ශ්‍රී ලංකාව අපරාජිතව ඉදිරියට

Hong Kong International Sixers 2024

67
Hong Kong Sixers 2024

2024 Hong Kong International Sixers ක්‍රිකට් තරගාවලිය ඊයේ (01) දිනයේ ආරම්භ වූ අතර, මෙහි දී ශ්‍රී ලංකාව පළමු දිනය අපරාජිත ව ගෙවා දැමීමට සමත් වෙමින් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වුනා. 

තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වූ පළමු තරගය ඕමානය සමඟ පැවැත්වුණු අතර, මෙම තරගයේ පළමුව පන්දුවට පහර දුන් ඕමාන කණ්ඩායම නියමිත පන්දුවාර 06 තුළ ලකුණු 80ක් ලබා ගැනීමට සමත් වුනා. එහි දී නායක Vinayak Shukla පන්දු 18කින් ලකුණු 50ක් ලබා ගැනීමට සමත් වුනා. 

ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දුවෙන් සාර්ථක වූ ධනංජය ලක්ෂාන් තම පන්දුවාරය තුළ ලකුණු 6ක් පමණක් ලබා දෙමින් එක් කඩුල්ලක් බිඳ හෙළීමට සමත් වුනා. 

කෙසේ වෙතත් ශ්‍රී ලංකා පිතිකරුවන්ට මෙම ඉලක්කය ඉතා පහසු එකක් බවට පත් වූ අතර, ඔවුන් පන්දුවාර 4.1ක් තුළ අදාළ ඉලක්කය සපුරා ගැනීමට සමත් වුනා. මෙහි දී ඉනිමේ ඉහළම ලකුණු ලාභියා වූ සඳුන් වීරක්කොඩි පන්දු 7කින් ලකුණු 28ක් ලබා ගැනීමට සමත් වුනා. 

ඊයේ දිනයේ ශ්‍රී ලංකාව සහභාගී වූ මීළඟ තරගය බංග්ලාදේශය සමඟ පැවැත්වුණු අතර, එහි දී ශ්‍රී ලංකාවට ලකුණු 18ක ජයක් හිමි වුනා. 

මෙම තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කඩුලු 3ක් දැවී ලකුණු 107ක් ලබා ගැනීමට සමත් වූ අතර, එහි දී නායක ලහිරු මදුශංක නොදැවී ලකුණු 48ක් ලබා ගැනීමට සමත් වුනා. එමෙන්ම තනුක දාබරේ ලකුණු 32කින් ඉනිම ශක්තිමත් කළා. 

ශ්‍රී ලංකාවෙන් ලැබුණු ඉලක්කය හඹා ගිය බංග්ලාදේශය විසින් නියමිත පන්දුවාර 06 තුළ කඩුලු 3ක් දැවී ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 89ක් පමණයි. මෙහි දී බංග්ලාදේශය වෙනුවෙන් Mohammad Saifuddin ලකුණු 42ක් ලබාගැනීමට සමත් වුනා. එමෙන්ම මෙහි දී ලහිරු සමරකෝන් කඩුලු 2ක් බිඳ හෙළීමට සමත් වුනා. 

ශ්‍රී ලංකාව සහ ඕමානය  

  • ඕමානය – 80/2 (6) Vinayak Shukala 50*, ධනංජය ලක්ෂාන් 1/6 
  • ශ්‍රී ලංකාව – 82/2 (4.1) සඳුන් වීරක්කොඩි 28, ලහිරු සමරකෝන් 20* 

තරගයේ වීරයා ධනංජය ලක්ෂාන් 

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය  

  • ශ්‍රී ලංකාව – 107/3 (06) ලහිරු මදුශංක 48*, තනුක දාබරේ 32 
  • බංග්ලාදේශය – 89/3 (6) Mohammad Saifuddin 42, ලහිරු සමරකෝන් 2/26 

තරගයේ වීරයා ලහිරු මදුශංක 

මෙම තරගය ද්විත්වය තරගාවලියේ මූලික වටයේ තරග ලෙස ක්‍රියාත්මක වූ අතර, එම තරග දෙකම ජයග්‍රහණය කිරීමත් සමඟ ශ්‍රී ලංකාව අපරාජිත ව ඉදිරි වටය වෙත සුදුසුකම් ලබා ගත්තා. 

ඒ අනුව තරගාවලියේ අර්ධ අවසන් පූර්ව තරගය අද (02) ශ්‍රී ලංකාව සහ නේපාලය අතර පැවැත්වීමට නියමිතයි. 

2024 Hong Kong Sixers තරගාවලිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<