අංක එකේ ටෙස්ට් කණ්ඩායමට ලැජ්ජා සහගත පරාජයක්

329
srilanka v australia 2nd test day 3

වෝන් – මුරලි කුසලාන තරගාවලියේ පළමු දිනය අවසන් වූයේ, එංගලන්ත සංචාරයේ දිනයක් සිහි ගන්වන ආකාරයෙනි. ”ශ්‍රී ලංකා පළමු ඉනිම සියල්ලන් දැවී 117යි, ප්‍රතිවාදීන් කඩුලු 8ක් අතැතිව ලකුණු 51ක් පසුපසින්..” ”ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලීන්ගේ එකම බලාපොරොත්තුව වැස්ස පමණයි..” ඉන් අනතුරුව ගෙවී ගියේ ක්‍රීඩාව පැවති දින 7ක් පමණයි. වෝන් – මුරලි කුසලානයේ හිමිකරුවන් මේ වනවිටත් තීරණය වී අවසන්. විශ්වාස කළ හැකිද? එහි හිමිකරුවන් ඔස්ට්‍රේලියාව නොවේ.

පසුගිය ලිපි: ශ්‍රී ලංකාව තරගාවලි ජයග්‍රහණය අභියස

ඕස්ට්‍රේලියා – ශ්‍රී ලංකා දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තුන්වන දිනය ආරම්භ කරන විට බොහෝ දෙනාට තිබුනේ එකම ගැටළුවකි. ඒ ”ඔස්ට්‍රේලියාවට අද දිනයේ කොපමණ වේලාවක් පිටියේ රැඳී සිටිය හැකිද ?” යන්නයි. දිනයට නියමිත කාලයෙන් හරි අඩක් ගෙවී යන්නටත් මත්තෙන් එම ගැටලුවට පිළිතුරු ලැබුනි.

ඩේවිඩ් වෝනර් සහ ස්ටීවන් ස්මිත් පිටියට පිවිසෙන විට ඔස්ට්‍රේලියාවට ජයග්‍රහණය සඳහා අවශ්‍යව තිබූ ලකුණු සංඛ්‍යාව 388ක්.

වේගයෙන් පන්දුවට පහර දීම හැර අන් කිසිදු අදහසකින් තොරව ක්‍රීඩා කළ වෝනර් දවසේ පළමු කඩුල්ල ලෙස දැවී ගියේ දිල්රුවන් පෙරේරාගේ පන්දුවක් හමුවේයි.

දිල්රුවන්ගේ තවත් පන්දුවක් බැක්වර්ඩ් ෂෝට් ලෙග් කලාපයේ සිටි කෞෂාල් සිල්වා වෙත ඇදීයාමට පෙර ස්ටීවන් ස්මිත් ගේ පිත්තේ ඇතුලත අග්‍රයේ ගැටෙනු බව ප්‍රධාන විනිසුරු ක්‍රිස් ගැෆ්නි නොදුටුවත් තෙවන විනිසුරුගේ ආධාරයෙන් ඔහුගේ ඉනිම අවසන් කරන්නට ඇන්ජලෝ මැතිව්ස් සමත් විය.

ලකුණු 39ක් දක්වා ගොඩනැගුණු 6වන කඩුල්ලේ සබඳතාව බිඳ වැටුණේත් ඇන්ජලෝ මැතිව්ස් සාර්ථකව තෙවන විනිසුරු වෙත යොමු කල තීරණයක් මගිනුයි.

එම කඩුල්ල ලක්ෂාන් සඳකැන්ට හිමිවිය. දඟ පන්දු යවන්නන්ට එරෙහිව සාර්ථකව රිවර්ස් ස්වීප් පහර භාවිත කරමින් සිටි ඇඩම් වෝජස් එම පහරේම ගොදුරක් බවට පත් කරගත් දිල්රුවන් මෙම ඉනිමේ තම 5 වන කඩුල්ල දවා ගන්නට සමත් විය.

මිචෙල් ස්ටාක් වේගවත් ප්‍රහාරයක් එල්ල කිරීම ආරම්භ කළ අතර දිල්රුවන්ගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ පසෙකට වී සිටි රංගන, තමන්ද මේ තරගයේ සිටින බව මතක් කරමින් ස්ටාක්ගේ ඉනිමට නැවතීමේ තිත තැබීය.

ඕස්ට්‍රේලියා ඉනිමේ 9වන කඩුල්ල ලෙස ජෝෂ් හේසල්වුඩ් දවාගත් දිල්රුවන් පෙරේරා, ක්‍රිකට් වාර්තා පොත් අතර තම නම සටහන් කළේ, එකම ටෙස්ට් තරගයක් තුළ අර්ධ ශතකයක් සහ කඩුලු 10ක් වාර්තා කළ පළමු ශ්‍රී ලාංකිකයා ලෙසිනි.

ඕස්ට්‍රේලියානු ලකුණු පුවරුව 183ක් වෙද්දී අවසන් ඕස්ට්‍රේලියානු කඩුල්ල බිඳ වැටුනේ දුවද්දී දැවී යාමක් මගින්. වෝන් – මුරලි කුසලානයේ ශ්‍රී ලංකා නාමය සටහන් කළ මේ දවා ගැනීමට දායක වූයේ අන් කිසිවෙක් නොව ශ්‍රී ලංකාව පැදුරෙනුත් බිමට වැටී සිටි මොහොතක විශිෂ්ට ඉනිමක් ගොඩනගමින් තම කණ්ඩායමට ජයග්‍රාහී මානසිකත්වයක් ලබා දුන් කුසල් මෙන්ඩිස් ය.

විශිෂ්ට ගණයේ පන්දු රැකීමක් මගින් පීටර් නෙවිල්ගේ ඉනිම අවසන් කල මෙන්ඩිස්, මේ තරගය පුරා ඉතා ඉහල මට්ටමක පැවති ශ්‍රී ලංකා පන්දු රැකීම මේ ජයග්‍රහණයට ලබා දුන් දායකත්වයද යලි සිහි ගැන්වීමට සමත් විය.

මේ අනුව ලකුණු 229ක ජයක් සමගින් ශ්‍රී ලංකාව අභිබවා යෑමට නොහැකි ලෙස තරගාවලියේ පෙරමුණ ගනිද්දී තරගයේ වීරයා ලෙස සම්මාන දිනා ගත්තේ දිල්රුවන් පෙරේරායි.

වසර 34ක් තුළ එක්වරක් පමණක් සඵල කරගත් ඉලක්කයක්, සති දෙකක් තුළ දෙවරක් සපුරාගත් ශ්‍රී ලංකා කණ්ඩායමට, රණතුංග, ජයසුරිය, මුරලිදරන්, වාස්, සංගක්කාර හෝ ජයවර්ධන ලා ඇතුලත් නොවුනත්, දුලිප් නොවන මෙන්ඩිස් කෙනෙකුත් අරවින්ද නොවන සිල්වා කෙනෙකුත් සමගින් දිලි-රුවන් (දිලිසෙන මැණික්) මෙන් වටිනා කුසල-තාවකින් කල එලි දැක්වූ මේ රංගන ය සාක්ෂි දරන්නේ මෙරට ක්‍රිකට් අඹර සඳකැණින් එලිය වී ඇති බව නොවන්නේද?

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට