ශ්‍රී ලංකාව හමුවේ එංගලන්ත ක්‍රීඩිකාවන්ට පූර්ණ තරගාවලි ජයක්

340
Sri lanka womens

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය පිලිබඳව ප්‍රශ්නාර්ථයක් ඉතිරි කරමින් එංගලන්ත – ශ්‍රී ලංකා කාන්තා එක්දින තරගාවලිය අද (18) නිමාවට පත්විය. ශ්‍රී ලංකාව සත්කාරකත්වය දැරූ මෙම තරගාවලියේ තරග හතරක් පැවති අතර ඉන් එකදු තරගයක් හෝ ජය ගැනීමට තබා ජයග්‍රහණය අසලකටවත් ලං වන්නට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට හැකි වූයේ නැත.

පසුගිය ලිපි: එංගලන්ත කාන්තා පිළට තෙවැනි එක්දින තරගයෙනුත් විශිෂ්ට ජයක්

ඊයේ කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේදී සිව්වන සහ අවසන් එක්දින තරගය ආරම්භ වූ අතර එහිදී කාසියේ වාසිය දිනාගත් එංගලන්ත ක්‍රීඩිකාවෝ ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කලහ. ඒ අනුව ඔවුන් සිය පන්දුවාර 50 නිමා කළේ කඩුලු 9ක් දැවී ලකුණු 240ක් රැස්කර ගනිමිනි.

එංගලන්තය වෙනුවෙන් වැඩිම ලකුණු ලාභිනිය බවට පත්වූ නැටලි රූත් හතරේ පහර 10ක් සහ හයේ පහර 2ක් සමඟ ලකුණු 77ක් රැස් කරමින් එංගලන්ත ඉනිම ශක්තිමත් කරන ලදී. ඩැනියෙල් හැසල් එක් හයේ පහරක් සහ එක් හතරේ පහරක් සමඟින් ලකුණු 45යි. කලින් තරගයේ වැඩිම ලකුණු ලාභිනිය බවට පත්වූ ටම්සින් බියුමොන්ට් අද ලකුණු නොලබාම දැවී යාමද විශේෂ සිදුවීමකි.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දඟ පන්දු යවන ක්‍රීඩිකාවන් වන ඉනෝශි ප්‍රනාන්දු සහ ඉනෝකා රණවීර කඩුලු 3 බැගින් බිඳ හෙලන ලදී. එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම පන්දුවට පහර දී අවසන් වීමෙන් අනතුරුව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයට වර්ෂාව ඇද හැලුණු අතර ඊයේ දිනයට නැවත තරගය ආරම්භ කිරීමේ අවස්ථාවක් උදා නොවුණි.

එබැවින් අද උදෑසන නැවතත් එතැන් පටන් තරගය ආරම්භ විය. නමුත් එහිදී පිලිතුරු ඉනිම ක්‍රීඩා කල ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට ලබාගත හැකි වූයේ සියල්ලන්ම දැවී ලකුණු 78ක් පමණි. ඒ සඳහා පන්දුවාර 33යි එක් පන්දුවක් පමණක් ප්‍රමාණවත් විය. ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ප්‍රසාදනී වීරක්කොඩි හතරේ පහර 3ක් සමඟින් ලකුණු 32ක් රැස් කිරීමට සමත් වූ අතර අන් කිසිදු ක්‍රීඩිකාවකට අඩුම තරමේ ලකුණු 15 සීමාවටවත් ලඟා වීමට හැකි නොවීය. පන්දු යැවීමේදී එංගලන්තය වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක යෙදුනු ලෝරා මාර්ශ් ලකුණු 21කට කඩුලු 4ක් බිඳ හෙලීය. ඩැනියෙල් හැසල් කඩුලු 3යි. ඒ අනුව එංගලන්ත ක්‍රීඩිකාවන්ට සිව්වැනි එක්දින තරගයෙන්ද ලකුණු 162ක පහසු ජයක් හිමිවිය.

එංගලන්තය – කඩුලු 9ක් දැවී ලකුණු 240 (පන්දුවාර 50): නැටලි රූත් 77, ඩැනියෙල් හැසල් 45, ලෝරා මාශ් 36*, ඇමී ජෝන්ස් 28, ඉනෝශි ප්‍රනාන්දු 3/23, ඉනෝකා රණවීර 3/38.

ශ්‍රී ලංකාව – සියල්ලන්ම දැවී ලකුණු 78 (පන්දුවාර 33.1): ප්‍රසාදනී වීරක්කොඩි 32, චමරි අතපත්තු 11, ලෝරා මාර්ශ් 4/21, ඩැනියෙල් හැසල් 3/21, නැටලි රූත් 2/9.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට