ශ්‍රී ලංකාව පළමු ජය ලබයි

Bangladesh Women's A team tour of Sri Lanka 2024

42

ශ්‍රී ලංකා නායිකා සත්‍යා සන්දීපනී ගේ සටන්කාමී ඉනිම සහ පන්දු යවන්නියන්ගේ නැගී සිටීමත් සමඟින් ශ්‍රී ලංකා A කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ බංග්ලාදේශ A කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර අද (17) කොළඹ, තර්ස්ටන් ක්‍රීඩාංගණයේ දී පැවැති තරගයෙන් ලකුණු 17ක ජයග්‍රහණයක් ලබා ගැනීමට සත්කාරක ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වූවා. 

කෙසේ වෙතත් තරග 5කින් යුත් විස්සයි විස්ස තරගාවලියේ තරග 3-1ක් ලෙසින් පෙරමුණ ගැනීමට බංග්ලාදේශය මේ වන විටත් සමත් ව සිටිනවා.  

ශ්‍රී ලංකා කණ්ඩාය අද තරයට එක් වෙන්නේ වෙනස්කම් 4ක් සිදු කරමින්. ඒ අනුව පෙර තරගයට ක්‍රීඩා කළ ඉමේෂා දුලානි, කෞෂිනි නුත්‍යාංගා, මලකි මදාරා, තාරිකා සෙව්වන්දි වෙනුවෙන් දෙවිමි විහංගා, ඉමල්කා මෙන්ඩිස්, පියුමි වත්සලා සහ චේතනා විමුක්ති අද තරගයට එක් කර තිබුණා. 

බංග්ලාදේශය අද තරගයට එක් වූවේ වෙනස්කම් 5ක් සහිතවයි. එහි ප්‍රධානත ම වෙනස්කම වූයේ නායිකාව වූ Rabeya Khan අද තරගයට එක් නොවීමයි. ඒ වෙනුවට සංචාරක කණ්ඩායමේ නායකත්වය Nahida Akter වෙත පැවරී තිබුණා. 

Rabeya Khan සමඟින් පෙර තරගයට ක්‍රීඩා කළ Shathi Rani, Nigar Sultana, Ritu Moni සහ Sultana Khatun යන ක්‍රීඩිකාවන්ට අද තරගයේ ස්ථාන අහිමි ව තිබූ අතර ඒ වෙනුවට Shamima Sultan, Murshida Khatun, Shorna Akter, Jahanara Alam සහ  Sabikun Nahar Jesmin කැඳවා තිබුණා.  

ශ්‍රී ලංකා A කණ්ඩායම   

සත්‍යා සංදීපනී (නායිකාව), දෙවිමි විහංගා, නෙත්මි පූර්ණා, ඉමල්කා මෙන්ඩිස්, සඳලි වීරසිංහ, පියුමි වත්සලා, මල්ෂා ෂෙහානි, චේතනා විමුක්ති, නිමේෂා මධුශානි, තාරුකා ශෙහානි සහ නිලක්ෂනා සඳමිණි (කඩුලු රකින්නිය). 

 

බංග්ලාදේශ A කණ්ඩායම 

Nahida Akter (නායිකාව), Dilara Akter, Shamima Sultan (කඩුලු රකින්නිය), Sobhana Mostary,  Murshida Khatun, Taj Nehar, Shorna Akter, Fahima Khatun, Jahanara Alam, Marufa Akter, Sabikun Nahar Jesmin 

කාසියේ වාසිය දිනා ගත් බංග්ලාදේශ නායිකාවගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ කඩුලු 5ක් දැවී ලකුණ 124ක් ලබා ගන්නවා.  

එහි දී කැපී පෙණෙන ඉනිමක් ක්‍රීඩා කිරීමට නායිකා සත්‍යා සංදීපනී සමත් වූවා. ඇය පන්දු 33කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 46ක් ලබා ගත්තා.  

අය 5 වැනි කඩුල්ලට පියුමි වත්සලා සමඟ එක් වෙමින් පන්දු 42ක දී ලකුණු 47ක සබඳතාවක් ද සහ තරගය නිමා වන විට මලිශා ෂෙහානි සමඟ එක් වෙමින් 6 වැනි කඩුල්ලට පන්දු 24ක දී නොදැවුණ ලකුණු 37ක සබඳතාවක් ද ගොඩ නැගීමට සමත් වුනා.  

එහි දී පියුමි වත්සලා පන්දු 29කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 29ක් ද සහ මල්ෂා ෂෙහානි පන්දු 14කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 21ක් ද ලබා ගත්තා.  

කඩුලු දවා ගැනීමේ දී  Fahima Khatun ලකුණු 13කට කඩුලු 2ක් ද, Marufa Akter ලකුණු 21කට කඩුලු 2ක් ද සහ Jahanara Alam කඩුල්ලක් ද දවා ගත්තා.  

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි සත්කාරක ක්‍රීඩිකාවන් ලකුණු 105කට සීමා කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වෙනවා.  

පළමු පන්දුවාරයේ දී ම පළමු කඩුල්ල බිඳ දමමින් ඔවුන් මෙම ආරම්භය ලබා ගත් අතර පළමු පන්දු වාර 6 අවසානයේ දී ඔවුන්ගේ ලකුණු පුවරුව දැක් වුණේ කඩුලු 3ක් දැවී ලකුණු 21ක් ලෙසයි 

කෙසේ වෙතත් සිව් වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 33ක දී ලකුණු 35ක සබඳතාවක් එක් කිරීමට Shamima Sultan සහ Taj Nehar සමත් වුනා. ඒ අතුරින් Shamima Sultan පන්දු 41කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 38ක් ලබා සිටිය දී දැවී යෑමත් සමඟින් ඔවුන්ගේ එම කඩුල්ලේ සබඳතාව බිඳී ගියා.  

Taj Nehar ලබා ගත් ලකුණු සංඛයාව 15ක් වන අතර ඊට පන්දු 18ක් වැය වූ අතර හතරේ පහරක් ඊට ඇතුලත් වුනා.  

සිවු වැනි කඩුල්ල දැවී යෑමෙන් අනතුරු ව ලකුණු 21ක් තුළ තවත් කඩුලු 4ක් දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ සමත් වුනා. එම බිඳ වැටීම් පෙරහර නතර වෙන්නේ 9 වැනි කඩුල්ල සඳහා Shorna Akter සහ Marufa Akter විසින් පන්දු 12ක දී එක් කළ ලකුණු 18ක සබඳතාව හේතුවෙනුයි.  

Shorna Akter පන්දු 19කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 28ක් ලබා ගත් අතර Marufa Akter පන්දු 9ක දී හතරේ පහර 2ක් සමඟින් ලකුණු 9ක් ලබා ගත්තා.  

කඩුලු දවා ගැනීමේ දී චේතනා විමුක්ති, තාරුකා ෂෙහානි, දෙව්මි විහංගා සහ නිමේෂා මධුශානි කඩුලු ද්විත්වය බැගින් දවා ගත් අතර මල්ෂා ෂෙහානි කඩුල්ලක් දවා ගත්තා.  

තරගයේ කෙටි ලකුණු පුවරුව 

 

ශ්‍රී ලංකා A කණ්ඩායම කඩුලු 5ක් දැවී 124 (20.0) සත්‍යා සංදීපනී 46, පියුමි වත්සලා 29, මල්ශා ෂෙහානි නොදැවී 21, Marufa Akter 2/12, Fahima Khatun 2/13 

 

බංග්ලාදේශ A කණ්ඩායම සියලුම දෙනා දැවී 105 (19.3) Shamima Sultan 38, Shorna Akter 28, චේතනා විමුක්ති 2/15, නිමේෂා මධුශානි 2/22, තාරුකා ෂෙහානි 2/19, දෙව්මි විහංගා 2/21 

 

ශ්‍රී ලංකා A කණ්ඩායමට ලකුණු 19ක ජයක්. 

ශ්‍රී ලංකා සහ බංග්ලාදේශ A කණ්ඩායම් අතර පැවැත්වෙන තරග 5කින් සමන්විත විස්සයි විස්ස තරගාවලියේ 4 වැනි තරගය මේ මස 19 වැනිදා කොළඹ, හැව්ලොක් පෙදෙස Colts  පිටියේ දී පැවැත්වීමට නියමිතයි. 

ශ්‍රී ලංකා සහ බංග්ලාදේශ A කණ්ඩායම් තරගාවලියේ උණුසුම් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<