1983 ලෝක කුසලාන ජයග්‍රහණයෙන් ඇති වූ ඉන්දියාවේ ක්‍රිකට් උන්මාදය

308

“පළමු ප්‍රේමය කිසිදා අමතක කළ නොහැක” – 1983 වසරේ දී ක්‍රිකට් ලෝක කුසලානය දිනාගත් Kapil Devගේ නායකත්වය යටතේ ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායමේ එක් ක්‍රීඩකයෙකු ඉන්දියාවේ මංගල ලෝක කුසලාන ජයග්‍රහණය පිළිබඳව මතකය ආවර්ජණය කරන්නේ ඒ අයුරිනි. 

වර්ණවාදයට සංගාගෙන් පිළිතුරක්

එදා ඒ ලෝක කුසලාන ජයග්‍රහණයත් සමඟ ඉන්දියාව තුළ ක්‍රිකට් ක්‍රීඩාව කෙරෙහි ඇති වූ ආදරය සහ උන්මාදය අද වන විට එරට ක්‍රිකට් ක්‍රීඩාව සම්පූර්ණයෙන්ම වෙනස් කිරීමට ද ඉවහල් වී ඇත.  

1983 වසරේ ක්‍රිකට් ලෝක කුසලාන අවසන් මහා තරගයේ දී ඉන්දීය ක්‍රීඩකයින්, ක්‍රිකට් ක්‍රීඩාවේ සාම්ප්‍රදායික මහගෙදර ලෙස සැලකෙන එංගලන්තයේ Lord’s ක්‍රීඩාංගණයේ දී ප්‍රබල බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පරාජයට පත්කරමින් ශූරතාවය දිනාගැනීමත් සමඟ ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳව ඉන්දියාව තුළ ඇති වූ සුවිශාල උන්මාදය කෙමෙන් කෙමෙන් වර්ධනය වී ඊට දැවැන්ත වෙළඳපොලක් ද ගොඩනැඟෙන්නට විය. ඒ අනුව ඒ හරහා ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය අද වන විට ලොව ඇති ධනවත්ම සහ බලවත්ම ක්‍රිකට් ආයතනය බවට පත්වන්නට අඩිතාලම සැකසෙන්නට විය. 

ඊට පෙර ඉන්දීය ජනතාවගේ වඩාත්ම ආදරය දිනාගත් ක්‍රීඩාව බවට පත්ව තිබුනේ හොකී ක්‍රීඩාවයි. 1948 වසරේ සිට 1980 වසර දක්වා කාල සීමාව තුළ ඉන්දීය කණ්ඩායම් හොකී ක්‍රීඩාවෙන් එරටට ඔලිම්පික් රන් පදක්කම් 5ක් හිමිකර දීම ඊට හේතු විය. කෙසේ නමුත් 1983 වසරේ ජුනි මස 25 වන දින ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයින් ලෝක ශූරයින් බවට පත්වීමත් සමඟ සියල්ල වෙනස් වන්නට විය. 

එම ලෝක කුසලාන තරගාවලිය ඉන්දියාව ජයග්‍රහණය කිරීම කිසිවෙකුත් කිසිසේත්ම බලාපොරොත්තු නොවූ දෙයකි. ඊට පෙර පැවති ලෝක කුසලාන තරගාවලි ද්විත්වයේ දීම ඉන්දියාව වාර්තා කරගෙන තිබුනේ එක් ජයග්‍රහණයක් පමණි. ඒ නැගෙනහිර අප්‍රිකාවට එරෙහිවයි. 

“අපි කවදාවත් කොහෙත්ම හිතුවේ නැහැ අපිට ඒ ලෝක කුසලාන තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටය හරි, පිළිමළුන් පිටුදැකීමේ වට වලට හරි සුදුසුකම් ලබා ගන්න පුළුවන් වෙයි කියලා. ඒ කණ්ඩායමේ මාත් එක්ක හිටපු ක්‍රීඩකයෝ කිහිපදෙනෙක්ම කිව්වේ අපිට තරගාවලියේ දී හොඳට විනෝද වෙලා එන්න පුළුවන් වෙයි කියලා. එච්චරයි.” 

“නමුත් අපි අවසානයේ ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමත් සමඟ ඒකෙන් ශක්තිමත් අඩිතාලමක් වැටුනා. ඒක හරියට කවදාවත් පළවෙනි ආදරය අමතක කරන්න බැහැ වගේ එකක්. අපි ලෝක කුසලානය ජයග්‍රහණය කරලා මේ වෙනකොට අවුරුදු 37ක් ගතවෙලා. ඒත් තාමත් ඒ ජයග්‍රහණය හැමෝගෙම මතකයේ තියෙනවා.” 

“ඉන්න අලුත් පරම්පරාව පවා ගොඩක් උනන්දුවෙන් ඉන්නේ, අපි පළවෙනි වතාවට ක්‍රිකට් ලෝක කුසලානයක් ජයග්‍රහණය කළේ කවද ද සහ එතකොට ක්‍රීඩා කරපු ක්‍රීඩකයින් කවුද වගේ දේවල් දැනගන්න. ඒක ඇත්තටම අපිට ගොඩක් වටින දෙයක් වගේම ඒකෙන් මතකයන් ගොඩකුත් අපේ සිත් වලට එනවා.” යයි 1983 වසරේ ලෝක කුසලානය ජයග්‍රහණය කළ ඉන්දීය කණ්ඩායමේ කඩුලු රැකීමේ ක්‍රීඩක Syed Kirmani ඒ පිළිබඳව මතක් කරමින් අදහස් දක්වමින් පැවසීය. 

ඉතිහාසයක් වෙනස් වූ මොහොත 

ඉන්දියාව 1983 වසරේ දී සිය මංගල ක්‍රිකට් ලෝක කුසලානය ජයග්‍රහණය කළ ගමන්මග දැක්වෙන බොලිවුඩ් චිත්‍රපටයක් නුදුරු අනාගතයේ දීම තිරගත වීමට නියමිතව ඇති අතර ජනප්‍රිය නළු Ranveer Singh විසින් එහිදී Kapil Devගේ චරිතය රඟපානු ලැබේ. 

ඉන් අනතුරුව MS Dhoni විසින් 2007 වසරේ දී ඉන්දියාව ඔවුන්ගේ මංගල පන්දුවාර 20 ලෝක කුසලාන ජයග්‍රහණය කරා මෙන්ම 2011 වසරේ දී ඔවුන්ගේ දෙවන එක්දින ලෝක කුසලාන ජයග්‍රහණය කරාත් මෙහෙයවනු ලැබූවත් 1983 වසරේ එංගලන්තයේ දී ඉන්දියාව ජයග්‍රහණය කරනු ලැබූ සිය මංගල ක්‍රිකට් ලෝක කුසලානය ඔවුන්ගේ ක්‍රිකට් ඉතිහාසයේ හැරවුම් ලක්ෂ්‍ය සනිටුහන් වූ මොහොත ලෙස සැමදාටම සටහන්ව තිබෙනු ඇති බව නොඅනුමානය. 

වර්තමානය වන විට ඉන්දියාවේ ක්‍රිකට් පාලක මණ්ඩලය ලොව ධනවත්ම ක්‍රිකට් ආයතනය ලෙස ඉදිරියට පැමිණ ඇති අතර 1983 වසරේ ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරනු ලැබූ Sunil Gavaskar වැනි ක්‍රීඩකයින් මෙන්ම Sachin Tendulkar සහ Virat Kohli වැනි ක්‍රීඩකයින් ද ඉන්දියාවේ ක්‍රිකට් ක්‍රීඩාව ඔසවා තබන්නට සුවිශේෂී මෙහෙයක් සිදුකර ඇත. 

“ක්‍රිකට් ආයතනයට වාණිජමය වශයෙන් ප්‍රතිලාභ එන්න පටන් ගත්තේ ඒ ලෝක කුසලාන ජයග්‍රහණයෙන් පස්සේ. ඉතින් අපිට ඒක ඉතිහාසය වෙනස් කරපු සංධිස්ථානයක්.” 

“අද ඉන්දීය කණ්ඩායමක් ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියකට යද්දී ඔවුන් ගැන රට තුළ ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. නමුත් 1983 වසරේ දී කවුරුත් එහෙම බලාපොරොත්තු වුනේ නැහැ. නමුත් අපි එහිදී ක්‍රීඩා කරපු විදිහ විශිෂ්ටයි.”  

“1983 ඒ ජයග්‍රහණය වෙනස්ම එකක්. ඒ හරහා ඉන්දියාව තුළ ක්‍රිකට් ක්‍රීඩාවට තිබ්බ උන්මාදය සම්පූර්ණයෙන්ම වෙනස් වුනා. ක්‍රීඩාවට මුදල් එන්න පටන් ගත්තේ ඊට ගොඩක් පස්සේ වුනත් කිසිම බලාපොරොත්තුවක් තිබුනේ නැති වෙලාවක අපි ඒ ලබා ගත්ත ජයග්‍රහණය ගොඩක් වටින එකක්.” එම ලෝක කුසලානය ජයග්‍රහණය කළ ඉන්දීය සංචිතය නියෝජනය කරනු ලැබූ ක්‍රීඩකයෙකු වන Sunil Valson ඒ පිළිබඳව අදහස් දක්වමින් පැවසීය. 

සෆ්රාස්ගේ අනාගතය ගැන පුහුණුකරුගෙන් අනාවැකි

එක් ක්‍රීඩකයෙකුගේ ප්‍රතිභාව 

එම ලෝක කුසලාන තරගාවලියේ පළමු වටයේ දී සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පැවති තීරණාත්මක තරගයක දී ඉන්දියාව ලකුණු 17කට කඩුලු 5ක් දැවී ඉතා අපහසු තත්වයක පසුවිය. එවිට පිටියට පැමිණි Kapil Dev නොදැවී ලකුණු 175ක විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කරමින් කණ්ඩායම ජයග්‍රහණයට රැගෙන ගියේ තරගාවලිය තුළ ඉතා වැදගත් ජයග්‍රහණයක් සනිටුහන් කර ගනිමිනි. 

අනතුරුව ඉන්දියාව අවසන් පූර්ව වටයේ දී සත්කාරක එංගලන්තය පරාජයට පත්කරන්නට සමත් වූ අතර අවසන් මහා තරගයේ දී ලකුණු 183ක තරම් කුඩා ඉලක්කයක් ප්‍රතිවාදී ප්‍රබල බටහිර ඉන්දීය කොදෙව් පිතිකරුවන් හමුවේ ආරක්‍ෂා කරගන්නට ද සමත් විය. 

අවසන් මහා තරගයේ දී ප්‍රතිවාදී නායක Clive Lloydගේ කඩුල්ල, ඔහු ලකුණු 8ක් පමණක් රැස්කර ගෙන සිටිය දී දවා ගනිමින් ඔහුව නැවතත් ක්‍රීඩාගාරය බලා හරවා යැවූ Roger Binny පවසා සිටින්නේ Devගේ නායකත්වය සහ කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩකයින් තරගාවලිය පුරාවට දැක්වූ විශිෂ්ට දක්‍ෂතා ඔවුන්ගේ ඒ ලෝක කුසලාන ජයග්‍රහණයට ප්‍රධාන වශයෙන් ඉවහල් වූ බවයි. 

“මම හිතනවා අපේ ලෝක කුසලානයට ප්‍රධාන වශයෙන්ම හේතු වුනේ තුන් ඉරියව් ක්‍රීඩකයින්ගේ දක්‍ෂතා කියලා. මොකද හැම තරගයකම වගේ අපේ කණ්ඩායම වාර්තා කරගත්ත ලකුණු දිහා බැලුවොත් ඔබට තේරෙයි ලකුණු වලට ගොඩක්ම දායකත්වය ලබා දීලා තියෙන්නේ පිතිකරණ ලැයිස්තුවේ පහළින් ඉඳපු ක්‍රීඩකයින් කියලා.”  

“අනිවාර්යයෙන්ම ඒ ජයග්‍රහණයට ගොඩක්ම වැදගත් වෙච්ච දෙයක් තමයි Devගේ නායකත්වය. ඒ වගේම අපේ පළමු තරගයේ දීම Manchester වලදී අපි බටහිර ඉන්දීය කොදෙව්වන් පරාජය කළාම ඒකෙන් අපේ විශ්වාසය ගොඩක් ඉහළ ගියා.” 

1983 වසරේ ලෝක කුසලානය ආවරණ කිරීම සඳහා එංගලන්තය බලා ගිය මාධ්‍යවේදීන් සුළු ප්‍රමාණය අතුරින් එක් අයෙකු වන අත්දැකීම් බහුල මාධ්‍යවේදී Ayaz Menon පවසා සිටින්නේ ඔවුන් එම ලෝක කුසලාන තරගාවලිය තුළ ඉහළ දක්‍ෂතා දක්වනු ඇතැයි ධනාත්මක බවක් තරගාවලිය ආරම්භයේ නොතිබූ බවයි. 

“මම බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම එක්ක තිබුන පළවෙනි තරගය අඩුම තරමේ බලන්න වත් ගියේ නැහැ. මොකද මම හිතුවේ අපි ලෙහෙසියෙන්ම පරාජයට පත්වෙයි කියලා. නමුත් අවසානේ දී ඒක ඉන්දියාවේම තරගාවලියක් බවට පත්වෙන්න ගොඩක් දේවල් එකතු වුනා.”  

හිටපු ශ්‍රී ලංකා නායිකාව UAE හි හිරවෙයි

“Kapil Dev විසින් Tunbridge Wells වලදී සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ක්‍රීඩා කරපු ඉනිම ගැන මම ඇසින් දුටු සාක්‍ෂිකරුවෙක්. එදා BBC එක එක්දින වර්ජනයක්. ඉතින් ඒ තරගය ගැන ගුවන් විදුලි හෝ රූපවාහිනී ක්‍රීඩා විස්තර විචාරයක් සිදුවුනේ නැහැ. එක් ක්‍රීඩකයෙකුගේ විශිෂ්ටත්වය නිසා ඉන්දියාවට ලෝක කුසලාන ජයග්‍රහණය කරා යන්න මාර්ගය සැලසුනා. ඒ ඉනිමෙන් මුළු කණ්ඩායමේම විශ්වාසය ගොඩක් ඉහළ ගියා.” 

“එදා 1983 දී ඉන්දියාව කළේ ක්‍රිකට් ක්‍රීඩාව සම්පූර්ණයෙන්ම කණපිට හරවලා, බල අනුකෘතිය වෙනස් කරපු එක. එක පාරටම ඉන්දියාව ක්‍රිකට් ලෝක ශූරයින් වුනා. ඒ හරහා ක්‍රිකට් ක්‍රීඩාව තුළ ඔවුන්ගේ සහභාගීත්වය ඉහළ ගියා වගේම ඒක ගොඩක් වැදගත් වුනා.” යයි ඔහු අවසාන වශයෙන් පැවසීය.  

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<