බංග්ලාදේශයට තරග 4-1ක ජයක්

Bangladesh Women's A team tour of Sri Lanka 2024

217
Bangladesh Women's A team tour of Sri Lanka 2024

ශ්‍රී ලංකා A කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ බංග්ලාදේශ A කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර අද (19) කොළඹ, Colts ක්‍රීඩාංගණයේ දී පැවැති තරගයෙන් කඩුලු 8ක ජයග්‍රහණයක් ලබා ගැනීමට සංචාරක බංග්ලාදේශ ක්‍රීඩිකාවෝ සමත් වූනා.

ඒ අනුව තරග 5කින් යුත් විස්සයි විස්ස තරගාවලියේ තරග 4-1ක් ලෙසින් ජයග්‍රහණය ලබා ගැනීමට ද ඔවුන්ට හැකි වෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායම අද තරයට එක් වෙන්නේ එක් වෙනස්කමක් සිදු කරමින්. ඒ අනුව පෙර තරගයට ක්‍රීඩා කළ සඳලි වීරසිංහ වෙනුවට අද තරගයේ දී සඳුනි නිසංසලා කණ්ඩායමට එක් කර තිබුණා.

බංග්ලාදේශය අද තරගයට එක් වෙන්නේ වෙනස්කම් 4ක් සිදු කරමින්. ඒ අනුව පෙර තරගයේ දී ක්‍රීඩා නොකළ නිත්‍ය නායිකාව වූ Rabeya Khan සමඟ Shathi Rani, Nigar Sulta සහ Sultana Khatun ද එක් කර තිබුණා. ඒ වෙනුවෙන් Shamima Sultan, Sobhana Mostary, Jahanara Alam සහ Sabikun Nahar Jesmin කණ්ඩායමෙන් ඉවත් කර තිබුණා.

ශ්‍රී ලංකා A කණ්ඩායම  

 

සත්‍යා සංදීපනී (නායිකාව), දෙවිමි විහංගා, නෙත්මි පූර්ණා, ඉමල්කා මෙන්ඩිස්, නිලක්ෂනා සඳමිණි (කඩුලු රකින්නිය), පියුමි වත්සලා, මල්ෂා ෂෙහානි, සඳුනි නිසංසලා, චේතනා විමුක්ති, තාරුකා ශෙහානි සහ නිමේෂා මධුශානි.

බංග්ලාදේශ A කණ්ඩායම

 

Rabeya Khan (නායිකාව), Shathi Rani, Dilara Akter, Murshida Khatun, Nigar Sultana, Shorna Akter, Fahima Khatun, ,  Taj Nehar, Sultana Khatun, Nahida Akter, Marufa Akter.

කාසියේ වාසිය දිනා ගත් බංග්ලාදේශ නායිකාවගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගේ ඉනිම ලකුණු 54කට සීමා කිරීමට සංචාරක පන්දු යවන්නියන්ට හැකි වූවා. එම ඉලක්කය තරගය අවසන් වීමට තවත් පන්දු 50ක් ඉතිරි ව තිබිය දී කඩුලු 2ක් පමණක් දැවී සපුරා ගැනීමට බංග්ලාදේශය සමත් වූවා.

ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණුලාභිනිය වූයේ අංක 9 ස්ථානයෙන් පිටියට පිවිසි චේතනා විමුක්ති. ඇය පන්දු 20කට මුහුණ දෙමින් ලකුණු 11ක් ලබා ගත්තා. අනෙක් කිසිදු ක්‍රීඩිකාවකට ඉලක්කම් 2 ලකුණු සංඛ්‍යාවක් කරා පැමිණීමට බංග්ලාදේශ ක්‍රීඩිකාවෝ ඉඩ ලබා දුන්නේ නැහැ.

එහි දී නායිකා Rabeya Khan ලකුණු 7කට කඩුලු 3ක් දවා ගනිමින් ශ්‍රී ලංකාව අමාරුවේ දැමීමේ ප්‍රමුඛත ම ප්‍රතිවාදීනිය වූවා. ඊට අමතර ව Fahima Khatun, Nahida Akter සහ Marufa Akter කඩුලු ද්විත්වය බැගින් බෙදා ගත් අතර Sultana Khatun ද කඩුල්ලක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි බංග්ලාදේශ ඉනිමේ පළමු කඩුලු ද්විත්වය ලකුණු 3ක් වෙද්දී හරවා යැවීමට ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ සමත් වූවා. නමුත් එතැන් සිට තරගයේ පාලනය තමන් වෙත තබා ගැනීමට Dilara Akter සහ  Nigar Sultana සමත් වුනා.

ඔවුන් දෙදෙනා එක් ව 3 වැනි කඩුල්ලට පන්දු 59ක දී නොදැවුණ ලකුණු 53ක සබඳතාවක් එක් කරමින් තරගය ජයග්‍රහණය කරා ගෙන ගියා.

එහි දී Dilara Akter පන්දු 34කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟන් නොදැවී ලකුණු 33ක් ද සහ Nigar Sultana පන්දු 25කට මුහුණ දෙමින් නොදැවී ලකුණු 14ක් ද ලබා ගත්තා.

බංග්ලාදේශ ඉනිමේ දැවී ගිය කඩුලු ද්විත්වය චේතනා විමුක්ති සහ නිමේෂා මධුශානි විසින් බෙදා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

 

ශ්‍රී ලංකා A කණ්ඩායම සියලුම දෙනා දැවී 54 (16.2) දෙව්මි විහංගා 9, නිලක්ෂනා සඳමිණි 9, චේතනා විමුක්ති 11, Marufa Akter 2/14, Nahida Akter 2/10, Rabeya Khan 3/07, Fahima Khatun 2/09

 

බංග්ලාදේශ A කණ්ඩායම  කඩුලු 2ක් දැවී 56 (11.4) Dilara Akter නොදැවී 33, Nigar Sultana නොදැවී 14, චේතනා විමුක්ති 1/05, නිමේෂා මධුශානි 1/09 

 

බංග්ලාදේශ A කණ්ඩායමට කඩුලු 8ක ජයක්.

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<