සාරංගි දුර පැනීමේ වාර්තාව දෙවරක් අලුත් කරයි

ජාතික මලල ක්‍රීඩා පළමු තේරීම් තරගාවලිය 2022

278

2022 ජාතික මලල ක්‍රීඩා පිටියේ වැඩ ආරම්භ කරමින් ආසියානු ක්‍රීඩා උළෙල සහ ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවය ඉලක්ක කර ගනිමින් පැවති පළමු තේරීම් තරගාවලිය අද (12) කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී සාර්ථකව අවසන් වුනා.

අද (12) දිනයේ වඩාත්ම අවධානය දිනා ගත් ක්‍රීඩිකාව බවට පත් වූ දුර පැනීමේ ජාතික ශූරී සාරංගි ද සිල්වා තමන්ගේම දුර පැනීම ජාතික වාර්තාව දෙවරක් බිඳ හෙළමින් කාන්තා දුර පැනීම ඉසව්ව ජය ගත්තා.

පළමු උත්සහයෙන්ම මීටර් 6.53ක කැපී පෙනෙන දස්කමක් දක්වමින් මීට පෙර ඇය විසින්ම මීටර් 6.44ක දුරක් වාර්තා කරමින් පිහිටුවා තිබූ ජාතික වාර්තාව බිඳ හෙළීමට සමත් වූ අතර එම තරගයේ දී ම නැවතත් මීටර් 6.65ක දුරක් වාර්තා කරමින් එම වාර්තාව ම අලුත් කිරීමට ඇයට හැකි වීම විශේෂත්වයක්.

එම ඉසව්වේ දෙවැනි ස්ථානය මීටර් 6.18ක දුරක් වාර්තා කළ අංජානි පුල්වංශ හට හිමි වූ අතර මීටර් 6.02ක දුරක් වාර්තා කළ රිද්මා නිශාදි තෙවැනි තැන දිනා ගත්තා.

එමෙන්ම අද දිනයේ පැවති කනිෂ්ඨ ඉසව් කිහිපයක් නියෝජනය කරමින් ලෝක කනිෂ්ඨ මලල ක්‍රීඩා උළෙලේ සුදුසුකම් සපුරාලීමට යොවුන් ක්‍රීඩකයින් තිදෙනෙකුට හැකි වුනා.

තරගාවලියේ පිරිමි කනිෂ්ඨ දුර පැනීම ඉසව්වේ මීටර් 15.68ක දුරක් වාර්තා කළ පසිඳු මල්ෂාන්, පිරිමි මීටර් 400 කඩුලු පැනීම කනිෂ්ඨ ඉසව්ව තත්පර 52.21ක දුරක් වාර්තා කළ ධනුක දර්ශන සහ පිරිමි මීටර් 110 කඩුලු පැනීම කනිෂ්ඨ ඉසව්ව තත්පර 14.02ක කාලයකින් අවසන් කළ කවීෂ බණ්ඩාර එලෙස සුදුසුකම් සපුරාලීමට සමත්ව තිබුණා.

අද දිනයේ තරග ආරම්භ කරමින් උදෑසන වරුවේ පැවති පිරිමි මීටර් 10,000 ඉසව්ව මිනිත්තු 31:16.30ක කාලයකින් අවසන් කරමින් ජය ගැනීමට ධනුෂ්ක සඳරුවන් සමත් වූ අතර එහි දෙවැනි සහ තෙවැනි ස්ථාන පිළිවෙළින් කේ. ශම්මුගේශ්වරන් (මිනිත්තු 31:19.18) සහ ඩී. සඳරුවන් (මිනිත්තු 31:53.88) විසින් දිනා ගත්තා.

කාන්තා මීටර් 1500 ඉසව්වේ සිය සුපුරුදු ආධිපත්‍ය රඳවා ගත් එහි ජාතික ශූරී ගයන්තිකා අබේරත්න තරගය ජය ගැනීමට සමත් වුනේ මිනිත්තු 4:11.45ක කාලයකින් තරගය අවසන් කරමිනුයි.

එම ඉසව්ව මිනිත්තු 4:37.05ක කාලයකින් අවසන් කළ එම්.ඒ. කුමාරි විසින් දෙවැනි ස්ථානය දිනා ගද්දී, මිනිත්තු 4:55.57ක කාලයකින් තරගය අවසන් කළ ගයනි රණසිංහ හට තෙවැනි ස්ථානය හිමි වුනා.

පිරිමි තුන් පිම්ම ඉසව්වේ ජය මීටර් 16.17ක දස්කමක් දැක්වූ එල්. සී. කුමාරසිරි හිමි කර ගත් අතර එහි දෙවැනි ස්ථානය එල්. ජී. ධනංජය (මීටර් 16.15) විසින් සහ තෙවැනි ස්ථානය එස්. එස්. ජයසිංහ (මීටර් 15.65) විසින් දිනා ගත්තා.

>> තරගාවලියේ සමස්ත තරග ප්‍රතිඵල << 

අද දිනයේ ඉසව් සමඟින් දින තුනක් මුළුල්ලේ පැවති තරගාවලිය සාර්ථකව අවසන් වූ අතර ආසියානු ක්‍රීඩා උළෙල සඳහා වන දෙවැනි තේරීම් තරගාවලිය මාර්තු මාසයේ දී පැවැත්වීමට නියමිතයි.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<