ශලිත්ගේ වෑයම වරදියි; මධ්‍යම පළාතට තියුණු ජයක්!

571
Under 19 provincial roundup 2nd May report

ලොවක් දිනන්නට සූදානම් වන යොවුන් ක්‍රීඩා තරු වලට සිය නැවුම් දස්කම් පෙන්වීමට ඉඩ හසර විවර කර දෙන වයස අවුරුදු 19න් පහළ පළාත් ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ තරඟ පැවැත්වුණු අවසන් දිනය අදයි. එහිදී ජයග්‍රහණය වාර්තා කිරීමට දකුණු පළාත, උතුරු මැද පළාත, මධ්‍යම පළාත සහ වයඹ පළාත සමත් විය.

ශතකයක් හා අර්ධ ශතක හතක්

අනාගතයේ ලොව දිනන්නට වෙර දරන ක්‍රිකට් ක්‍රීඩකයින් උදෙසා පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ සුපිරි පළාත් ක්‍රිකට් තරගාවලියේ…

දකුණු පළාත සහ බස්නාහිර පළාත (මධ්‍යම) අතර තරගය

පනාගොඩ යුධ හමුදා ක්‍රීඩාංගණයේදී ක්‍රියාත්මක වූ මෙම තරඟයේ කාසියේ වාසිය දකුණු පළාතට හිමිවිය. ඒ අනුව ප්‍රථමයෙන් පිතිකරණයේ යෙදීමට තීරණය කළ ඔවුන් පන්දුවාර 49ක් අවසානයේ සියල්ලන්ම දැවී ලකුණු 242ක් රැස්කර ගැනීමට සමත් වූහ. දක්ෂ පිතිකරණය යෙදුනු රවීන් යසස් ඉනිමේ එකම අර්ධ ශතක ලාභියා වූ අතර ලකුණු 65ක් වාර්තා කළේය. සසිත් මධුරංග ලකුණු 45යි. අවිඳු තීක්ෂණ දකුණු පළාත් ලකුණු පුවරුව ලකුණු 37කින් ඉහළ දැමීය. පන්දු යැවීමේදී සන්තුෂ් ගුණතිලක සහ විමුක්ති කුලතුංග අතරේ කඩුලු 3 බැගින් බෙදී ගියේය.

ලකුණු 242ක ඉලක්කය හඹා ගිය බස්නාහිර පළාත් මධ්‍යම කණ්ඩායම පන්දුවාර 38ක් අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 137ක් ලබා සිටියහ. ඒ වනවිට ක්‍රීඩාංගණය අවට අඳුර පැතිරී යමින් තිබූ නිසා පැරබෝලා න්‍යාය අනුව දකුණු පළාත් ක්‍රීඩකයින්ට ලකුණු 77ක ජයග්‍රහණයක් ලබා දීමට තරඟ තීරකයින් පියවර ගත්හ. බස්නාහිර පළාත වෙනුවෙන් ලක්ෂිත මුණසිංහ ලකුණු 29ක් වාර්තා කළ අතර රවිශ්ක විජේසිරි සහ දිලුම් සුදීර අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියේය.

දකුණු පළාත – සියල්ලන්ම දැවී ලකුණු 242 (පන්දුවාර 49)
රවීන් යසස් 65, සසිත් මධුරංග 45, අවිඳු තීක්ෂණ 37, රවිඳු සංජන 22, රවිෂ්ක විජේසිරි 21, සන්තුෂ් ගුණතිලක 3/19, විමුක්ති කුලතුංග 3/31.

බස්නාහිර පළාත (මධ්‍යම) – කඩුලු 8ක් දැවී ලකුණු 137 (පන්දුවාර 38)
ලක්ෂිත මුණසිංහ 29, සන්තුෂ් ගුණතිලක 28, සන්ජුල අබේවික්‍රම 24, රවිශ්ක විජේසිරි 2/11, දිලුම් සුදීර 2/29.


නැගෙනහිර පළාත සහ උතුරු මැද පළාත අතර තරගය

දිනයේ අඩුම ලකුණු සංඛ්‍යාවක් වාර්තා වුනු මෙම තරගයේ දී දෙපිළේම ක්‍රීඩකයින් රැස්කළේ ලකුණු 139ක් පමණි. කාසියේ වාසිය තමා සතු කරගත් උතුරු මැද පළාත් නායකයා මුලින් පන්දු යැවීමට තීරණය කළේ තණතිල්ල පිලිබඳ නිවැරදි අවබෝධයක් ඔහු සතුවූ නිසාවෙනි. ඒ අනුව ඉනිම ආරම්භ කළ නැගෙනහිර පළාත් ක්‍රීඩකයින් ලකුණු 69ක් තරම් සුලු ලකුණු ප්‍රමාණයකදී  දැවී ගියේ තරඟය පිලිබඳ තිබූ සියලු බලාපොරොත්තු බිඳ දමමිනි. පන්දු යැවීමේදී ශෙහාන් අවින්ද්‍ය සහ දමිත් සමරවික්‍රම කඩුලු 3 බැගින් බිඳ හෙලීමට සමත් වූහ.

ලකුණු 70ක පහසු ඉලක්කයක් හඹා ගිය උතුරු මැද පළාත් ක්‍රීඩකයින් පන්දුවාර 12ක් අවසානයේ ඉලක්කයට ලඟා වෙමින් ජයග්‍රහණය තහවුරු කර ගත්හ. ඒ අතරතුරදී උතුරු මැද පළාතේ කඩුලු 3ක් බිඳ වැටුණු අතර එම කඩුලු ත්‍රිත්වයේම හිමිකරු බවට පත්වීමට එම්. ශරුහාන් සමත් විය.මෙම තරඟය කොළඹ CCC පිටියේදී ක්‍රියාත්මක විය.

නැගෙනහිර පළාත – සියල්ලන්ම දැවී ලකුණු 69 (පන්දුවාර 26)
ශෙහාන් අවින්ද්‍ය 3/08, දමිත් සමරවික්‍රම 3/12.

උතුරු මැද පළාත – කඩුලු 3ක් දැවී ලකුණු 70 (පන්දුවාර 12)
එම්. ශරුහාන් 3/31.

මධ්‍යම පළාත සහ උතුරු පළාත අතර තරගය

වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණයේදී පැවැත්වුණු මෙම තරඟය ඉතාමත් උණුසුම් අවසානයක් සනිටුහන් වූ තරඟයක් විය. කාසියේ වාසිය දිනාගෙන ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් මධ්‍යම පළාත් ක්‍රීඩකයින් පන්දුවාර 45යි පන්දු 4ක් අවසානයේ ලකුණු 178ක් රැස් කිරීමට සමත් වූහ. අද දින තම පිතිකරණයෙන් සාර්ථක ප්‍රතිඵල නෙලාගත් ගජිත කොටුවෙගොඩ අර්ධ ශතකයක් වාර්තා කරමින් මධ්‍යම පළාත් ඉනිමට සවියක් විය. පන්දු යැවීමේදී එස්. මධුෂාන් කඩුලු 4ක් දවා ගනිද්දී කේ. කපිල්රාජ් කඩුලු 2කට හිමිකම් කීවේය.

ලකුණු 179ක ඉලක්කය හඹා යාමට සෑහෙන උත්සාහයක් ගත් උතුරු පළාත් කණ්ඩායමට පන්දුවාර 39යි එක් පන්දුවක් අවසානයේ ලකුණු 172කට සීමා වීමට සිදුවිය. උතුරු පළාත කෙසේ හෝ ජයග්‍රහණය කරා ගෙන යාමට උත්සාහ දැරූ ශලිත් ප්‍රනාන්දු විශිෂ්ට පිතිකරණයක යෙදෙමින් ලකුණු 87ක් රැස් කළේය. නමුත් මධ්‍යම පළාත අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කරමින් විමුක්ති නෙතුමාල් කඩුලු 4ක් දවා ගනිමින් සුපිරි දස්කම් දැක්වීය. තිමිර සුපුන් සහ ජනිඳු හිම්සර කඩුලු 2 බැගින් බිඳ හෙලූහ. මොවුන්ගේ මෙම දක්ෂ පන්දු යැවීම නිසා මධ්‍යම පළාතට ලකුණු 6ක තියුණු ජයක් හිමිවිය.

මධ්‍යම පළාත – සියල්ලන්ම දැවී ලකුණු 178 (පන්දුවාර 45.4)
ගජිත කොටුවෙගොඩ 53, ඩියෝන් ස්ටෝටර් 30, ‍රවිශ්ක උපේන්ද්‍ර 22, එස්. මධුෂාන් 4/21, කේ. කපිල්රාජ් 2/45.

උතුරු පළාත – සියල්ලන්ම දැවී ලකුණු 172 (පන්දුවාර 39.1)
ශලිත් ප්‍රනාන්දු 87, උමේෂ් ලක්ෂාන් 22, විමුක්ති නෙතුමාල් 4/48, තිමිර සුපුන් 2/18, ජනිඳු හිම්සර 2/23.


ඌව පළාත සහ වයඹ පළාත අතර තරගය

පන්දු යවන්නන් වැඩි ආධිපත්‍යයක් පැතිරවූ මෙම උණුසුම් තරඟය කොළඹ මුවර්ස් පිටියේදී ක්‍රියාත්මක විය. කාසියේ වාසිය තමන් සතු කරගත් ඌව පළාත මුලින් පන්දුවට පහර දීමට තීරණය කළද ඔවුන්ට සියලු දෙනාම දැවී රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 146ක් පමණි. ඒ සඳහා පන්දුවාර 38යි පන්දු 5ක් වැය විය. ආදිත්‍ය සිරිවර්ධන ලකුණු 36ක් රැස් කිරීමට සමත් වූ අතර නිපුන් ධනංජය ලකුණු 24ට කඩුලු 3ක් බිඳ හෙලීය.

ලකුණු 147ක පහසු වෙනුවෙන් පිටියට පැමිණි වයඹ පළාත් පිතිකරුවන් පන්දුවාර 25යි එක් පන්දුවක් තුළදී තම ජයග්‍රහණය තහවුරු කර ගැනීමට සමත් වූහ. ඒ වෙනුවෙන් වැඩිම දායකත්වයක් සැපයූ සමිත් ඩිල්ශාන් ලකුණු 74කින් වයඹ ඉනිම සවිමත් කරවීය. පුබුදු ගනේගම ලකුණු 35යි. තරගයේ අවසන් ප්‍රතිඵලය ලෙස වයඹ පළාතට කඩුලු 7ක ජයක් හිමිවිය.

ඌව පළාත – සියල්ලන්ම දැවී ලකුණු 146 (පන්දුවාර 38.5)
ආදිත්‍ය සිරිවර්ධන 36, චිහාන් කලිඳු 32, නිපුන් ධනංජය 3/24, පුබුදු ගනේගම 2/08, ශෙහාන් උදාර 2/44.

වයඹ පළාත – කඩුලු 3ක් දැවී ලකුණු 148 (පන්දුවාර 25.1)
සමිත් ඩිල්ශාන් 74, පුබුදු ගනේගම 35, ශශික දුල්ශාන් 2/20.

මෙම ප්‍රතිඵල වලට අනුව අවසන් පූර්ව වටයේදී බස්නාහිර පළාත (උතුර) සහ බස්නාහිර පළාත (දකුණ) එක් අවසන් පූර්ව තරගයකදී එකිනෙකා හමුවන අතර අනෙක් අවසන් පූර්ව තරගයේ දී වයඹ පළාත සහ දකුණු පළාත ද්වන්ධ සටනකට අවතීර්ණ වනු ඇත.

  තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට 

POINTS TABLE