමේ ස්වර්ණමය අවස්ථාව මග හැරුණු අතර ඕස්ට්‍රේලියානු පිළ නැවතත් තරගයට අවතීර්ණ වුනා.

අද දිනයේ ශ්‍රී ලංකාව වෙනුවෙන් හොඳම ඉනිම ක්‍රීඩා කළ චරිත් අසලංක ලකුණු 38ක් වෙනුවෙන් වැය කළේ පන්දු 25ක් පමණයි. චරිත්ගේ ඉනිම හතරේ පහර 3කින් සහ හයේ පහර 2කින් හැඩවුනා.

ලකුණු 150කට අඩුවෙන් අවසන් වන්නට තිබූ ශ්‍රී ලංකා ඉනිම 157ක් දක්වා ඉහළ නගින්නේත් චරිත්ගේ සහ චාමිකගේ උත්සාහය නිසාමයි.

පැට් කම්න්ස් ක්‍රියාත්මක කළ අවසන් පන්දුවාරයේ දී ලකුණු 20ක් උදුරා ගන්නට ඔවුන් දෙදෙනා සමත් වන්නේ තම පන්දු යවන්නන්ට සටන් කිරීමට යමක් ඉතිරි කර තබමින්.

ලකුණු 158ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ඕස්ට්‍රේලියානුවන්ට අමතර වාසියක් එක් කරමින් පන්දු යැවීම ඇරඹූ බිනුර ප්‍රනාන්දු පළමු පන්දුවාරය සම්පූර්ණ කිරීමටත් පෙර ආබාධයකට ලක්වුනේ ශ්‍රී ලංකා පිළේ ආබාධ ලැයිස්තුව තවත් දීර්ඝ කරමින්.

ප්‍රහාරයට වඩා හොඳ අඩිතාලමක් දමා දීමට උත්සාහ කළ ඕස්ට්‍රේලියා ඉනිමේ මුල්ම කඩුල්ල ලෙස වෝනර් දැවී යන්නේ මහීෂ් දිනයේ යොමු කල පළමු පන්දුවටයි. ඒ වෙනුවෙන් නායක දසුන් ශානක පහතින් පැමිණි පන්දුව ඉතා අනර්ඝ ලෙස රැක ගත්තා.

කෙසේ වෙතත් මිචෙල් මාෂ් ලකුණු 2 දී ලබා දුන් උඩපන්දුව ශ්‍රී ලංකා නායකයා අතින් ගිලිහී යන්නේ මාෂ්ට ලකුණු 17ක් දක්වා යාමට අවස්ථාව සලසා දෙමින්. ශ්‍රී ලංකාවට එරෙහිව කවදත් ප්‍රහාරයට කැමති මැක්ස්වෙල් අදත් ඒ වෙනුවෙන් උත්සාහ කළ ද ඔහුගේ ඉනිම අතරමග නතර වන්නේ අශේන් බණ්ඩාර හතරේ සීමාව අසල තම සමබරතාවය ද රැක ගනිමින් රැකගත් විශ්මිත උඩපන්දුවක් හමුවේයි. එය නිසැකයෙන්ම මේ දක්වා තරගාවලියේ වාර්තා වූ හොඳම උඩපන්දු ත්‍රිත්වය අතර තැබිය හැකියි.

කෙසේ වෙතත් මැක්ස්වෙල් අහිමි වීමෙන් ඇතිවූ හිඩැස උවමනාවටත් වඩා හොඳින් පිරවීමට මාර්කස් ස්ටොයිනිස් සමත් වන්නේ පන්දු 18කින් නොදැවී ලකුණු 59ක් වාර්තා කරමින්. මේ දක්වා තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා ලෙස වැජඹුනු වනිඳු හසරංග අද ස්ටොයිනිස් හමුවේ දැඩි ප්‍රහාරයකට ලක්වන්නේ තමන් ක්‍රියාත්මක කළ පන්දුවාර 3ට ලකුණු 53ක් ලබා දෙමින්.

එහි දී ඔහු යැවූ කෙටි පන්දු හමුවේ ඕස්ට්‍රේලියානුවන් රිසිසේ හයේ පහර එල්ල කළේ ඔවුන් වෙත එල්ල වී තිබූ පීඩනය සම්පූර්ණයෙන්ම පලවා හරිමින්. අද කඩුල්ලකට හිමිකම් කීමට වාසනාවන්ත නොවූව ද ලහිරු කුමාර දක්ෂ ලෙස පන්දු යවමින් ඕස්ට්‍රේලියානුවන්ට හොඳ තර්ජනයක් එල්ල කළා.

ශ්‍රී ලංකාවට ආරම්භයේ දීම බිනුර ප්‍රනාන්දුගේ සේවය අහිමි වීම ද ඒ නිසා දසුන් ශානකට මුල් කඩුලු බිඳ වැටුණු මොහොතේ තම හොඳම තුරුම්පු සඟවා අර්ධ පන්දු යවන්නන්ගෙන් පන්දුවාර සම්පූර්ණ කිරීමට සිදු වීම ද කණ්ඩායමේ පසුබෑමට හේතුවක් ලෙස සැලකිය හැකියි. ඕස්ට්‍රේලියානුවන් අදාළ ඉලක්කය සම්පූර්ණ කිරීමට වැය කළේ පන්දුවාර 16.3ක් පමණයි.

මේ නිසාම ඔවුන්ගේ දල ලකුණු වේගය -1.55ක් ලෙස ප්‍රකෘති තත්ත්වය පත්වූ අතර ශ්‍රී ලංකාව තවමත් දල ලකුණු වේගය (+0.45) අනුව ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානය රැකගෙන සිටිනවා.

තරගයේ වීරයා සම්මානය මාර්කස් ස්ටොයිනිස් දිනා ගත්තේ පන්දු 42කට මුහුණ දී ලකුණු 31ක් පමණක් ලබා සිටි තම නායකයාගේ මන්දගාමී ඉනිමේ හානිය ද ඌන පූර්ණය කරමිනුයි.

Result


Australia
158/3 (16.3)

Sri Lanka
157/6 (20)

Batsmen R B 4s 6s SR
Pathum Nissanka run out (Matthew Wade) 40 45 2 0 88.89
Kusal Mendis c Mitchell Marsh b Pat Cummins 5 6 1 0 83.33
Dhananjaya de Silva c David Warner b Ashton Agar 26 23 3 0 113.04
Charith Asalanka not out 38 25 3 2 152.00
Bhanuka Rajapaksa c Pat Cummins b Mitchell Starc 7 5 1 0 140.00
Dasun Shanaka c Matthew Wade b Glenn Maxwell 3 5 0 0 60.00
Wanidu Hasaranga c Matthew Wade b Josh Hazlewood 1 4 0 0 25.00
Chamika Karunaratne not out 14 7 2 0 200.00


Extras 23 (b 6 , lb 5 , nb 0, w 12, pen 0)
Total 157/6 (20 Overs, RR: 7.85)
Bowling O M R W Econ
Josh Hazlewood 4 0 26 1 6.50
Pat Cummins 4 0 36 1 9.00
Mitchell Starc 4 0 23 1 5.75
Ashton Agar 4 0 25 1 6.25
Marcus Stoinis 2 0 17 0 8.50
Mitchell Marsh 1 0 14 0 14.00
Glenn Maxwell 1 0 5 1 5.00


Batsmen R B 4s 6s SR
David Warner c Dasun Shanaka b Maheesh Theekshana 11 10 0 0 110.00
Aaron Finch not out 31 42 0 1 73.81
Mitchell Marsh c Bhanuka Rajapaksa b Dhananjaya de Silva 17 17 1 1 100.00
Glenn Maxwell c Ashen Bandara b Chamika Karunaratne 23 12 2 2 191.67
Marcus Stoinis not out 59 18 4 6 327.78


Extras 17 (b 4 , lb 3 , nb 0, w 10, pen 0)
Total 158/3 (16.3 Overs, RR: 9.58)
Bowling O M R W Econ
Binura Fernando 0.5 0 5 0 10.00
Dhananjaya de Silva 2.1 0 18 1 8.57
Lahiru Kumara 3.3 0 22 0 6.67
Chamika Karunaratne 3 0 21 1 7.00
Maheesh Theekshana 3 0 23 1 7.67
Wanidu Hasaranga 3 0 53 0 17.67
Dasun Shanaka 1 0 10 0 10.00



මේ අනුව ශ්‍රී ලංකාවට එංගලන්තය හෝ නවසීලන්තට එරෙහිව තරගවල දී ඉතාමත්ම හොඳ දස්කම් දැක්වීම අනිවාර්ය වනු ඇති. එම තොරතුරු සහ විස්සයි විස්ස ලෝක කුසලානයේ සියලුම තතු විත්ති එසැනින්ම දැන ගැනීම සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<