ශ්‍රී ලංකා හා සිංගප්පූරු ක්‍රීඩිකාවන්ට පහසු ජයග්‍රහණ

376

ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය සංවිධානය කරන ආරාධිත ජාත්‍යන්තර සිව්කොන් දැල්පන්දු තරගාවලිය අද (28) දෙවන දිනටත් කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවැත්විය. තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව, සිංගප්පූරුව, ශ්‍රී ලංකා සංවර්ධන හා එංගලන්තයේ PStar ක්‍රීඩා සමාජය යන කණ්ඩයම් එක්වී සිටියි.

ශ්‍රී ලංකාව හමුවේ සිංගප්පූරුව හා එංගලන්තය පරදී

ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය (NFSL) විසින් සංවිධානය කරනු ලබන ආරාධිත ජාත්‍යන්තර සිව්කොන් දැල්පන්දු තරගාවලිය අද (27) කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩා පිටියේ දී ආරම්භ විය.

‘Round Robin’ ආකෘතියට අනුව සියලුම කණ්ඩයම් එකිනෙකා හමුවන සේ තරගාවලිය ක්‍රියාත්මක වන අතර ඊයේ (27) පැවති තරගවලින් සිංගප්පූරුව පරාජය කරමින් ශ්‍රී ලංකාවත් (65-45), PStar කණ්ඩයම පරාජය කරමින් ශ්‍රී ලංකා සංවර්ධන කණ්ඩායම (71-22) ද ජයග්‍රහණ හිමි කර ගැනීමට සමත් විය.

ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවෝ හා කනිෂ්ඨ ක්‍රීඩිකාවෝ ගැටෙති

දිනයේ දෙවන තරගය ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම, ශ්‍රී ලංකා සංවර්ධන කණ්ඩායම හා ගැටුණු අතර කණ්ඩායම් දෙකම පෙර දිනයේ ජයග්‍රහණය කිරීමට සමත් වූ කණ්ඩයම් වූ නිසාවෙන් තරගයේ උණුසුම ඉතා ඉහළ මට්ටමක පැවතුනි.     

ලකුණු සටහන කෙසේ වුවත් උපරිම උත්සාහයෙන් ක්‍රීඩා කළ ශ්‍රී ලංකා සංවර්ධන කණ්ඩායමේ කනිෂ්ඨ ක්‍රීඩිකාවෝ සිය ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවන්ට හොඳ තර්ජනයක් එල්ල කිරීමට සමත් විය.

පැහැදිලිවම ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩිකාවන්ගේ උස කනිෂ්ඨ ක්‍රීඩිකාවන්ට ප්‍රබල ගැටලුවක් වූ අතර ගෝල රැස්කර ගැනීමේ වලල්ලට පිවිසීමට ඔවුන් අසමත් විය. පළමු කාර්තුව පුරා සංවර්ධන කණ්ඩයමේ සෙත්මි ධනුෂි ප්‍රතිවාදී ක්‍රීඩිකාවන්ට ඉතා හොඳ සටනක් ලබා දුන් අතර ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සිය ප්‍රධානතම ක්‍රීඩිකාවක් වූ තර්ජිනී සිවලිංගම් නොමැතිව පළමු කාර්තුවේ ක්‍රීඩා කරන ලදි.

පළමු කාර්තුවේ දී හොඳ සටනක් දෙමින් ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව ලකුණු 16-04ක් ලෙස කාර්තුව අවසන් කර ගැනීමට සංවර්ධන ක්‍රීඩිකාවෝ සමත් වූහ.

සිව්කොන් ආරාධිත දැල්පන්දු තරගාවලියක් ශ්‍රී ලංකාවේ

දැල්පන්දු ශ්‍රේණිගත කිරීම්වල ආසියාවේ අංක 1 ස්ථානයේ සිටින සිංගප්පූරු දැල්පන්දු කණ්ඩායම එළඹෙන මැයි 27 සිට මැයි 30 දක්වා…

දෙවන කාර්තුවේ පළමු ලකුණ රැස්කර ගැනීමට ශ්‍රී ලංකා සංවර්ධන කණ්ඩයම සමත්වුවත් සිය සුපුරුදු රිද්මයට පැමිණි ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සිය සුපුරුදු රිද්මයට පිවිසෙමින් වේගවත් ලෙස ලකුණු පරතරය ඉහළ දමා ගැනීමට සමත් වූහ.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ගෝල විදින ක්‍රීඩිකාවක් ලෙස ක්‍රීඩා කළ දර්ශිකා එතරම් ස්ථාවර බවක් පෙන්නුම් නොකළ නමුත් සංවර්ධන කණ්ඩායම සිය ගෝල විදින ක්‍රීඩිකාව වෙනස් කළ අතර එයින් ඔවුන් පැහැදිලි වාසියක් ලබා ගන්නා බව පෙනුණි. කාර්තුව අවසාන භාගයේ සංවර්ධන ක්‍රීඩිකාවන් ඉතා හොඳ ක්‍රීඩා රටාවක නිරත වුවද ඒ වන විට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ඔවුන් පසු කර බොහෝ දුරක් ගොස් තිබුණි. දෙවන කාර්තුවේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් එලිලෙන්තිනි ශ්‍රී ලංකා වරම් දිනා ගත් අතර තෙවන කාර්තුව අවසානයේ ලකුණු තත්වය 38-10ක් ලෙස දැක්විය.

තෙවන කාර්තුව අරම්භයේ ද ශ්‍රී ලංකා සංවර්ධන ක්‍රීඩිකාවෝ ගෝලයක් ලබා ගැනීම සඳහා උත්සහ කළ නමුත් එම උත්සාහය අසාර්ථක විය. දෙවන කාර්තුවේ මෙන්ම තෙවන කර්තුවේ ද සංවර්ධන ක්‍රීඩිකාවන් වරින්වර ලකුණු රැස්කර ගත්ත ද ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් නැවැත්වීමට එය ප්‍රමාණවත් නොවීය.සංවර්ධන ආරක්ෂක ක්‍රීඩිකාවන්ට වඩා ශ්‍රී ලංකා ප්‍රහාරක ක්‍රීඩිකාවන්ගේ උස ඉතා ඉහළ මට්ටමක පැවතීම එයට හේතුවයි.

තෙවන කාර්තුවේ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ලකුණු 20ක් රැස්කර ගනිද්දී සංවර්ධන ක්‍රීඩිකාවන් රැස්කර ගත්තේ ලකුණු 6ක් පමණි.

සිව්වැනි හා අවසාන කර්තුවේ ද පළමු ලකුණ වාර්තා කිරීමට ශ්‍රී ලංකා සංවර්ධන කණ්ඩයම සමත් වූ අතර තරගයේ පළමු මිනිත්තු කිහිපයේ කරටකර සටනක් දීමට ඔවුන් සමත් වූයේ පළමු මිනිත්තු පහ තුල ශ්‍රී ලංකාව සමඟ ලකුණු 5-4ක්  ලෙස ඉතා කුඩා පරතරයක් පමණක් තබා ගනිමිනි.

අනතුරුව ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ක්‍රමක්‍රමයෙන් සිව්වැනි වටයත් සියතට ගැනීමට සමත් වූ නමුත් සංවර්ධන ක්‍රීඩිකාවෝ ඉතා හොඳ තරගයක් ලබා දීමට සමත් වූහ. සිව්වැනි කාර්තුව අවසානයේ ලකුණු 74–25ක් ලෙස තරගාවලියේ අපරාජිත වාර්තාව රැක ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩයම සමත් විය.

කණ්ඩායම පළමු කාර්තුව දෙවන කාර්තුව තෙවන කාර්තුව සිව්වැනි කාර්තුව මුළු ලකුණු
ශ්‍රී ලංකාව 17 21 20 16 74
ශ්‍රී ලංකා සංවර්ධන 4 6 6 9 25

Match Replay – Sri Lanka v Sri Lanka Development – Quadrangular Netball Tournament

සිංගප්පූරුවෙන් එංගලන්ත කණ්ඩායමට අනුකම්පා විරහිත ප්‍රහාරයක්

ලෝක දැල්පන්දු ශ්‍රේණිගත කිරීම්වල 20 වැනි ස්ථානයේ සිටින ආසියාවේ අංක එකේ කණ්ඩයම වන සිංගප්පූරු කණ්ඩායම දිනයේ පළමු තරගය ලෙස එංගලන්තයේ ආධුනික දැල්පන්දු සමාජයක් වන PStar දැල්පන්දු කණ්ඩයම හා තරග වැදුණු අතර PStar කණ්ඩායමට පාඩම් රැසක් කියා දෙමින් ලකුණු 111–08ක් ලෙස දැවැන්ත ජයක් වාර්තා කිරීමට සිංගප්පූරු ක්‍රීඩිකාවෝ සමත් වූහ.

පළමු කාර්තුවේ ආරම්භයේ සිටම සිංගප්පූරු ක්‍රීඩිකාවෝ තරගයේ ග්‍රහණය සියතට ගත් අතර ඔවුන්ගේ වේගවත් පාද චලනයන් හා ක්ෂණික නිවැරදි ඉලක්කගත පන්දු යොමු කිරීම් තරගය අවසාන වනතුරුම PStar ක්‍රීඩිකාවන්ට හඳුනා ගැනීමට නොහැකි වීම ඔවුන්ගේ පරාජයට ප්‍රධානතම හේතුව ලෙස දැක්විය හැකිය.

සිංගප්පුරු කණ්ඩයම පිට පිටම ලකුණු 19ක් වාර්තා කර ගනිමින් තරගයේ පෙරමුණ ගත් අතර PStar නායිකා කැරොල් හැමිල්ටන් PStar කණ්ඩයම වෙනුවෙන් පළමු ලකුණ වාර්තා කිරීමට සමත් විය.

PStar කණ්ඩායම ලකුණු දෙකකින් පළමු කාර්තුවේ සෑහීමට පත්වෙද්දී, සිංගප්පූරුව ලකුණු 31යි.

දෙවන කාර්තුවේ ද PStar ක්‍රීඩිකාවන් අසරණ කරමින් සිංගප්පුරු ක්‍රීඩිකාවෝ ලකුණු රැස්කළ අතර තරුණ ක්‍රීඩිකාවන් රැසක් යොදා ගනිමින් වරින්වර ක්‍රීඩිකාවන්ගේ ස්ථාන හුවමාරු කර ගනිමින් ක්‍රීඩා කළ ද ඔවුන්ගේ වේගවත් ක්‍රීඩා රටාවේ වෙනසක් සිදු වූයේ නැත. දෙවන කාර්තුව අවසන් වන විට ලකුණු පුවරුව ලකුණු 56-03ක් ලෙස දිස්විය.

තෙවන කාර්තුවේ දී ද සිංගප්පූරු ක්‍රීඩිකාවෝ සිය වේගවත් පාද චලනයන් එලෙසම පවත්වා ගෙන යාමට සමත් වූ අතර වෙහෙසට පත්ව සිටි PStar ක්‍රීඩිකාවන්ට බොහෝ සිංගප්පූරු ආක්‍රමණයක් නැවැත්වීමට නොහැකි විය. සිංගප්පූරු ක්‍රීඩිකාවන් එංගලන්ත ක්‍රීඩිකාවන්ගේ පන්දු යොමු කිරීම් සාර්ථක ලෙස ඩැහැ ගැනීමට ද සමත් වූ අතර තෙවැනි කාර්තුව අවසානයේ ලකුණු පුවරුව 79-05ක් ලෙස දිස්විය.

ශා මෙන් සොහ්ගේ ප්‍රබල ක්‍රීඩා රටාවෙන් සිංගප්පූරු කණ්ඩායම ප්‍රබල තත්වයකට පත්ව සිටි අතර ඇයගේ පන්දු යොමු කිරීම් මෙන්ම ස්ථාන ගත වීම ද ඉතා ඉහළ මට්ටමක පැවතුනි. ලකුණු සියයේ සීමාව ඉක්මවා යාමට ඉතා උනන්දුවක් දැක්වූ සිංගප්පූරු ක්‍රීඩිකාවෝ අවසාන කාර්තුවේ දී ද ලකුණු 32ක් රැස්කර ගනිමින් තරගාවලියේ පළමු ජයග්‍රහණය ලකුණු 111–08ක් ලෙස වාර්තා කර ගැනීමට සමත් විය.

කණ්ඩායම පළමු කාර්තුව දෙවන කාර්තුව තෙවන කාර්තුව සිව්වැනි කාර්තුව මුළු ලකුණු
සිංගප්පුරුව 31 25 23 32 111
පී – ස්ටාර් 2 1 2 3 08

හෙට (29) දිනය තරගාවලියේ තෙවන දිනය වන අතර හෙට දිනයේ දී ශ්‍රී ලංකා කණ්ඩයම හා එංගලන්තයේ PStar කණ්ඩායමත්, ශ්‍රී ලංකා සංවර්ධන කණ්ඩායම හා සිංගප්පූරු කණ්ඩායමත් තරග වැදීමට නියමිතයි. තරග සියල්ල සජීව ලෙස නැරඹීම සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<