සචිනි පෙරේරා රිටි පැනීමේ ජාතික වාර්තාව නැවතත් අලුත් කරයි

ජාතික මලල ක්‍රීඩා පළමු තේරීම් තරගාවලිය 2022

359
First National Athletics Trial 2022 Day 01 Roundup

2022 වසරේ ජාතික මලල ක්‍රීඩා පිටියෙහි වැඩ කටයුතු ආරම්භ කරමින් ආසියානු ක්‍රීඩා උළෙල සහ ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා උළෙල සඳහා පැවැත්වෙන පළමු තේරීම් තරගාවලියේ පළමු දිනයේ ඉසව් අද (10) කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වුනා. 

මෙම තරගාවලිය සඳහා ඩිල්ෂි කුමාරසිංහ, නදීෂා රාමනායක, නිමාලි ලියනආරච්චි, මේධානි ජයමාන්න වැනි මලල ක්‍රීඩා පිටියෙහි ප්‍රබල ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිපදෙනෙකුම ආබාධ සහ විවිධ හේතු නිසාවෙන් සහභාගී නොවීම නිසා නවක ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සිය දස්කම් දැක්වීමට විශාල අවස්ථාවක් හිමිව තිබුණා.

මෙම තරගාවලියේ පළමු ජාතික වාර්තාව කාන්තා රිටි පැනීම ඉසව්වෙහි මීටර් 3.65ක දස්කමක් දක්වමින් පිහිටුවීමට ජාතික ශූරී සචිනි පෙරේරාට හැකි වුනා. ඇය විසින් එලෙස අලුත් කළේ 2021 වසරේ මීටර් 3.60ක උසක් වාර්තා කරමින් පිහිට වූ ඇයගේම වාර්තාවයි.

එම ඉසව්වේ මීටර් 3.40ක  දස්කමක් දැක්වූ අයි. යූ. සිල්වා දෙවැනි ස්ථානය දිනාගත් අතර මීටර් 3.30ක දස්කමක් දැක්වූ එස්. ඩී.රණසිංහ හට තෙවැනි ස්ථානය හිමි වුනා.

තරගාවලිය නිල වශයෙන් ආරම්භ කරමින් අද (10) උදෑසන පැවති කාන්තා මීටර් 10,000 ඉසව්වේ ජය මිනිත්තු 36:35.36කින් තරගය අවසන් කළ යොවුන් ක්‍රීඩිකා චාමිනී හේරත්ට හිමි වුනා. එහි දෙවැනි සහ තෙවැනි ස්ථාන පිළිවෙළින් එස්. එන්. බණ්ඩාර (මිනිත්තු 37:36.98) සහ ඩබ්. එම්. හේරත් (මිනිත්තු 38:18.27) විසින් දිනාගත්තා.

දිනයේ වැඩි අවධානයක් දිනාගත් ඉසව්වක් වූ මීටර් 100 ඉසව්වේ කාන්තා තරගය තියුණු සටනකින් පසුව ජයගැනීමට ජාතික ශූරී අමාෂා ද සිල්වාට හැකි වූයේ තත්පර 10.63ක කාලයකින් තරගය අවසන් කරමින්.

එම ඉසව්ව තත්පර 10.68ක කාලයකින් අවසන් කළ ප්‍රවීණ ක්‍රීඩිකා රුමේෂිකා රත්නායක දෙවැනි තැන දිනාගනිමින් සිය නැවත පැමිණීම සටහන් කළ අතර තත්පර 10.82ක කාලයකින් තරගය නිමා කළ Shafiya Yamick තෙවැනි ස්ථානය දිනාගත්තා.

පිරිමි මීටර් 100 ඉසව්වේ ජාතික ශූර හිමාෂ ඒෂාන් තාවකාලික තරග තහනමක් නිසාවෙන් තරගාවලියට සහභාගී නොවූ අතර පිරිමි මීටර් 100 ඉසව්ව තත්පර 10.53කින් අවසන් කරමින් එහි ජයග්‍රහණය ලැබීමට චමෝද් යෝධසිංහට හැකි වුනා.

තත්පර 10.53කට ඉතා ආසන්න කාලයකින් තරගය අවසන් කළ එස්. ධර්මකීර්ති පිරිමි මීටර් 100 ඉසව්වේ දෙවැනි ස්ථානය දිනාගන්නා විට තෙවැනි තැන හිමි වුනේ තත්පර 10.54ක කාලයකින් තරගය අවසන් කළ ඩී. සංජය හටයි.

පිරිමි කනිෂ්ඨ අංශයේ මීටර් 100 ඉසව්ව ජයග්‍රහණය කිරීමට තත්පර 10.91ක කාලයකින් තරගය අවසන් කළ අයේෂ් මිහිරංගට හැකි වුනා. එහි දෙවැනි සහ තෙවැනි ස්ථාන පිළිවෙළින් හිරූෂ හෂාන් (තත්පර 10.95) සහ පසිඳු ගුණවර්ධන (තත්පර 10.95) විසින් දිනාගත්තා.

කාන්තා කනිෂ්ඨ අංශයේ මීටර් 100 ඉසව්ව තත්පර 12.19ක කාලයකින් අවසන් කරමින් ජයගත්තේ දුල්‍යානා සුළුදාගොඩ විසිනුයි. තත්පර 12.23ක කාලයකින් තරගය අවසන් කළ ඩී. බණ්ඩාර දෙවැනි ස්ථානයත් සහ තත්පර 12.57ක කාලයින් ඉසව්ව අවසන් කළ ශශිකා සංදීපනි තෙවැනි ස්ථානයත් දිනාගැනීමට සමත් වුනා.

අද දිනයේ පැවති තවත් උණුසුම් ඉසව්වක් වූ පිරිමි මීටර් 400 ඉසව්ව ජයග්‍රහණය කිරීමට කාලිංග කුමාරගේට හැකි වුනේ තත්පර 47:00ක කාලයකින් තරගය අවසන් කරමිනුයි. එහි දෙවැනි ස්ථානය පබසර නිකූ (තත්පර 47.17) දිනාගන්නා විට අයි. ලක්ෂාන් විසින් (තත්පර 47.63) තෙවැනි තැන දිනාගත්තා.

කාන්තා මීටර් 400 තරගය තත්පර 56.17ක කාලයකින් අවසන් කරමින් ජයගැනීමට යොවුන් ක්‍රීඩිකා තරුෂි කරුණාරත්න සමත් වූ අතර තත්පර 57.75ක කාලයකින් අවසන් කළ එච්. එම්. ප්‍රනාන්දු දෙවැනි ස්ථානය දිනාගත්තා. තත්පර 57.91ක කාලයකින් ඉසව්ව අවසන් කළ එන්. එච්. ප්‍රනාන්දු තෙවැනි ස්ථානය දිනාගැනීමට සමත් වුනා.

දිනයේ අනෙකුත් තරග ප්‍රතිඵල කෙටියෙන්, 

  • කාන්තා තුන් පිම්ම පැනීම – අවසන් තරගය
  • පළමු ස්ථානය – කේ. සෙව්වන්දි (මීටර් 12.50)
  • දෙවැනි ස්ථානය – හිමාෂා කුරේ (මීටර් 12.44)
  • තෙවැනි ස්ථානය – Auk Mayun (මීටර් 11.68)
  • කාන්තා රිටි පැනීම – අවසන් තරගය (කනිෂ්ඨ)
  • පළමු ස්ථානය – ටී. වික්‍රමසිංහ (මීටර් 2.90)
  • පිරිමි යගුලිය දැමීම – අවසන් තරගය
  • පළමු ස්ථානය – එස්. එම්. ප්‍රනාන්දු (මීටර් 16.95)
  • දෙවැනි ස්ථානය – ඩී. පෙරේරා (මීටර් 14.07)
  • තෙවැනි ස්ථානය – ඩී. ඩෙල්විත (මීටර් 13.81)
  • පිරිමි උස පැනීම – අවසන් තරගය (කනිෂ්ඨ)
  • පළමු ස්ථානය – යූ. තෙන්නකෝන් (මීටර් 2.02)
  • දෙවැනි ස්ථානය – පී. තෙනුජ (මීටර් 1.90)
  • තෙවැනි ස්ථානය – පසන් ඩිල්හාර (මීටර්1.90)
  • පිරිමි උස පැනීම – අවසන් තරගය
  • පළමු ස්ථානය – ටී. දසුන් (මීටර් 2.08)
  • දෙවැනි ස්ථානය – යූ. කුමාර (මීටර් 2.04)
  • තෙවැනි ස්ථානය – කේ. පියසිරි (මීටර්1.95)
  • පිරිමි මිටිය විසි කිරීම – අවසන් තරගය
  • පළමු ස්ථානය – සංජය බණ්ඩාර (මීටර් 46.85)
  • දෙවැනි ස්ථානය – එම්. ධර්මසේන (මීටර් 46.82)
  • තෙවැනි ස්ථානය – සිසිර කුමාර (මීටර් 46.66)
  • පිරිමි මීටර් 400 – අවසන් තරගය (කනිෂ්ඨ)
  • පළමු ස්ථානය – කේ. සිල්වා (තත්පර 50.13)
  • දෙවැනි ස්ථානය – කවිශ්ක ශ්‍රී බණ්ඩාර (තත්පර92)
  • තෙවැනි ස්ථානය – එම්. වසන්ත (තත්පර16)
  • කාන්තා මීටර් 400 – අවසන් තරගය (කනිෂ්ඨ)
  • පළමු ස්ථානය – ජේ. උත්පලා (තත්පර41)
  • දෙවැනි ස්ථානය – කේ. එදිරිසිංහ (තත්පර80)
  • තෙවැනි ස්ථානය – ආර්. ගයේෂා (තත්පර84)
  • පිරිමි මීටර් 1500 – අවසන් තරගය 
  • පළමු ස්ථානය – ඩී. එච්.කුමාර (මිනිත්තු 3:51.26)
  • දෙවැනි ස්ථානය – එන්. සී. විජේසිංහ (මිනිත්තු 3:53.42)
  • තෙවැනි ස්ථානය – ඩී. එල්. ප්‍රතාප (මිනිත්තු 3:53.54)

තරගාවලියේ දෙවැනි දිනයේ තරගයන් හෙට (11) කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි. එම තරග තොරතුරු සහ තරගාවලියේ සියලුම තොරතුරු දැනගැනීමට රැඳී සිටින්න, ThePapare.com අප සමඟම.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<