ග්‍රැහැම් ෆෝඩ් සහ සංගක්කාර අහක දැමුණේ කෙසේ ද?

3819

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාර ධූරය දැරූ ජෙෆ් මාර්ෂ් මහතා 2012 වසරේ දී සිය ධූරයෙන් පහ කිරීමෙන් අනතුරුව ක්‍රිකට් ලොවේ ප්‍රමුඛ පෙළේ පුහුණුකරුවන් අතර ශ්‍රී ලංකාව පිළිබඳව ඇතිවූ ප්‍රතිරූපය එතරම් යහපත් එකක් නොවේ.

අළු බඳුන කුසලානයත්, ක්‍රිකට් ලෝක කුසලානයත් යන දෙකම ක්‍රීඩකයෙකු ලෙස මෙන්ම පුහුණුකරුවෙකු ලෙස ද ජයග්‍රහණය කළ පුද්ගලයින් ඇත්නම් ඒ ඉතා අල්ප වශයෙනි. ඩැරන් ලීමන් සමඟින් එම දස්කම දක්වන්නට සමත් වී ඇති අනෙක් එකම පුද්ගලයා වන්නේ ජෙෆ් මාර්ෂ් ය.

අවසන් 15 තේරීම කොට උඩ?

ඉදිරියේ දී ආරම්භ වීමට නියමිත සංචාරක සිම්බාබ්වේ හා ශ්‍රී ලංකා කණ්ඩායම් සහභාගී වන ක්‍රිකට් තරගාවලියේ 15 දෙනෙකුගෙන් යුතු ..

2011 වසරේ ශ්‍රී ලංකා කණ්ඩායමේ දකුණු අප්‍රිකානු සංචාරයෙන් අනතුරුව ඔහුව සිය ධූරයෙන් පහකරනු ලැබුවේ දකුණු අප්‍රිකාවේ දී ශ්‍රී ලංකා කණ්ඩායම ලැබූ පළමු ටෙස්ට් තරග ජයග්‍රහණයට ඔහු අප කණ්ඩායම මෙහෙයවා තිබූ අවස්ථාවක දී ය. කෙසේ වෙතත් මීට එරෙහිව මාර්ෂ් නීතිමය පියවර ගත් අතර එහි දී ඔහුට වන්දි ලෙස විශාල මුදලක් ගෙවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සිදු විය.   

එම සිදුවීමට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය චන්දික හතුරුසිංහ මහතා සමඟ කටයුතු කළ ආකාරය ද එතරම් යහපත් නොවීය. ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ හිටපු කඩුලු රකින ක්‍රීඩකයෙක් වන ස්ටීව් රික්සන් මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස පත්කර ගැනීමට 2013 වසරේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය උත්සාහ දරා ඇති අතර එහි දී ක්‍රිකට් ආයතනයේ ක්‍රියාකලාපය පිළිබඳව රික්සන් මහතා ප්‍රකාශ කළ අදහස් හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රතිරූපය තවදුරටත් බිඳ වැටුණි.

“ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මට ගිවිසුමක් එව්වා. ඒක හරිම ලැජ්ජා සහගතයි. ඒක මට කියන්න වෙනවා. ඒ තරමටම එම ගිවිසුම දුර්වලයි.” රික්සන් මහතා ප්‍රකාශ කළේය.

2015 වසර වන විට ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරීත්වය බාර ගැනීමට කිසිදු ප්‍රමුඛ පෙළේ පුහුණුකරුවෙක් ඉදිරිපත් නොවූ අතර එමනිසා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු පුහුණුකරු ග්‍රැහැම් ෆෝඩ් මහතා දෙසට යොමු විය. දකුණු අප්‍රිකානු ජාතිකයෙක් වන ඔහු 2012 වසරේ සිට 2014 වසර දක්වා ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකාරීත්වය දැරීය. නමුත් ඔහු ද මෙම ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය.

ඔහු එවකට පුහුණුකාරීත්වය දැරූ එංගලන්ත ප්‍රාන්ත කණ්ඩායමක් වන සරේ කණ්ඩායම පිළිබඳව සෑහීමකට පත්ව සිටි අතර ඔහු එම කණ්ඩායම තරගාවලියේ පළමු කාණ්ඩය දක්වා උසස් කරන්නට ද ඒ වන විට සමත්ව තිබුණි. කෙසේ වෙතත් මේ පිළිබඳව සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායකයෙක් වන කුමාර් සංගක්කාර හට SOS ඇමතුමක් ලබාගන්නා ලදි.

සංගක්කාර සහ ග්‍රැහැම් ෆෝඩ් අතර තිබුණේ සුවිශේෂී සබඳතාවයකි. ෆෝඩ් මහතාගේ දැනුම, අවංක බව සහ කැපවීම පිළිබඳව සංගක්කාර සිටියේ හොඳ පැහැදීමකිනි. සංගක්කාරගේ ටෙස්ට් ක්‍රිකට් පිටියේ විශිෂ්ටත්වය පිළිබඳව කිසිදු සැකයක් නොමැති වුවත් ග්‍රැහැම් ෆෝඩ්ගේ ආගමනයෙන් පසුව ඔහුගේ එක්දින ක්‍රිකට් දිවියේ විශාල පරිවර්තනයක් සිදු විය.

ෆෝඩ් මහතා පැමිණීමට පෙර සංගක්කාරගේ එක්දින තරගවල ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 36ක් ලෙස සටහන්ව තිබූ අතර ඔහු ඒ වන විට රැස්කරගෙන තිබුණේ ශතක 12ක් පමණි. නමුත් ෆෝඩ්ගේ පැමිණීමෙන් අනතුරුව පැවති තරගවල දී සංගක්කාරගේ එක්දින ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 55ක් ලෙස සටහන් වෙද්දී ඔහු ශතක 13ක් ද රැස්කර ගැනීමට සමත් විය. එක්දින දිවියට සමු දෙද්දී සංගක්කාර සටහන් කර ගෙන තිබූ ලකුණු 41.98ක සාමාන්‍ය ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක් ලබාගෙන ඇති ඉහළම එක්දින ලකුණු සාමාන්‍ය ද වේ.

“ෆෝඩ් නිතරම අපිව උනන්දු කළා ‘Reverse Sweep, Sweep, Paddle Sweep’ වැනි පහරවල් කරා යොමු කරන්න. අපිට එම පහරවල් හොඳින් එල්ල කරන්න හැකි වුනේ ඒ වගේ නව පහරවල් පුහුණු කරන්නම ඔහු වෙනම පුහුණු සැසි පවත්වපු නිසා. අපි ‘bowling machine’ එක ආධාරයෙන් වේග පන්දු යවන්නන්ට ‘Paddle Sweep’ පහරවල් එල්ල කරන්න පුහුණු වුනා.”

2013 වසරේ දී දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව ලකුණු 169ක් වාර්තා කර ගැනීමෙන් අනතුරුව අදහස් දක්වමින් සංගක්කාර ප්‍රකාශ කර සිටියේය.

එමෙන්ම සරේ කණ්ඩායමට ඔවුන්ගේ 2015 තරග වාරය සඳහා විදේශීය ක්‍රීඩකයා ලෙස සංගක්කාර තෝරා ගන්නැයි යෝජනා කළේ ද ග්‍රැහැම් ෆෝඩ් ය. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු වගකීම් බාර ගැනීම පිළිබඳව ෆෝඩ් මහතා සමඟ කතා කරන්නැයි සංගක්කාරගෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉල්ලා සිටියත්, මුලදී ඔහු එයට එතරම් කැමැත්තක් දැක්වූයේ නැත. කෙසේ වුවත් කිහිප දෙනෙක්ම ඔහුට එසේ නොකරන ලෙස ප්‍රකාශ කළත් ඒ පිළිබඳව ග්‍රැහැම් ෆෝඩ් සමඟ කතා කිරීමට සංගක්කාර එකඟ විය.

ඒ අනුව ග්‍රැහැම් ෆෝඩ්ගෙන් නැවතත් ඔහුගේ තීරණය පිළිබඳව සලකා බලන ලෙස සංගක්කාර ඉල්ලා සිටි විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හා සම්බන්ධ දේශපාලනයේ ඇති චංචලභාවය හේතුවෙන් මුලදී ඔහු ඒ පිළිබඳව තරමක් පැකිළීමෙන් පසු විය. නමුත් ඔහුට 2019 ක්‍රිකට් ලෝක කුසලානය දක්වා දීර්ඝ කාලීන ගිවිසුමක් ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සූදානම් බව සංගක්කාර තහවුරු කර සිටියේය.

ඒ අනුව අවසානයේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු වගකීම බාර ගැනීමට ග්‍රැහැම් ෆෝඩ් මහතා එකඟ විය.

“ග්‍රැහැම් ෆෝඩ් වැනි අති දක්‍ෂ පුහුණුකරුවෙක් අපට අහිමි වීම පිළිබඳව අපි ගොඩක් කනගාටුවට පත්ව‍ෙනවා. අපේ කණ්ඩායම පසුගිය අවුරුදු දෙක පුරාවට ලබා ගත් වර්ධනයට ඔහු ගොඩක් උදව් වුනා.”

සරේ ක්‍රිකට් පිළිබඳ අධ්‍යක්‍ෂ ධූරය දැරූ ඇලෙක් ස්ටුවර්ට් මහතා ඒ අවස්ථාවේ දී ප්‍රකාශ කළේය.

ඒ අනුව ෆෝඩ් මහතා යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම නැවතත් වර්ධනයක් පෙන්නුම් කළේය. ඔවුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම 3-0ක් ලෙස ශ්‍රී ලංකාවේ දී පරාජයට පත්කරන්නට සමත් විය. කෙසේ වුවත් ඇන්ජෙලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල් සහ ලසිත් මාලිංග වැනි කණ්ඩායමට වැදගත් ක්‍රීඩකයින්ට ඇතිවූ ආබාධ හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමඟ පැවති ටෙස්ට් තරගාවලිය 3-0ක් ලෙසත්, එක්දින තරගාවලිය 5-0ක් ලෙසත් පරාජයට පත්වන්නට සිදු විය. අවාසනාවන්ත සිදුවීම වූයේ ඉන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශ කණ්ඩායම සමඟ ඉතිහාසයේ පළමු ටෙස්ට් තරගය පරාජයට පත්වීමයි.

නමුත් ෆෝඩ් මහතා මෙම පරාජවලින් අධෛර්යමත් වූයේ නැත. ආබාධයට ලක්වූ ක්‍රීඩකයින් නැවත පැමිණ ශ්‍රී ලංකා කණ්ඩායම සම්පූර්ණ වූ පසු මෙම තත්වය වෙනස් වේ යැයි ඔහු දිගින් දිගටම විශ්වාස කළේය. ශූරයින්ගේ කුසලානයේ පළමු තරගය ක්‍රීඩා කිරීම සඳහා මැතිව්ස් සුවය ලබා සිටියත් අවසානයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසා සිටියේ ඔහුව එම තරගයෙන් විවේක ගන්වන ලෙසයි. ඒ වන විට වෛද්‍යවරුන් පවා ඔහු තරගය සඳහා සුවය ලබා ඇති බව සනාථ කර තිබුණි. ඒ අනුව මෙහි දී ශාරීරික යෝග්‍යතාවය පරීක්ෂා කිරීමට පරීක්ෂණයක් පවත්වන ලෙස මැතිව්ස් ඉල්ලා සිටියත් එම ඉල්ලීම ද ක්‍රිකට් ආයතනය ප්‍රතික්ෂේප කළේය.

ශූරයින්ගේ කුසලානයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ දක්‍ෂතා අවම වන තත්වයක් ඇතිකර පහසුවෙන් පුහුණුකරු පිළිබඳව තීරණයක් ගැනීමට හැකි වාතාවරණයක් සකස් කර ගැනීම බලධාරීන්ට අවශ්‍යව තිබූ බවට ද එමඟින් සැකයක් ඇතිවිය.  

ඒ අනුව තරගාවලියේ දී පළමු තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දැරූ උපුල් තරංග හට එම තරගයේ දී අඩු පන්දුවාර වේගයක් පවත්වා ගැනීම හේතුවෙන් තරගාවලියේ ඉදිරි තරග දෙක තහනම් කෙරුණු අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා සෘජුවම එහි වගකීම පුහුණුකරු වෙත බාර කළේය.

කෙසේ වුවත් සංගක්කාර හට මෙහි දී ඇතිවිය හැකි ගැටලුව පිළිබඳව වැටහී තිබූ අතර ඔහු ශූරයින්ගේ කුසලානය අතරතුර දී ග්‍රැහැම් ෆෝඩ් ඇගයීමට ලක් කළේය.

“වර්තමානයේ සිටින හොඳම පුහුණුකරුවන්ගෙන් කෙනෙක් ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කිරීම පිළිබඳව මම සතුටට පත්වෙනවා. ශ්‍රී ලංකා කණ්ඩායමේ දක්‍ෂ ක්‍රීඩකයින් සිටිනවා. ඒ වගේම ඔවුන් බාරව සිටින්නේත් ඊට සුදුසුම පුද්ගලයෙක්. ඒ අනුව ඔවුන්ට ඔවුන්ගේ කාර්යභාරය නිදහසේ කරන්න අවස්ථාව දීම අවශ්‍යයි. ඒ ෆෝඩ්ට ක්‍රිකට් පුහුණු කරන්නත්, ක්‍රීඩකයින්ට ක්‍රිකට් ක්‍රීඩා කරන්නත් අවස්ථාව දිය යුතුයි. මැදිහත් වීමකින් තොරව ඔවුන්ට ඔවුන්ගේ කාර්යභාරය ඉටු කරන්න අවස්ථාව ලබා දුන්නොත් හොඳ ප්‍රතිඵලයක් ලබාගන්න හැකි වෙයි.”  

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තුළ නව තනතුරක් ලෙස ක්‍රිකට් කළමනාකරු තනතුර ස්ථාපිත කර, එයට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන අසංක ගුරුසිංහ මහතා පත්කොට, පුහුණුකරු සතුව තිබූ වගකීම්වලින් කොටසක් නව කළමනාකරු ධූරය වෙත ලබා දීම පිළිබඳව ග්‍රැහැම් ෆෝඩ් මහතා එතරම් සතුටට පත් නොවූ බව වාර්තා වේ.

ඒ අනුව ඔහු කොළඹ දී අදාළ නිලධාරීන් මුණ ගැසුණු විට කණ්ඩායමේ ක්‍රීඩකයින් ක්‍රීඩා කරන ආකාරය පිළිබඳ වගකීම තමා වෙත ලබා නොදෙන්නේ නම් කණ්ඩායමේ වර්ධනය ඉහළ මට්ටමක රඳවා ගැනීම අපහසු බව ප්‍රකාශ කර සිටි අතර එහි දී ඔහුට නිලධාරීන් පවසා සිටියේ පවතින තත්වය යටතේ සිය ධූරයේ රැඳී සිටින ලෙස හෝ ධූරයෙන් ඉවත්ව යන ලෙස ය. ඒ අනුව ග්‍රැහැම් ෆෝඩ් මහතා ධූරයෙන් ඉවත්ව යාමට තීරණය කරන ලදි.

-Cricbuzz වෙබ් අඩවිය ඇසුරෙනි –

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට